දරුවාට ඝන ආහාර හඳුන්වා දිය යුත්තේ කෙසේද?

අපි සාමාන්යෙන් ලංකාවේ දරුවන්ට මාස 6න් තමයි අමතර අහාර ආරම්භ කරන්න කියන්නේ. නමුත් ඇතැම් විශේෂිත හේතූන් නිසා ඊට පෙර බොහෝ විට මාස 4න් ආරම්භ කරන අවස්ථා තිබෙනවා.

අද ලිපියෙන් අපට දායක වන්නේ අපගේ රසික මවක් මෙන්ම ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි සාමාජිකාවක් අපට අගනා ලිපි වලින් දායක වන වන රොෂිතා ප්‍රේමතිලක. අදත් සුපුරුදු ලෙස, ඇයගේම වචන වලින් පහත ලිපිය ඔබ වෙත ගෙනහැර පාන්නට අදහස් කළා.

මුලින්ම මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා කවුරු කොහොම කිව්වත්,කොයි තරම් ලිපි කියවල  දැනුම ලබා ගත්තත් ඔබේ අත්පොත විය යුත්තේ සෑම දරුවෙකුටම MOH එකෙන් ලබා දී ඇති සෞක්‍ය වර්ධන සටහන් පොත කියවා බලන්න කියල. මම එහෙම කිව්වේ ඇතැම් මව්වරු සමූහයට ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් පේනවා ඒ පොත ගැන තියෙන දැනුම අඩුයි කියල. ඒ පොතේ අමතර අහාර දීම ගැන මූලික කරුණු අඩංගු වෙන අතර එය ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ලංකාවට ගැලපෙන විදියට අපේ රටේ දේශගුණික, ආර්ථික, සමාජයීය පරිසරයට ගැලපෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ.

ඉතින් දරුවෙකුට අමතර අහාර දීම ගැන ඒ පොතේ අඩංගු මූලික කරුණු මම මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. මගේ අත්දැකීම් ඇසුරින් සහ පොත පත ආශ්‍රයෙන් ලබා ගත් විශේෂ කරුණු කිහිපයක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ

අපි සාමාන්යෙන් ලංකාවේ දරුවන්ට මාස 6න් තමයි අමතර අහාර ආරම්භ කරන්න කියන්නේ. නමුත් ඇතැම් විශේෂිත හේතූන් නිසා ඊට පෙර බොහෝ විට මාස 4න් ආරම්භ කරන අවස්ථා තිබෙනවා. ඒවා අතර

1. මව් කිරි වලින් දරුවාගේ වර්ධනය නිසි පරිදි සිදු නොවීම

2. මව මාස 6ට පෙර රැකියාවට යාම

3. මවගේ රෝගී තත්වයන් නිසා මව් කිරි දීමට නොහැකි වීම

4. දරුවෙකු දරු කමට  හදා වඩා  ගැනීම

5. මව මිය යාම

වැනි කරුණු තිබෙන්නට පුළුවන්. නමුත් මේ කිසිදු අවස්ථාවක වෛද්‍ය උපදෙස් වලින් තොරව ආහාර ආරම්භ කරන්න එපා. ඒ වගේම මෙවන් ප්‍රශ්නයක් තිබෙනවා නම් මාස 4 කිට්ටු වෙන විට ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞක්‍ය නිලධාරී මහත්මියගෙන් අහන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මාස 4න් අහාර ආරම්භ කලත් අහාර දෙන පිළිවෙල සහ පිළියෙළ කරන පිළිවෙල වෙනස් වන්නේ නැහැ.

මීළඟට මම කියන්නම් අපි කොහොමද මේ සඳහා සූදානම් විය යුත්තේ කියල.  සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ මාස 6 නැත්නම් දින 180 සම්පූර්ණ වූ වහාම අහාර දීම ආරම්භ කරන්න කියල. නමුත් අපේ රටේ ගොඩක් අය මේ සඳහා නැකත් බලන නිසා දින 180 ටිකක් ඉදියට හෝ පසු පසට යන්න පුළුවන්. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. නමුත් පුළුවන් තරම් දින 180ට ළඟ දිනයක් යොදා ගන්න. මොකද ගොඩක් කල් ගියොත් බබා මව් කිරටම හුරු වෙලා අහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙන නිසා.

