මල්ලී ආව දවසේ ඉදන් අක්කා වෙනස් වුනා.

lead image

දෙවැනි දරුවාගේ පැමිණීම පළවැනියාට බලපාන්නේ කෙසේද?

මේක මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනී තවත් අත්දැකීමක් , ජීවිතය තුල අපි කොතරම් ආධුනිකද කියලා හිතෙන්නේ අපිට අභියෝගයන්ට මූණ දෙන්න සිදුවුනාහම, ජීවිතය කියන්නේ විශ්ව විද්‍යාලයක්, ඒ තුලින් අපි සියල්ල උගත යුතුයි.

ජීවිතයේ මගේ අමතක නොවන දවස මගේ පුංචි සුරංගනාවි මේ ලෝකේට ආපු දවස, එදා ඉදන් අපේ පවුලට කුලුදුලේ ආපූ මේ අමුත්තිය හැමෝගෙම ආදරේ තනි උරුමකාරිය වුනා.

සියල්ල වෙනස් වුනේ මම දෙවැනිවර ගැබ් ගැනීමත් සමග ඒත් එක්කම අවුරුදු තුනක් මව්කිරි බීපු පුංචි දුවට ඒක නතර කරන්න වුනා. තව දරුවෙක් පවුලට එකතු වීම දරන්න බැරි ගැටලුවක් වේවි කියලා මං හිතුවේ නැහැ. අපේ පුංචි පවුල ටිකක් ලොකු කරන්න විතරයි  හිතුවේ,

අම්මාගේ බණ්ඩියේ ඉන්නේ මල්ලියෙක් ඉස්සෙල්ලාම කිව්වේ එයා, බණ්ඩිය ඉම්බේ , බණ්ඩියට ආදරෙන් කථා කලේ එයා, බණ්ඩියට තුරුල් වෙලා නිදා ගත්තේ එයා,

මම හොස්පිටල් යන දවසේ එයාට කිව්වේ අම්මා මල්ලිවත් අරන් ඉක්මනට එන්නම් කියලා.

මට හොදට මතකයි එදා, මල්ලී ඉපදිලා පැය දෙක තුනක් යන්නත් කලින් අක්කා ආච්චි අම්මාත් එක්ක පොත් ගොඩාක් අරන් මල්ලී බලන්න ආවා. මල්ලී හරිම කරදරකාරයා. නිතරම කුක්කු ඕනිවුනා. අක්කී එද්දී මල්ලී හිටියේ මගේ තුරුලේ කුක්කු බිබී, ඒක දැකපු අක්කාගේ හිත රිදුනා වගේ මට දැනුනත් ඒ වේලාවේ එක්තැන් වෙලා හිටපු මම කරන්න දෙයක් නැතිව අසරණ වුනා.

මල්ලීව තොටිල්ලෙන් තිබ්බාහම අක්කා  ලගට ගිහින් පොත් කියවන්න බැරි වුනත් කථා මතකෙන් පොත දිහා බලාගෙන කියවගෙන ගියා. ඊට පස්සේ අපි යන් කියලා ආච්චි අම්මාව අල්ලගෙන  යන්න ගියා. මට නම් දුකට ඇඩුනා.

කථාව පටන් ගත්තේ ඊට පස්සේ  අක්කා එන්න එන්නම වෙනස් වුනා. අපි කවදාවත් නොහිතපු විදියට එයා හැසිරෙන්න ගත්තා. එපා කියන වැඩමයි එයා කලේ, මල්ලීට කිරි දෙන වේලාවට ඝෝෂා කරලා බාධා කලා. අන්තිමට මේ ගැටළුව මට මානසික පීඩනයක් වෙන තත්වයට ආවා.

බැරිම තැන අපි දරුවාව එයාගේ ළමා වෛද්‍යවරිය වෙත අරගෙන ගියා. මැඩම් ඒ වේලාවේ දරුවාව ලගට අරන් කිව්වේ

මේ බලන්නකෝ පැටියෝ මල්ලී එවලා තියෙන්නේ ඔයාට , අම්මිගේ කුක්කු ඉල්ලලා දීලා එයාව ලොකු කරගන්න. මල්ලිගේ ඔළුව , කකුල් ඉඹලා බලන්නකෝ හරිම සුවදයි කියලා.

අක්කා ඇස් ලොකු කරන් බලාගෙන හිටියා.

ඊට පස්සේ ඩොක්ටර් කථා කලේ මට, මල්ලී පුංචි නිසා ඕනී උණුසුම විතරයි . ඒක නිසා ඔයා එයාට කිරි දීලා ඔයාගේ අම්මාගේ උණුසුමේ තියන්න. දුවගේ හැම වැඩක්ම ඔයා කරන්න . ඔයා එයාට ලංවෙන්න. කිරි දෙනකොට කාමරයෙන් එලවන්න එපා. එයාට කෑගහන්න. බනින්න එපා.

මට ලැබුනේ අවවාද මල්ලක්, ගෙදර අනෙක් අයගේත් සහයෝගයත් එක්ක මම ඒ අභියෝගයත් ජය ගත්තා. දැන් අක්කායි මල්ලියි චුට්ටක් රණ්ඩු වුනත් ඉන්නේ හරිම ආදරෙන්

ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.