දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මත

lead image

විශේෂඥයන්ට අනූව දරුවන් බහුභාශා වලට නිරාවරණය කිරීමට හොඳම කාලය වන්නේ උපතේ සිට අවුරුදු 3 දක්වා කාලයයි- ඒ දරුවා වඩා විවෘත හ නම්‍යශීලීද වයසක් නිසාය.

පුංචි දරුවන්ට පහසුවෙන්ම බහුභාශා ඉගෙනගැනීමේ කුසලතාවක් තිබෙනවා. මේ ගැන වඩාත් දැනුවත් වීමෙන් දරුවා නොයෙක් භාෂා වලට නිවැරදිව යොමු කිරීමට අවශ්‍ය දැනුම දෙමාපියන්ට ලැබෙනවා. මේ වටිනා දැනුවත් කිරීම ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන පබෝදනී තෙන්නකෝන් මහත්මිය විසින් සමුහය සමඟ බෙදාගත් ලිපියක් තුලිනි.

භාෂා එකකට වඩා ප්‍රමාණයක් සමග දරුවෙකු ඇති දැඩි කිරීම සම්බන්ධව ඇති මිථ්‍යා විශ්වාසයන් බොහොමයකි. සමහර අවස්ථාවලදී එසේ නොකරන ලෙස දෙමාපියන්ට උපදෙස් ලැබෙනුද දැකිය හැකිය. ඔවුන්ට පවසනු ලබන්නේ භාෂා එකකට වඩා දරුවාට ඉගෙනීමට සැලැස්වීමෙන් කථාව ප්‍රමාද විය හැකි බව හා දරුවාට ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවත් ය. මේ සම්බන්ධව ඇති මිථ්‍යාවන් අතරින් වඩාත් ප්‍රචලිත මිථ්‍යාවන් හා ද්විභාෂික/බහුභාශික රුවෙකු ඇති දැඩි කිරීමේ සත්‍ය කථාව මෙහි දැක්වේ.

දරුවන් කුඩා කාලයේ පහසුවෙන්ම භාෂා එකකට වඩා ප්‍රමාණයක් ප්‍රගුණ කිරීම හා සම්බන්ධ සුලභ මිත්‍යා මත

1. එක් භාෂාවකට වඩා ප්‍රමාණයකට නිරාවරණය වීමෙන් දරුවා ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දේ.

ද්විභාෂික/බහුභාශික දරුවන් සම්බන්ධව වැඩි වශයෙන්ම පවතින වැරදි වටහා ගැනීම මෙයයි. දරුවෙකු භාෂා දෙකකට එක්වර නිරාවරණය වීමෙන් දරුවා ව්‍යාකූල බවකට පත්වී ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීමට අසමත් වෙන බව සමහර දෙමාපියෝ සිතති.
“ද්විභාෂික/බහුභාශික දරුවෙකු ගොඩනැගීම” යන කෘතියේ කතෘ බාබරා සූරර් පියර්සන් පවසන්නේ “උපතින් දින කිහිපයකට පසුව, සියළුම බිළිඳුන්ට භාෂා බොහොමයක වෙනස්කම් හඳුනාගත හැකි” බවයි. ඇය පවසන්නේ එකිනෙකට වෙනස් භාෂාවන් සම්බන්ධව මෙය විශේෂ වන බවයි, උදාහරණයක් ලෙස ප්‍රංශ හා අරාබි බස.
“එතරම් කුඩා කලකදී, බිළිඳුන්ට ඉංග්‍රීසි හා ලන්දේසි වැනි ඉතාම සමාන භාෂා දෙකක වෙනස්කම් හඳුනාගැනීමේ ගැටළුවක් ඇති විය හැකිය. මාස 6 ක් පමණ වන විට, ඔවුන්ට ඒ සඳහාද හැකියාව ඇත,” ඇය පවසයි.
ව්‍යාකූල වන බවට වන මෙම මිථ්‍යාව ඇති වී ඇත්තේ සමහර විටෙක දුර්වල අධ්‍යනයන් ආශ්‍රය කරගෙන පෙර සිදු කළ පර්යේෂණයක් නිසා විය හැකිය. එමගින් භාෂා දෙකකට නිරාවරණය වීමෙන් දරුවන්ට අවාසි සහගත තත්ත්වයක් ඇති විය හැකි බවට නිගමනය කර ඇත. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල හේතුවෙන් සමහර සංක්‍රමණික දෙමාපියන් තම උරුම බස අත්හැර දමා ඉංග්‍රීසි භාෂා කුසලතාවය පමණක් අවධාරණය කරන ලදී.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/Languages Md.png දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මත