අපිට අහාර පිළියෙළ කර ගැනීමේදී මූලිකවම අවශ්‍ය වන උපකරණ 

1. මැටි මුට්ටියක්

2. මැටි හට්ටියක්

3. කර මූඩියක්

4. නෑබිලියක්

5. පොල්කටු හැන්දක්

6. Stainless steel පෙරනයක්

බබාට අහාර පිළිගැන්වීමේදී

1. බබාට කවන්න පිගානක්, bawl එකක්. - BPA free කියල සඳහන් ළදරු උපකරණ හෝ පෝසිලෙන් භාජන සුදුසුයි.

2. වතුර බොන්න කෝප්පයක්.

3. කවන්න හැන්දක් හෝ හැඳි කිහිපයක්

4. බරෙන්තුවක් (bib එකක්)

5. Feeding chair එකක් හෝ සුදුසු පුටුවක්

මීට අමතරව baby bullet, පීඩන උදුන වගේ උපකරණ මගින් අහාර වඩා ලේසියටත් ඉක්මනටත් පිළියෙළ කර ගන්න පුළුවන්. නමුත් මම ඉහතින් දැක්වූවේ ආර්ථිකයට ගැලපෙන අත්‍යවශ්‍යම උපකරණ ටික පමණයි.

ඉහත කී දෑ ගැන විශේෂයෙන් දැනගත යුතු දේ 

මම ඇයි මැටි භාජන ගන්න කිව්වේ. ඇත්තටම එකක් මැටි භාජන වල කෑම රසයි කියල අපි හැමෝම දන්නවනේ. ඊටත් වඩා වැදගත් දේ තමයි මැටි කයන්නේ ස්වභාවික අමු ද්‍රවයක්. ගොඩක් භාජන හදල තියෙනේ ඇලුමිනියම් වගේ අමුද්‍රව්‍ය වලින්, ඇත්තටම ගෑස් ලිපකින් වැඩ කරද්දී ලේසියි තමයි. නමුත් ඇලුමිනියම් ස්නායු රෝග වගේ රෝග වලට හේතු වෙනවා කියල හොයා ගෙන තියෙනවා. ඒ නිසා බබාලට නෙවෙයි අපට උනත් අහාර පිළියෙළ කිරීමේදී මට භාජන භාවිත කිරීම තමයි හොඳ.

නැබිලියක් අවශ්‍ය වෙනවා මත ගාගන්න. බේරී වෙන්න හදා ගත්ත බත නැබිලියේ දාල පොල් කටු හැන්දකින් තද කරලා මත ගා ගන්න ඕන. කටු හැඳි වර්ග 2ක් තියෙනව. සමහර ඒවායේ පොල් කටුවට මිට සවි කරලා තියෙන්නේ ඇන දෙකකින්. ඒ වගේ එකක් තොර ගන්න එපා මොකද කල් යද්දී අනය බුරුල් වෙලා බත් එකට වැටෙන්න පුළුවන් නිසා. (මට එහෙම උනා. මම දැක්ක නිසා බබාගේ කෑම එකට මිශ්‍ර උනේ නැහැ )

BPA free නැත්නම් Bisphenol-A කියන රසායනික ද්‍රව්‍ය අඩංගු නැති භාජන ගන්න බබාලගේ අහාර පිළියෙළ කිරීමේදී. බොහොමයක් ළදරු නිෂ්පාදන BPA free. නමුත් පරීක්ෂා කරලා බලල ගන්න. එහෙම නැත්නම් වෙනත් ප්ලස්ටික් භාජන ගන්න එපා. පෝසිලෙන් භාජන ගන්න.

