දරුවන් මෙගා නාට්‍ය වලින් ඇත් කල යුත්තේ ඇයි?

ඔබේ දරුවාත් මෙගා නාට්‍ය බලන්න කැමතිද? එහෙනම් මේ ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ

ගෙදර වැඩ කඩිනමින් ඉවර කල සුනන්දා සාලයට දිව ආවේ ඊලගට විකාශය වන මෙගා නාට්‍ය දෙපැය ලග කාලය ගත කරන්න .ඉන්දීය හා සිංහල සම්භවයක් ඇති මේ නාට්‍ය දෙපැය සුනන්දා වරද්දන්නේම නැත .නිවෙස සාලය මැද තිබු රූපවාහිනිය කොයි කවුරුත් නැරඹුහ.එදාද වෙනසක් නොවුනි.විකාශනය වෙමින් තිබුනේ වැඩිහිටියන්ට පමණක් නැරඹීමට වඩාත් සුදුසු සිප වැලදගැනීම් දර්ශනයකි.

" අම්මේ රන්දීර් බැදලා ඉන්නේ වෙන ඇන්ටි කෙනෙක්නේ.ඇයි ඉතින් මේ ඇන්ටිට උම්මා දෙන්නේ"

ඒ සුනන්දාගේ පස් වියැති දියණියය. ඒ වදනින් ඇය පියවි ලොවට පැමිණියාය .තමන් අසලින් වාඩි වු දියණිය එම දර්ශනය නරඹමින් සිටින බව ඇයට පසක්වුයේ එවිටය .ඇය වහාම රූපවාහිනිය නිවා දැමුයේ යලි කිසිදිනක මෙගා නාට්‍ය නොබැලීමේ අරමුණෙනි.

ඉහතින් දැක්වෙන්නේ සත්‍ය සිදුවීමකි.අද වෙන කොට මෙගා නාට්‍ය විසින් මුලු රූපවාහිනියම ආක්‍රමණය කර හමාරය.නොදැන හෝ ඔබේ දරුවා මෙගා නාට්‍ය වල ගොදුරක් නොකරන්න .ඔබේ දරුවා රූපවාහිනියෙන් ඈත්කල යුතු කාලය පැමිණ තිබේ.

මෙගා නාට්‍යයක පොදු ලක්ෂණ

 සෑම මෙගා නාට්‍යයක්ම නිෂ්පාදනය වන්නේ පොදු ලක්ෂණ කිහිපයක් මුල්කර ගෙනය.

  • අරමුණකින් තොර කොටස් සිය ගණනක් ගලා යයි.
  • හරයක් නැති අතර සමාජයට වැදගත් පණිවිඩයක් ගෙන යන්නේ නැත .
  • රසාස්වාදය ගැන කතා කලද හැමවිටම ප්‍රේක්ෂකයන්ගේ ක්‍රෝධය වෛරය වඩවන සිද්ධින් ගෙන් බහුල වේ.
  • නැන්දම්මා ලේලි ඝට්ටනය හැම විටම උලුප්පා දක්වන අතර දෙමාපියන් දරුවන් අතර වෛරය ,දරුවන් දෙමාපියන් අතර වෛරය හා සහෝදර සහෝදරියන් අතර වෛරය කතාව පුරාම තේමාව කර ගනියි.
  • දිවෙන් දිව ගාගෙන හිටි හිතවතෙක් එකවරම දුෂ්ටයා බවට පත්වේ.
  • යටි කුට්ටු වැඩ වංචා බහුලය.
  • එක පුද්ගලයෙකු විවාහ දෙක තුනක් කර ගැනීම,සැමියා බිරිද වංචා කරගැනීම්,දරුවන් නොසලකා හැරීම් අනිවාර්ය අංග වේ.

ඉහතින් දක්වා ඇත්තේ මෙගා නාට්‍ය වලට පොදු කාරණා කිහිපයක් පමණි .ඒ දෙස මොහොතක් බලා සිතන්න අපේ පුංචි පැටවුන්ට  රටේ අනාගත උරුමයට මෙගා නාට්‍ය මගින් කරන විනාශය කොයි තරම්ද කියලා .

මෙගා නාට්‍ය හා අපේ පුංචි පැටව්

දෙමාපියන් හා මෙගා නාට්‍ය නැරඹීමට එකතු වෙන දරුවා මෙගා නාට්‍ය විසින් බිලි ගන්නා තුරු දෙමව්පියන් දන්නේ නැත .මෙගා නාට්‍ය දරුවා තුල ඇති කර බලපෑම් මොනවාදැයි අපි බලමු.

  • දරුවාගේ වටිනා කාලය නාස්ති වේ.
  • දරුවාගේ ආකල්ප හෝගුණ ධර්ම වගාවට කිසිම ඵලක් නැත.
  • දරුවා විසින් ක්‍රෝධය ,වෛරය ,අනුන් හෙලා දැකීම,ආත්මාර්ථකාමී බව ඇතුලු බොහෝ වැරදි ගුණාංග ප්‍රගුණ කරනු ලබයි.
  • නාට්‍ය සදහා ඇබ්බැහි වෙන දරුවා පවුලෙන් බැහැර වේ.පවුල හා ඇති සම්බන්ධතා දුරස් වේ
  • දරුවාට සුදුසු නැති දර්ශන නැරඹීම මගින් කුඩා මනස විකෘති වේ
  • දරුවා ප්‍රායෝගික නොවන අතර තීරණ ගැනීමේදී මෙගා නාට්‍ය වල අවස්ථා උදාහරණයට ගනී.
  • වයසට නුසුදුසු වචන කියමන් භාවිතා කරයි.

ඉහත දක්වා ඇත්තේ මෙගා නාට්‍ය වලින් දරුවාට වෙන බලපෑම් කිහිපයක් පමණි .එදා දොස්තර හොද හිත ,හා හා හරි හාවා වැනි නිර්මාණ අපේ ළමා මනස පිනවන ලද වුවද අද ඉන් ඔබ්බට යමින් මෙගා නාට්‍ය කලාව විසින් ආක්‍රමණය කරන ලද රූපවාහිනිය තව දුරටත් ඔබේ පුංචි පැටියාට සුදුසුද යන්න තීරණය කිරීම දෙමාපියන් වශයෙන් ඔබේ වගකීමකි.මේ මග පෙන්වීමක් පමණි .