පොත්වල නැති පුංචි කතන්දර ගොතලා ඔබේ දරුවා නිර්මාණශීලි දරුවෙකු වන හැටි බලන්න

පොත්වල නැති කතා ඔබට දරුවා වෙනුවෙන් ගොතන්න පුළුවන්. ඒවා අහගෙන ඉන්න පැටියා හරිම ආසයි. ඉතින් නීරස බොහෝ දේ රසවත් කරන්න අම්මගේ තාත්තාගේ රස කතාවකට පුළුවන්.

කතන්දර අසන්න ඔබේ පැටියා ආසා කරන්නේ ඔහු ඔබේ කුස තුළ හැදෙන වැඩෙන කාලයේ පටන්මයි. අම්මට කුස තුළ හැදෙන දරුවට කතාකරන්න කියලා කියන්නේ නිකමට නෙමෙයි. දරුවා සහ අම්මා අතර සබඳකම් පටන් ගන්නේ එදා ඉඳලමයි. ඉතින් කුස තුළ ඉන්න පැටියාව පිරිමදිමින් කතා කරන අම්මට පැටව් අගේට ප්‍රතිචාර දක්වන බව ගර්භණි අම්මලා කියන කතාවක්.

කොහොම වුනත් එතනින් ඇරඹෙන කතාව ඔබේ දරුවාගේ ජිවිතයට අතිශය වැදගත්කම් රැසක් එක් කරනවා. ඔබත් දරුවාත් අතර ඇති බැඳීම ශක්තිමත් වෙන අතරේ ඔහු ලෝකය ගැන දකින්න, අසන්න, ඉගෙන ගන්න වගේම හරිම නිර්මාණශීලි වෙන බව ඔබට දැනේවි.

පොත්වල නැති කතා ඔබට දරුවා වෙනුවෙන් ගොතන්න පුළුවන්. ඒවා අහගෙන ඉන්න පැටියා හරිම ආසයි. ඉතින් නීරස බොහෝ දේ රසවත් කරන්න අම්මගේ තාත්තාගේ රස කතාවකට පුළුවන්.

breastfeeding2jpg

1. කිරි බොනකොට කතාවක්

පුංචි පැටියා ඔබේ දෝතට ආපු දා ඉඳලා ඔහුට කතාකරන්න, කතා කියලා දෙන්න ඔබට පුළුවන්. අම්මගේ උණුසුමට තුරුල් වෙලා කිරි උරණ පැටියගෙ හිස පිරිමදිමින් ඔබේ ආදරය කතාවකට පෙරලන්න ඔබට පුළුවන්.

දරුවාත් ඔබත් අතර ඇති බැඳීම වගේම ඔබේ ශරීරය තුළ කිරි නිෂ්පාදන ක්‍රියාවලියටත් එය හොඳ උදව්වක් වෙනවා. ඒනිසා ඔබත් දරුවාත් අතර හොඳ සන්නිවේදනයක් ඇති වෙනවා. දරුවාගේ හොඳම මිතුරිය ඔබ වෙනවා. අද වගේම හැමදාම මේ රසබර කතාව ඔහුට මතක් වෙනවා. ඒක ඔහුගේ පෞරුෂයට ශක්තිමත් අඩිතාලමක් වෙනවා වගේම ඔහුගේ නිරෝගී වර්ධනයට හුඟක් උදව් වේවි.

mum and baby bed

2. නිදියනකොට කතාවක්

සමහර දරුවෝ ලොකු වෙන්න, ලොකු වෙන්න නින්ද මගහැරලා සෙල්ලම් කරන්න තමයි කැමැති. ඉතින් මේ වෙලාව ඔබට කතන්දරයකට වෙන් කරගන්න පුළුවන්. මේ වෙනුවෙන් ඔබට හිතින් නිර්මාණය කළ කතාවක් කියන්න පුළුවන්. සමනලයෙක් මල් පැණි හොයන්න මල් වත්තකට ගිහිං කළ අපූරු වැඩක්, බලු පැටියට එයාගේ නැතිවුණ බෝලය හමුවන හැටි කියන්න ඔබට පොත් ඕනෙ නෑ නේද?