2. දරුවෙකු ද්විභාෂික/බහුභාශික වීමෙන් කථාව ප්‍රමාද වෙයි.

ද්විභාෂික/බහුභාශික පරිසරයක ඇතිදැඩි වන දරුවන් කථා කිරීම ආරම්භ කිරීම සඳහා, එක් භාෂාවක් කථා කරන පරිසරයක සිටින දරුවන්ට වඩා යම් කාලයක් ගැනීමට ඉඩ ඇත. එහෙත් එය ඉතා තාවකාලික වන්නක් වන අතර විශේෂඥයන්ට අනූව පොදු කරුණක්ද නොවේ.
අවසානාවට, ද්විභාෂික/බහුභාශික තම දරුවන්ගේ කථන සංවර්ධනය සම්බන්ධව ප්‍රශ්න කරන දෙමාපියන්ට නිතරම පාහේ පැවසෙන්නේ එක් භාෂාවකට පමණක් සීමා වන ලෙසයි. මෙයට හේතුව වන්නේ අතීතයේදී ද්විභාෂිකත්වය, භාෂා සංවර්ධනයේ ගැටළු ඇති කරන හේතුවක් බවට තිබූ විශ්වාසයයි.
“පර්යේෂණවලින් පෙන්වන ආකාරයට ද්විභාෂිකත්වය/බහුභාශිකත්වය කිසිදු විටෙක කථන ප්‍රමාදයට හෝ භාෂාව උගැන්මට බාධාවක් වන්නේ නැත” යනුවෙන් ටෙක්සාස් හි ද්විභාෂා/බහුභාශික කථන සේවාවන් සපයන Bilinguistics හි සභාපති එලන් ස්ටබ් කෙස්ටර් පවසයි.
ඔබගේ දරුවාගේ කිසියම් කථන ප්‍රමාදයක් ඇති බවට රෝග විනිශ්චයක් කර තිබුණද, භාෂා දෙකක් යටතේ ඔහු ඇති දැඩි කිරීමේදී ද්විභාෂිකත්වය නිසා එම කාලය තවත් ප්‍රමාද වන්නේ නැත.
“භාෂාව ග්‍රහණය කරගැනීමේ ප්‍රමාදයක් ඇති දරුවන් පවා ද්විභාෂික/බහුභාශික පරිසරයක් තුළ, එක් භාෂාවක් කථා කරන දරුවෙකුගේ වේගයටම භාෂාව ඉගෙන ගනී” යනුවෙන් කෙස්ටර් පවසයි.

3. ද්විභාෂික දරුවන් අවසානයේදී භාෂා දෙක මිශ්‍ර කරගනී.

