ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

අම්මලා තාත්තලාට තමන්ගේ පුංචි පැටවු එක්ක ජීවිත කාලය නොබිඳෙන සබඳතාවයක් පවත්වා ගන්න මේ කරුණු හුඟක් වැදගත් වේවි.

පළවෙනි වතාවට ඔබ ඔබේ පැටියාව අතට ගත් මොහොත කවදාවත් අමතක නොවන බව විශ්වාසයි. අම්මා කෙනෙක් ගැබ්බර වූ මොහොතේ ඉඳන් අම්මා සහ දරුවෙක් අතර ඇතිවෙන බැඳීම හරිම පුදුම සහගතයි. ඒ සමග ඇතිවන බැඳීම මතකයන් වලටත් වඩා හුඟක් වැදගත්. ඒ මගින් ඔබේ පැටියාට ශාරීරික මානසික මෙන්ම කායික වර්ධනයට ලොකු උදවුවක් ලැබෙනවා වගේම අම්මාටත් සෞක්‍යමය වශයෙන් ප්‍රයෝජන රැසක් ලැබෙනවා.

ඔබේ පුංචි පැටියා මෙලොව එළිය දුටු දා ඉඳන් ළදරු, බිළිඳු හා ළමා වියත්, ඉන් පසුවත් ඔවුන් සමග ශක්තිමත් බැඳීමක් ඇතිකර ගන්නේ කොහොමද?

මේ හැම අවධියකදිම ඔබේ පැටියා එක්ක නොබිඳෙන ආදරණිය බැඳීමක් ඇති කරගන්න අපි මේ ආදරණිය ඉඟි 21 කියන්නම්.

පුළුවන් තරම් ඉක්මනින් මව් කිරි දෙන්න

පුංචි පැටියා දෑතට අරගෙන මොළකැටි මුහුණ දිහා බලන්න. ලේ කිරි කර පොවනවා තරම් සතුටක් අම්මා කෙනෙකුට කොහෙන්ද? කිරි බිබී පැටියා නින්දට යන හැටි බලන් ඉන්න ඔබට දැනෙන සතුට වගේම පැටියාට ඔබ ගැන දැනෙන ආදරය අනන්තයි. අනෙක් අතට මුලින් ලබාදෙන කිරි වල ඇති කොලෙස්ට්‍රම් වල ඇති අනන්ත ගුණයන් දරුවාට දෙන රැකවරණය කියා නිමකරන්න බැරි තරම්.

හැකිතරම් තුරුලට ගන්න

ඔබේ දරුවා හැකි තරම් තුරුලට ගන්න. පැටියාගේ සුසිනිඳු මල් පෙති වගේ මෘදු සම අම්මගේ ඇඟේ ගැටෙන විට පැටියට සුවයක් සතුටක් දැනෙනවා. එයාව සන්සුන් කරනවා. එය මව්කිරි එරීමටත්, දීමටත් උදවු වෙනවා.

පැටියාගේ හිස සිඹින්න

සම්ප්‍රදායික ලෙස තොප්පියකින් පැටියාගේ හිස වසනවට වඩා ඔහුගේ හිසෙන් එන නැවුම් සුවඳට මුව ළංකර සිඹින්න.

සුවය සදන සම්බාහනයක්

විවිධ රසායනික ද්‍රව්‍ය මුසුවූ සබන් තවරනවට වඩා දරුවා මෘදුව පිරිමැද ඔහුව සනසන්න. මේ නිසා දරුවාට ඇතිවෙන ගෑස් ගතිය මගහැරෙන අතරම ඔබත් පැටියාත් අතර ඇති සබැඳියාව වැඩි වෙනවා.

ඇස් දෙක දිහා බලන්න

තාමත් පැටියාට ඔබව හරි හැටි පෙනෙන්නේ නැති වුනත් ළඟට වෙලා බලාගෙන ඉන්න එකම පැටියාට හුඟක් සතුටක්.

පුංචි පැටියා ළඟට වෙලා නිදාගන්න

ඔබ බබාත් එක්ක නිදගන්නවද නැද්ද කියන එක පෞද්ගලික කාරණයක්. නමුත් ඔබ දරුවා ළඟ නිදාගන්නේ නැත්නම් ඔහුගේ තොටිල්ල ඔබේ කාමරයේම තබාගන්න.

පැටියාට සිංදු කියන්න කතා කරන්න

පුළුවන් හැම වෙලාවකම පැටියාට කතා කරන්න. සිංදු කියන්න. අම්මගේ හඬ ඇහෙනවා තරම් සතුටක් පැටියාට නැහැ.

අතට අරගෙන සුරතල් කරන්න

අතට ගන්න එකයි සුරතල් කරන එකයි නරකයි කියන අයට කන්දෙන්න එපා. මේ හින්දා ඔබත් දරුවාත් අතර හුඟක් ආදරණීය බැඳීමක් ඇති වෙනවා වගේම මානසික සංවර්ධනයටත් උදවු වෙනවා.

හැකිතරම් කල් මව් කිරි දෙන්න

ඔබට පුළුවන් නම් මාස 6 ඉක්මවාත් මව් කිරි දෙන්න. මේ නිසා බබාට වගේම ඔබටත් හුඟක් නොදැනුවත්වම වාසි ලැබෙනවා.

