"මේ සරල පියවරවල් මගින් මගේ හපනා පෝෂදායි ආහාර ගන්න පුරුදු වුණා"

lead image

"දරුවට දිගින් දිගටම පොඩි කරපු කෑම දුන්නම ඔවුන් ඝන ආහාර වලට පුරුදු වෙන්නේ නැහැ. මගේ අත්දැකීම අනුව නම් ඔවුන්ට ටිකෙන් ටික ඝන ආහාර පුරුදු කළොත් විතරයි දරුවා ඒවා කන්න කැමති වෙන්නේ."

ආරම්භයේ ඉඳන්ම හොඳ හැම ආහාරයක්ම මගේ දුවට දෙන්න මම උත්සාහ කළා. එත් මං කොයි වෙලාවෙවත් කෑම බ්ලෙන්ඩරයකින් පොඩි කෙරුවේ නැහැ. හැන්දක් අරගෙන පොඩි කළා.

අම්මලා පිඟානට කෑම බෙදාගෙන දරුවන් එක්ක කරන යුද්ධය බලනකොට හිනායනවා. මේක අම්මලාට ලොකු මානසික වදයක්. දරුවන්ටත් එක එතරම් හොඳ දෙයක් නෙමෙයි.

ළඟදී මට මගේ යාලුවෙක් මුණගැහුණා. එයාගේ මාස 11 ක් වයස දුව දවසම ඉන්නේ කිරි විතරක් බිලාලු. මම පුදුමයට පත් වුණා. ඇය සාමාන්‍ය ආහාර ගන්නා මේසයට දරුවාව එක්කර නොගන්නේ ඇයි කියලා මම ඇහුවා.

ඇය තවමත් දරුවට ඝන ආහාර දෙන්න පටන් අරගෙන නැහැ. දවසකට අර්ධ ඝන ආහාර මේස හැඳි 2 ක්, 3 ක් නැත්නම් කැඳ ටිකක් තමයිලු දරුවා බොන්නේ. මම මගේ අදහස් දක්වන්න ගියේ නැහැ.

නමුත් ඇය දරුවට කෑම කවන්න හුඟක් උත්සහ කරන බවත්, ඉන් ඇය පරාජයට පත්වී සිටින බවත් මට පෙනුනා. මොකද ඇය තාමත් දරුවට ඝන ආහාර දෙන්න සුදානමක් තිබුනේ නැහැ.

ඒ වගේම හුඟක් අම්මලා අවුරුදු දෙකේ විතර දරුවන්ට පොඩි කරපු බත්, පරිප්පු කවනවා මං දැකල තියෙනවා. දරුවට හිරවෙයි කියලා සමහරු තවමත් කෑම පොඩි කරලා දෙනවා. නමුත් මේක හොඳ දෙයක් නෙමෙයි.

දරුවට දිගින් දිගටම පොඩි කරපු කෑම දුන්නම ඔවුන් ඝන ආහාර වලට පුරුදු වෙන්නේ නැහැ. මගේ අත්දැකීම අනුව නම් ඔවුන්ට ටිකෙන් ටික ඝන ආහාර පුරුදු කළොත් විතරයි දරුවා ඒවා කන්න කැමති වෙන්නේ.

දරුවාට පෝෂදායි ආහාර ගන්න උනන්දු කරන්න මම යොදාගත් තවත් උපක්‍රම කිහිපයක් කියන්නම්.

දරුවාට පෝෂදායි ආහාර

මාස 6 - 9 දක්වා

අර්ධ ඝන ආහාර පටන් ගත කාලයේම එකම දේ දෙනවට වඩා විවිධ කෑම, කෑම වේලට මම එකතු කළා. පොඩි කරන කෑම හැන්දකින් විතරක් පොඩි කළා. මන්ද ඔවුන්ට මුලදීම එක පුරුදු නොකළොත් පසුව එයට පුරුදු වීමට ඔවුන්ට බැරි වෙනවා.

