වැඩෙන දරුවාට පිරිසිඳු යට ඇඳුම් පැළඳවිය යුත්තේ ඇයි?

වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකරන කාරණාවක් වන, බාල මහළු කාටත්ද පිරිසිඳු යට ඇඳුම් පාවිච්චි කිරීමේ වැදගත් කම කියවෙන වටිනා කාරණා කිහිපයක්.

මම ලඟදී ප්‍රසිද්ද ඇඳුම් සාප්පුවකට ගොස් මගේ අවුරුදු දෙකේ පුංචි දියණියට යට ඇඳුම් හෙව්වා.  මට උවමනා වුනේ ඇඟට සනීප, තනි සුදු පැහැති සරල යට ඇඳුම්. සාප්පුව තට්ටු හතරකින් සමන්විතයි. එක තට්ටුවක් පුංචි දරුවන්ගේ ඇඳුම් සඳහා වෙන් වුනා. මෙම සංකීර්ණයේ පුංචි රාක්කෙක තනි තට්ටුවක මම සෙවූ ආකාරයේ යට කලිසම්  පහක් පමණ තිබුනා. ඒත් තනි සුදු තිබුනේ නැහැ.

ලස්සනට අඳින්නත්, අපේ දරුවන් විවිධ විලාසිතා වලින් හැඩ ගන්වන්නත් අපි ගොඩක් උනන්දු වනවා. අනේකවිධ අලුත් අලුත් ඇඳුම් කඩ සාප්පු දිනපතා ඉදි වන්නේ අපගේ ඒ මහජන ඉල්ලීමට සැපයුම ඉටු කරමින්. අපි පිටස්තර මෝස්තරයට කොපමණ තැන දුන්නත් යට ඇඳුම් වලට මේ හා සැම තැනක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක්.

යට ඇඳුම් ගැන කුඩා කල පටන්ම සැලකිලිමත් වීමට දරුවන් යොමු කල යුත්තේ මේ නිසයි.

1. සනීපාරක්ෂාව

සිරුරේ බහිශ්‍රාවී අවයව මුලින්ම ආවරණය වන්නේ යට ඇඳුම් වලින්. ඒ නිසා මේ ප්‍රදේශ සිරුර මතුපිට වැඩිපුරම ක්ෂුද්‍ර ජීවීන් හා අනෙකුත් බැක්ටීරියා වර්ග ක්‍රියා කරන ප්‍රදේශ වනවා. යට ඇඳුම් නිතර මාරු නොකිරීමෙන් හා පිරිසින්දුව තබා නොගැනීමෙන් දුර්ඝන්දය හා සමේ කැසීම් ආදිය ඇති වන්නට පුළුවන් අතර එම ප්‍රදේශ වල බැක්ටීරියා අසාදන පවා ඇති වන්නට පුළුවන්. සනීපාරක්ෂාව හා පිරිසිදුකම පවත්වාගැනීම සඳහා නැවුම් යට ඇඳුම් නිසි පරිදි මාරු කිරීමත් නැවුම් යට ඇඳුම් වැඩිපුර මිලදීගෙන පාවිච්චි  කිරීමත් අත්‍යවශ්‍ය වනවා.

2. සෞඛ්‍යය

දිගු කාලයක් එකම යට ඇඳුම් පරිශීලනයකිරීම සෞඛ්යයට දරුණු ප්‍රතිවිපාක ඇති කරනවා. ඉහත සඳහන් කළ ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා දිගු කාලයක සිට සමෙහි රැඳී සිටීමෙන් අනතුරුදායක ආසාදන ඇති විය හැකි අතර මෙයින් වඩාත් බරපතල වකුගඩු අක්‍රීය වීම්, මුත්‍රාශය ආශ්‍රිත අසාදන ආදිය ඇති වන්නට පුළුවන්. දරුවන්ට පිරිසිදු යට ඇඳුම් පාවිච්චි කිරීමට යොමු කල යුතු අතර සැම මාස තුනකටම වරක් පරණ යට ඇඳුම් ඉවත් කර අලුත් යට ඇඳුම් පාවිච්චි කිරීමට පටන් ගැන්ම ඉතාම සුදුසුයි.