භාෂා මිශ්‍ර කිරීම වැළැක්විය නොහැකිවා සේම ඉන් හානියක් සිදුවන්නේද නැත. එහෙත් ද්විභාෂිකත්වය එතරම් හුරු නැති සමහරෙකුට, එය භාෂාව වෙන් කරගැනීමේ නොහැකියාවක් බවට පෙනී යා හැකිය.
ද්විභාෂික/බහුභාශික පරිසරයන් තුළ ඇති දැඩි වෙන බොහෝ දරුවන් භාෂා දෙකම හොදින් වර්ග කරගන්නා අතරම එය මිශ්‍ර කරනුද දැකිය හැකිය. මීට අමතරව, දරුවෙකුට සැම විටම එක් භාෂාවක් අනිත් භාෂාවට වඩා ප්‍රබලව බලපානු දැකිය හැකිය. තමන්ට අඩු බලපෑමක් ඇති භාෂාව තුළ තමන් දන්නා වචන ප්‍රමාණය අඩු වෙන විට දරුවා අනිත් භාෂාවෙන් අවශ්‍ය වචන ගෙන එනු ලබයි. 
විශේෂඥයන් පවසන ආකාරයට මෙම මිශ්‍ර කිරීම තාවකාලිකය. අවසානයේදී, දරුවාගේ භාෂා දෙකෙහිම වචන මාලාව සංවර්ධනය වෙන විට ඒ එක් එක් භාෂාව හොඳින් වෙන් කරගනී.
සැබෑ ලොවේදී ද්විභාෂික/බහුභාශික පුද්ගලයන් සෑම වයසකදීම භාෂාවන් මිශ්‍ර කරගනී (එය කේත හුවමාරුව code-switching ලෙස හඳුන්වයි). මෙයට හොඳම උදාහරණයක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ලතින් අමෙරිකානුවන් කථා කරන ස්පැංග්ලිෂ් (ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ භාෂාව මිශ්‍ර කිරීම)ය.
“එය එසේ වන්නේ තමන් කථා කරන භාෂාවේ යම් වචනයක් නොදන්නා කම නිසාය” පියර්සන් පවසයි. “සමහරුන් යම් යම් වචනවලට දක්වන කැමැත්ත නිසාම එම වචන භාවිතා කරනුද දකින්නට ලැබෙනවා.”
දරුවන් තමන් දකින හා අසන දෙය ආදර්ශ කොට ගනී. දරුවා ජීවත් වන සමාජය තුළ භාෂාවන් මිශ්‍ර කරමින් කථා කරන්නේ නම්, දරුවා එසේ නොකරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

4. ඔබගේ දරුවා ද්විභාෂික/බහුභාශික කිරීමට පමා වූවා වැඩිය.

ඔබගේ දරුවාට දෙවන භාෂාවක් හඳුන්වා දීම ඉතා ප්‍රමාද වන්නේ හෝ කළින් වැඩි වන්නේ නැත.
“වයස අවුරුදු 10 න් පහළ දරුවෙකුට දෙවන භාෂාවක් ඉගෙනීම පහසුය, එය අවුරුදු 5 ට අඩු කාලයේදී සිදුවන්නේ නම් තවත් පහසුය,” පියර්සන් පවසයි.
විශේෂඥයන්ට අනූව හොඳම කාලය වන්නේ උපතේ සිට අවුරුදු 3 දක්වා කාලයයි- දරුවෙකු තම පළමු බස ඉගෙන ගන්නේ මේ කාලයේදී වන අතර ඔහුගේ හෝ ඇයගේ මනස වඩා විවෘත හ නම්‍යශීලීද වෙයි.
දෙවන භාෂාවක් ඉගෙන ගැනීම සඳහා හොඳම දෙවන කාල සීමාව වන්නේ දරුවන් අවුරුදු 4 සිට 7 දක්වා කාලයයි, ඒ වන විටත් දරුවන්ට භාෂා කිහිපයක් සමාන්තරව සකසා ගැනීමට හැකියාව ඇත. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඔවුන් තම පළමු භාෂාවට සමාන්තරව දෙවන භාෂාවක් සකසා ගන්නා අතර එයද ස්වදේශිකයෙකු මෙන් කථා කිරීමට උගනියි.
ඔබගේ දරුවා අවුරුදු 7 ට වඩා වැඩිනම් හා ඔහු ද්විභාෂික/බහුභාශික කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ තවමත් ප්‍රමාද වැඩි නැත. දෙවන භාෂාවක් ඉගෙනීමට තෙවන හොඳම කාලය වන්නේ අවුරුදු 8 පමණ සිට යොවුන් විය තෙක් කාලයයි. යොවුන් වියෙන්, එනම් මල්වරවීම හෝ වැඩිවියට පත්වීමෙන් පසු නව භාෂාවන් ගබඩා කෙරෙන්නේ මොළයේ වෙනමම වූ ප්‍රදේශයක වන අතර එම නව භාෂාව වෙත යාමට දරුවාට තම මුල් බසින් පර්වර්තනය කරගත යුතු වේ.
“භාෂා දෙකක් ඉගෙනීම සඳහා කුඩා දරුවන්ට විශේෂ “අවස්ථාවක්” ඇති බව අප අසන අතර එය වැඩිමහල් දරුවන්ව අධෛර්‍යයට පත් කරන්නටත් ඉඩ තිබෙනවා”, පියර්සන් පවසයි. “මුළින්ම ආරම්භ කළා නම් ඉතා පහසු බව ඇත්තක් නමුත් එම “අවස්ථාව’ ගිලිහී ගිය පසුත් මිනිසුන්ට දෙවන භාෂාවක් උගත හැකියි.