  • ඇයට මාස 6 ක් යනතුරු සම්පුර්ණයෙන්ම මව් කිරි දීලා ඉන්පසු බත්, එළවළු මිශ්‍ර කරලා තලපයක් ආකාරයට දුන්නා.
  • මාස 9 ක් විතර වෙනකොට ක්‍රමයෙන් ආහාර වල කැබලි වල ප්‍රමාණය ලොකු කළා.
  • මාස 9 කාලයේදී සුප් වර්ග තැම්බූ එළවළු, මාළු දුන්නා. ඒ නිසා දුව හැම රසයටම පුරුදු වුණා.
  • ඒ වගේම ගස්ලබු, කෙසෙල්, අලිපේර, තැඹිලි වතුර වගේ අපේ දේශීය ආහාරත් දුන්නා. ඒවා පුළුවන් තරම් කුඩා කැබලි වලට කපලා දෙන්න මම නිතර උනන්දු වුණා.
  • මුලින් බිත්තරයෙන් සුදු මදයත් පසුව කහ මදයත් බාගෙට තම්බලා දුන්නා.
  • මම කවදාවත් වෙළඳපළේ ඇති සිරියල් වර්ග නම් දුන්නෙම නැහැ. වෙනසකට වගේ කිරි වල පොඟවලා මාරි බිස්කට් සවසට දුන්නා.
  • සවසට එළවළු සුප් එකක් හදලා දුන්නා. එළවළු ඔක්කොම දාලා සුදානම් කරලා ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් හරි බටර් ටිකක් හරි දැම්මා. දෙහිත් ටිකක් දැම්මා.

ඇයට අවුරුද්දක් වෙනකොට

අවුරුද්දක් වෙනකොට බබාගේ ආහාර දිරවීමේ හැකියාව පෙරට වඩා හොඳයි. ඒ නිසා බිත්තර තම්බලා, කුකුල් මස් වගේ දේවල් පෙරට වඩා දිරවීමේ පහසුවක් තියෙනවා.

  • අවුරුද්දක් වෙනකොට මම එයාට එළවළු වලට පොල් කිරි දාලා ව්‍යංජන විදිහට හදලා කැව්වා.
  • කෑම අතරතුර පුංචියට කපපු පලතුරු සහ අමු කැරට් වගේ දේවලුත් දුන්නා.
  • රොටි වගේ දේවල් සවසට සුප් එක්ක පොඟවලා දුන්නා.
  • කිරි, බිත්තර දාලා ගෙදරදීම සීනි ඉතාම අඩුවට පුඩින් වගේ දේවල් හදලා දුන්නා.
  • තැම්බූ බිත්තර අතර මැද දවසට දුන්නා.
  • මේ අතරට යෝගට් එකක් හැමදාම වගේ දෙන්නත් මම අමතක කළේ නැහැ.

 මාස 18 න් පසු දරුවාට පෝෂදායි ආහාර

මාස 18 ක් විතර වෙනකොට දුව කෑම රටාවට හොඳින්ම පුරුදු වුණා. ඒ නිසා අපිත් එක්ක ඉඳගෙන කෑම ගන්න පුරුදු කළා. එයාට දෙන කෑම පංගුවෙන් භාගයක්ම බිම හැලුවත් මම ඒ ගැන සැලකුවේ නෑ. මට ඕනේ වුනේ නෑ අපිත් එක්ක කෑම ගන්න එක අමිහිරි බය හිතෙන දෙයක් බවට පත් කරන්න.

ඇය ඒ අවස්ථාව හරි උනන්දුවෙන් රස වින්දා. කෑම මේසේ කෑම නම් කරමින් ඇය අපෙන් කෑම ඉල්ලුවා. අම්මි අල, අම්මි eggs. ඇය සුරතලේට ඉල්ලුවා. ඔවුන්ට ආහාර ගැනීම පුරුදු කරන එක මුලින්ම පටන් ගත්තොත් අමාරු නැහැ. ඉවසීම වගේම නුවණින් හොඳ දේ තෝරා බේරා දරුවට දීමයි වැදගත්.

ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka හැමදාමත් කියනවා වගේ නිවැරදි ආහාර රටාවක් දරුවට වටින්නේ අදට විතරක් නෙවෙයි මුළු ජිවිත කාලයටමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