දරුවාට අහාර කැවීමේදී  දෙමාපියන්ඉ සිදු කරන වැරදි දේවල් කිහිපයක්

වඩා ගෙන කැවීම

මේක ලේසි වෙන්න පුළුවන් බබාට මාස 6දී 7දී . නමුත් බබා ටික ටික ලොකු වෙද්දී කෑම එක එක අතකින් අල්ල ගෙන බබාවත් වඩා  ගෙන කවන එක ලේසි දෙයක් නෙවෙයි.    ඒ වගේම බබාගේ උදරය හිර වෙනවා වඩා ගෙන කවද්දී. ඒක බබාට අපහසුවක්.   ඊට අමතරව බබාටත් අම්මටත් මහන්සියක්.

උකුලේ තියාගෙන කැවීම

මේකත් බබා ලොකු වෙද්දී දඟලද්දී අමාරුයි. බබා ටිකක් ලොකු වෙද්දී ඇවිදිද්දී දුව දුව කන්න පුරුදු වෙනවා. ඉතින් කෑම එකත් අරන් ගේ වටේ දුවන්න තමයි සිද්ද වෙන්නේ.

ඉතින් Feeding chair එකක්ම අවශ්‍ය නැහැ. සුදුසු පුටුවක් අපට හදව ගන්න උනත් පුළුවන් අඩු මිලට. ඉඳ ගෙන ඉන්න ඉරියව්ව තමයි හොඳම සුදුසුම ඉරියව්ව බබෙකුට කෑම කවීමෙදි.බබාගේ කොන්ද කෙලින් තියෙන්න ඕන. මේකෙන් බබාටත් අම්මටත් දෙන්නටම මහන්සිය අඩුයි. ඒ වගේම තනියම බල ගන්න අම්මලට ගොඩක් ලේසියි. ඉතින් මුල් දවසේ ඉඳන්ම මේ විදියට පුරුදු කර ගන්න එක අවශ්‍යයි , නැත්නම් කල් යද්දී බබා පුටුවට එන්න අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම finger ෆූඩ්ස් වලට හුරු කර ගැනීමේදී මේ ක්‍රමය මට සෑහෙන පහසුවක් සැලසුවා

මීළඟට අපි බලමු බබාගේ අහාර පිළියෙළ කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියල. අපි ලංකාවේ නම් බොහෝ විට ආරම්භ කරන්න කියන්නේ බත් තලපයෙන්. මේ සඳහා පුළුවන් තරම් දේශීය සහල් වර්ගයක් භාවිත කරනවා නම් තමයි හොඳ.( මා වී, කළු වී ,ම පච්ච පෙරුමාල්, සුවදැල්). ඒ වගේම අඩුම තරමේ අවුරුද්දක් වත් යනකන් රසායන ද්‍රව්‍ය නොයෙදූ සහල් වර්ගයක් ගන්න පුළුවන් නම් හොඳයි. වෙළඳ පොලේ කබනික නැත්නම් organic කියල විකුනන්න තියෙනව. මට නම් වල් නාශකවත් යොදන්නේ නැතිව හදපු කුඹුරක හාල් ටිකක් හොයා ගන්න පුළුවන් උනා මගේ මහත්තයාගේ යාළුවෙකුගෙන්. ඒ වගේම එළවලු, පලතුරුත් ඒ වගේම හොයා ගන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් තරම් ගමේ කොටු වල හැදෙන එළවලු ගන්න බලන්න. මගේ බබාට නම් මගේ මහත්තයාගේ අම්ම බබා වෙනුවෙන්ම වවපු එලවලුත් ගමේ කොටු වලින් ගත්ත එළවලු සහ පලතුරුත් තමයි අවුරුද්දක් යනකන් දුන්නේ. බබාට කෑම පටන් ගත්තට පස්සේ මාත් මගේ ගෙදර නිවිති, ගොටුල්කොල, මුකුණුවැන්න, කන්කුන් වගේ පලා වර්ග වවා ගත්ත. දැන් නම් පලා වර්ග කිසි දෙයක් කඩෙන් ගන්නේ නැහැ.