3. ප්‍රබෝධය

විශේෂයෙන් නිවර්තන රටක් වන ලංකාවේ දේශගුණය මෙන්ම නාගරීකරණය නිසා ශීත රටවල මෙන් නොව අපගේ සිරුරු නිතර මහන්සියට හා දහදිය දැමීමට ලක් වනවා. මේ නිසා දිනකට දෙවරක් නැතහොත් තුන් වරක්වත් ඇඟපත සෝදා පවිත්‍ර කරගැනීමට දරුවන් යොමු කිරීම ඉතාම වැදගත් බව මෙහිදී සඳහන් කරන්නට කැමතියි. මේ සැම විටකම නැවුම් යට ඇඳුම් කට්ටලයක් පාවිච්චි කරවීමටත් අමතක කරන්නට හොඳ නැහැ.

4. නැවුම් පෙනුම

යට ඇඳුම් වල පිරිසිඳු බව මෙන්ම නැවුම් පෙනුමක්ද පවත්වාගෙන යාම ඉතාම වැදගත්. මේවා භාහිරට නොපෙනෙන නිසා අව පැහැ ගැන්වුණු හෝ දිරා පත් වූ නැතහොත් ඉරුණු ඇදී ගිය යට ඇඳුම් පවා පාවිච්චි කිරීමට ඇතැම් අය පැකිලෙන්නේ නැහැ. නමුත් පිරිසිඳු යට ඇඳුම් පාවිච්චියෙන් සිතටත් ප්‍රබෝධයක් ඇති වන අතර අපට ඇති විය හැකි අපහසුතා වලින් හෝ ලජ්ජාවෙන් වලින් අප මුදා ගන්නවා. මගේ අම්මා, මගේ ආච්චිගෙන් උගෙන මට කියා දුන් දෙයක් තමා “මට හදිස්සියක් හෝ අනතුරක් වී හදිසියෙන් වෙන කෙනෙක් මා රෝහල්ගත කළහොත්, මගේ යට ඇඳුම් ඒ මොහොතේ පිරිසිඳුව, නැවුම්ව තිබේද?” අප දරුවන්ටත් මේ වදන් හැම මොහොතකම සිතෙහි රඳවා ගැනීමට කියා දීමෙන් හැම මොහොතේම පිරිසිඳු නැවුම් යට ඇඳුම් පාවිච්චි කිරීමට ඔවුන්ව නිරායාසයෙන්ම හුරු කරවන්නට පුලුවන්.

5. ආත්ම විශ්වාසය

අපිරිසිදු මෙන්ම දුර්ඝන්ධ යට ඇඳුම් පාවිච්චි කිරීම නිසා සෞඛ්යයට මෙන්ම මානසිකව පවා අහිතකර ඇති විය හැකි අතර එය දරුවාගේ සමාජය තුළ අන්තර්-ක්‍රියාකාරිත්වයට,  ආත්ම-ගරුත්වයට හා සිතේ සැනසිල්ලට බලපෑම් ඇති කරන්නට පුළුවන්. පිරිසිදු ඇඳුම් කට්ටලයක් නිතර පරිශීලනය කරන දරුවකුට සමාජය තුල සාර්ථක සම්බන්ධතා සහ සමාජ අන්තර්ක්‍රියා ඇති කර ගැනීමට අවශ්ය විශ්වාසය ලබා දෙයි.

ඉතින් නිතර කතා බහට ලක් නොවන මේ කාරණාව ගැන ඔබ දැනුවත් කලේ මෙයත් දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීමට වැදගත් කාරණාවක් වන නිසයි. දරුවාගේ ශාරීරික සුව සෙත මෙන්ම මානසික අභිමානය ගොඩ නැගීමටද පිරිසිඳු ඇඳුම් මෙන්ම පිරිසිඳු යට ඇඳුම් භාවිතයත් වැදගත් වන බවට පසක් කර ගනිමු.