ඔහුට කියවන්න

කියවීමට තම පැටියා පොඩි වැඩියි කියලා හිතන්න එපා. දැන්ම එයාට ඇහෙන්න පොත් කියවන්න. මේ නිසා මුල් අවධියේම කියවීමට ලිවීමට හැකියාව ලැබෙනවා වගේම බබාගේ සිතීමේ හා නිර්මාණශීලි හැකියාවන් වර්ධනය වෙනවා.

බබාත් එක්ක විනෝද වෙන්න

බබා ටිකෙන් ටික ලොකු වෙනකොට එයාගෙම පෞර්ෂයක් දකින්නට ලැබෙනවා. ඒ හිනාවත් එක්ක, නාන වෙලාවට, කන වෙලාවට සිනාසෙමින් විනෝද වෙන්න.

ලස්සනට අන්දවන්න

හැඩට ලස්සන ඇඳුම් අන්දවිමත් ඔබත් පැටියාත් අතර ආදරය බැඳීම වැඩිකරනවා.

පැටියාත් එක්ක නටන්න

පැටවු නටන්න සිංදු කියන්න ආසයි. එයත් එක්ක එකතු වෙලා කැමති අතට නැමෙමින් උඩ පනිමින් නටන්න. පැටියට හරි සතුටුයි. ඔබේ බැඳීම ඉන් තවත් ශක්තිමත් වේවි.

හාදු දී තුරුලට ගන්න

බිළිඳු පැටියා ළදරු වියට ළඟා වෙනකොට සුරතලේට එයා හරි ආසයි. ඉඹිනවට තුරුලට ගන්නවාට එයා හුඟක් කැමතියි.

පුංචි පුංචි පුරුදු ඇති කරන්න

දවසේ ඔහු කැමති දේවල් පුරුද්දක් ලෙස ඉටු කරන්න. නින්දට පෙර කතාවක් කියන්න, සතියට වරක් ආසම කෑමක් හදලා දෙන්න, නානකොට බෝලයක් අරගෙන සෙල්ලමක් කරන්න වගේ දේවල් නිසා ඔහුට ආරක්ෂාව හා රැකවරණය දැනෙනවා. ඉන් ඔබ දෙදෙනා අතර බැඳීම වැඩිවෙනවා.

ඉඳහිට ඔබේ නීති වෙනස් කරන්න

හැමතිස්සෙම එපා කියනවට වඩා ඉඳහිට ඔබ එපා කියල නවත්වන දේවල් වලට බුරුලක් දෙන්න. සුපර් මාකට් එකෙන් චොක්ලට් එකක් ගන්න, සෙල්ලම් බඩුවක් අරගන්න වගේ දේවල් නිසා බබාට ඔබත් එක්ක ඇති බැඳීම වැඩිවෙනවා.

එළිමහනට යන්න

නිතර එළිමහනට යන්න. නිදහසේ ඔහුත් එක්ක ඇවිදින්න. දැන් එයාගේ හොඳම මිතුරා ඔබ නිසා වැඩිපුර කල් ගෙවන්න කැමති ඔබත් එක්කමයි.

එයාට බැරිවෙන කොට ළඟ ඉන්න

ඔවුන්ගේ විදිහට ඕන දේවල් නොවෙනකොට සමහර දරුවන් එය ඉතා හොඳින් පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවට ඔහු ළඟ ඉන්න. ඔහු වැඩිවිය එළඹුන විටත් කරදරයකදී ඔබව ඔහුට හුඟක් වැදගත් වෙනවා.

ඔහුත් එක්ක ක්‍රීඩාවක් කරන්න

මුහුණෙන් එක් එක් ඉරියව් කරන්න, හැංගි මුත්තම් කරන්න. බඩ රිදෙනකම් හිනාවෙන්න බබා හරිම කැමතියි.

හෙලෝ, ගුඩ් බායි, මම ඉක්මනට එන්නම් කියලා කියන්න

ඔහුව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවන විට “ගිහින් එන්නම්”, “ඉක්මනට එන්නම්”, “බායි” කියන්නත් නැවත හමුවූ විගස ඔබ ආදරේ ප්‍රකාශ කරමින් “කොහොමද පැටියා? මං ඔයාට හුඟක් ආදරෙයි” කියමින් ආදරය ප්‍රකාශ කරන්න.

ඔවුන් වෙනුවෙන් කාලය යොදවන්න

දරුවෙක් ලොකු වෙන්න ලොකු වෙන්න ඔවුන් ස්වාධීන වෙනවා. එය දෙමාපියන්ට පහසුවක්. ඒත් නිතරම ඔවුන් සමග යම් කාලයක් ගෙවන්න අමතක කරන්න එපා. ඒ නිසා නිතරම ඔවුන් ගැන ආදරය දක්වන බවත් ඔවුන් ගැන සැලකිලිමත් වෙන බවත් දන්වන්න.

දරුවන් එක්ක නොබිඳෙන බැඳීමක් ඇතිකරන්න අම්මලාට මේ කරුණු  theAsianparent Sri Lanka ගෙන ආවේ හැමදේටම ආදරය පළවෙනි තැන ගන්න නිසයි.