බබාට දෙන්න ඕන බත් තලපයක්. ලංකාවේ ප්‍රධාන නහරය බත් නිසා අපි බත් තලපයෙන් ආරම්භ කරනවා. නමුත් මේක රටින් රට වෙනස් වෙන්නට පුළුවන්.

බත් කැඳ ආකාරයට නොදී තලප දෙන්න කියන්නේ ඇයි?

එකක් තමයි බබාට අදහසක් මුල ඉඳලම දෙන්න ඕනෑ බොන්නේ කිරි කන්නේ බත් කියල, නැත්නම් බබා කැබලි ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්

ඒ වගේම බබා අවුරුද්දක් වෙනකන් මව් කිරි බොනවා. අවුරුද්දක් වෙනකම් අවශ්‍ය පෝෂණයෙන් කොටසක් අහාර වලිනුත් ඉතිරි කොටස මව් කිරි වලිනුත් ලැබෙනවා, ඉතින් අහාරයේත් වැඩිපුර වතුර තිබුනොත් නිසි පෝෂණය නොලැබී යනවා වගේම මව් කිරි වලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය වතුර වලින් පිරී යනවා.

 ඒ නිසා කිසිම විදියකින් බත් තලප ආකාරයට හැරෙන්නට කැඳ ආකාරයට නම් දෙන්න එපා.

බබාට මුලින්ම බත් තලපය දෙන විදිය පොතේ සඳහන් වෙලා තියෙනවා. බත් තලපය සදා ගැනීමේදී හාල් මිටක් වගේ අර ගෙන  බත් ටික බෙරි වෙන්න උයා ගෙන ඒ බේරී බත් ටික stainless steel පෙරනයට (රූපයේ දක්වා ඇති ) දාල හැන්දෙන් පොඩ්ඩක් තද කරන්න. එවිට බත් ටික පොඩි වෙලා පෙරනයේ කුඩා සිදුරු තුලින් බේරිලා පෙරනයේ යට පැත්තේ එකතු වෙනවා. ඒ බත් ටික බබාගේ කවන භාජනයට දා  ගෙන මව් කිරි ටිකක් මිශ්‍ර කරලා බබාට දෙන්න. බබා ප්‍රශ්නයක් නැතිව කනවා නම් දවස් තුනකින් වගේ ඇට වර්ගයක් එකතු කරන්න. බොහෝ දෙන එකතු කරන්නේ පරිපපු නේ.  පරිප්පු දෙද්දී තෝර පරිප්පු දෙන්න පුලුවන්නම් හොඳයි. ඊට පස්සේ පොතේ විදියට එළවලු , පොල් කිරි තෙල් වර්ග, මස් , මලු එකතු කරලා විවිධ විදියට හදල දෙන්න පුළුවන්. අහාර ආරම්භ කර සති 2කින් වගේ තෙල් වර්ග එකතු කරන්න පුළුවන්. ටික ටික කැබලි ගතිය වැඩි කර ගන්න. ඒ වගේම මාස 8ක් වගේ උනාම finger foods ඒ කියන්නේ අතින් අල්ල ගෙන කෑ හැකි අහාර හඳුන්වා දීම පමා කරන්න එපා.

දරුවාට ඝන අහාර හඳුන්වා දිය යුතු පිළිවෙත ආශ්‍රිත කරුණු රැසකින් අප දැනුවත් කල  රොෂිතා ප්‍රේමතිලක මහත්මියට අපගේ ආදර ස්තුතිය පුද කරනවා. රොෂිතා ඇගේ උපාධිය නිම කලේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ ක්ෂේත්‍රයෙන් වන අතර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියක්ය. තොරතුරු තාක්ෂණ කළමනාකරණය අංශයෙන් පෞද්ගලික ආයතන කිහිපයක සේවය කර ඇති ඇය දැනට ඇගේ පුතා නිසා පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත්ව අර්ධ කාලීනව කථිකාචාර්යවරියක් ලෙසත්, research writer කෙනෙක් ලෙසත් කටයුතු කරනවා.