5. දරුවන් ස්පොන්ජ් වැනිය, කිසිදු උත්සහයක් නැතිව ඉතා කෙටි කලකින් ඔවුහු ද්විභාෂික/බහුභාශික වෙති.

දරුවන් ඉතා කුඩා කලදීම නව භාෂාවකට යොමු කළ පසු ඔවුන්ට එය ඉගෙනීම වඩා පහසු වුවත්, එය ඕපපාතිකව සිදු නොවේ. “ඩෝරා” කාටූනය රූපවාහිනිය තුළින් නිමක් නැතිව බලා දරුවෙකු ස්පාඤ්ඤ බස ඉගෙන ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.
භාෂාවක් ඉගෙනීම වෙහෙසකර කාර්යයක් නොවිය යුතුය. එහෙත්, ඔබගේ දරුවන්ට දෙවන භාෂාවක් හඳුන්වා දීම සඳහා යම් ආකෘතියක් අවශ්‍ය වේ, එය සිදු කරන්නේ දෛනික සංවාදයක් අනූව වේවා විධිමත් උපදෙස් අනූව වේවා වඩා වැදගත් වන්නේ එහි වන සංගත බවයි (consistency). එහිදී විය යුත්තේ සත්‍ය ජීවිතය හා බැඳුණු අර්ථවත් හා රසවත් මාර්ගවලින් භාෂාව ඉගෙනීමට මාර්ගය පෑදීමයි.

රොක්සානා ඒ. සෝටො

රොක්සානා ඒ. සෝටො, ද්විභාෂික නිදහස් මාධ්‍යවේදිනියක වෙයි. ඇය ද්විභාෂික හා ද්විසංස්කෘතික දරුවන් සහිත දෙමාපියන් සඳහා වන SpanglishBaby වෙබ් අඩවියේ සම නිර්මාතෘ හා සම සංස්කාරකද වෙයි.

මුලාශ්‍රය : Babycenter වෙබ් අඩවිය

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/පබෝදනී 250x262.jpg දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මත

මෙම වටිනා දැනුම ශ්‍රී ලංකන් මම්ස් සමුහය තුළින් අප වෙත ගෙනා පබෝදනී තෙන්නකෝන්  මහත්මිය වෙත නැවතත් TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. රජයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කරන පබෝදනී මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියක් ලබාගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය හා සිංහල භාෂාව හා සාහිත්‍යයද විෂයන් ලෙස හදාරා ඇත. ජත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇති ඇය කොළඹ නගරයේ වෙසෙන දෙදරු මවකි.