ක්‍රමයෙන් ඔහුට ඔබේ කතා නැතිව බැරි වෙනවා වගේම මේ කතා ඔබ ගොතන හැටි ඔහු අධ්‍යනය කරනවා. ඔබේ නිර්මාණශිලිත්වය හිතින් අගයන ඔහුත් කතන්දර නිර්මාණය කරනවා. ඒ නිර්මාණ හරහා ඔහු තවත් හුඟක් දේ නිර්මාණයට පෙළඹෙනවා. අනෙක් අතට නින්දට පෙර ඔහුගේ සිත සන්සුන් කිරීම නිසා ඔහුට සුවබර නින්දක් ලැබෙනවා. සුවබර නින්ද හුඟක් ලෙඩ රෝග වළකනවා වගේම දරුවාගේ ශාරීරික වර්ධනයටත් හුඟක් වැදගත් වෙනවා.

3. බත් කන්න කතාවක්

දරුවන්ට කෑම කවන්න පටන් ගත්තහම අම්මලාව හුඟක් විඩාවට පත් කරනවා. හුඟක් දරුවෝ කුඩා වයසේදී බත් වගේම පෝෂණය වැඩි කෑමට වඩා පුංචි පුංචි විසිතුරු කෑමට තමයි වැඩිපුර ආසා කරන්නේ.

ඉතින් පෝෂණය ගැන හිතලා ඔබ හදන ගුණවත් කෑම වේල දරුවා ප්‍රතික්ෂේප කළහම දැනෙන දුක අනන්තයි. එත් කතාවක් ඊට හොඳ උපායක් වෙන්න පුළුවන්. මේක දරුවට ජිවිත කාලයටම ලැබෙන පෝෂණීය කතාවක් කරගන්න ඔබට පුළුවන්.

පුංචි සතෙක් හා කෑම වර්ගයක් ඒකට ඈඳලා ඔබට කතාවක්  ගොතන්න පුළුවන්. නැතිනම් කැරට් අලයක් කරපු වීර ක්‍රියාවක් ඉක්මනටම ගොතලා ඔහුට කියන්න පටන් ගන්න. ඔහුට සියල්ල අමතක වෙලා ඔබේ කතාවේ රසයට වහ වැටෙනවා.

එයා කැමැත්තෙන්ම කෑම ටික කන්න ගන්නවා වගේම අම්මගේ මේ පුංචි නිර්මාණ හැකියාව, ඔවදන් බත් කටත් එක්කම ඔවුන් උකහා ගන්නවා. ඉතින් ඔබත් දරුවාත් නොදැනීම  දරුවා තුළ නිර්මාණකරණය ගොඩනැගෙනවා. කෑම කන එක අමිහිරි අත්දැකීමක් වෙනවට වඩා රසබර අත්දැකීමක් වෙනවා.

good kids_featured

4. දඟ වැඩකට යොමුවෙනකොට කතාවක්

සමහර දරුවන්ව පාලනය කරගැනීම අමාරු අවස්ථා එනවා. ඒ වෙලාවට ඔවුන්ගේ අවධානය, තරහව වෙනත් අතකට හරවන්න ලස්සන පුංචි කතාවකට පුළුවන්. “ආ... අර බලන්නකෝ අර කුරුල්ලා අතනින් පැනලා, මෙතනට ඇවිල්ලා, මෙන්න මේ කොළය දැන් කන්නයි එන්නේ. යමුද අපි ඒ ඇත්තට බලන්න”.

ඔය වගේ ඉතා පහසු සිදුවීමක් අරගෙන සම්පුර්ණයෙන්ම කෙන්තියටත් විඩාවටත් පත්වෙලා ඉන්න දරුවාගේ මනස වෙනම රසබර ලෝකයකට ගෙනයන්න දෙමාපියන්ට පුළුවන්. මම කතා කියන්න දන්නේ නෑ කියලා හිතන්න එපා. ලොකු ප්‍රස්තුතයක් ගැන නොසිතා පුංචි පැටව් ආස කරන පුංචි දෙයක් ගැන ඔබේ කතාව ගොතන්න පුළුවන්.

එතකොට ඔවුන් ප්‍රශ්න අහන්න ගන්නවා. ඒ තුළින් ඔවුන් කුතුහලය වැඩිවෙනවා වගේම විචාරශීලි බව හා යමක් නුවණින් අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇරඹෙනවා. මේ මගින් පාසල් වයසට එනකොට ඔවුන්ට හුඟක් දේවල් ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම මෙවැනි අවස්ථාවක ඔහුගේ අවධානය වෙන අතකට හැරීම නිසා ඔහු වෛරය, තරහා හිතේ තියාගෙන ඉන්නේ නැතිව ඉක්මනින්  එය අමතක කර දමන්න ඉගෙන ගන්නවා. ඉතින් මේ පුහුණුව දිගුකාලීනව හිතුවහම කොයිතරම් වැදගත් දැයි ඔබට සිතේවි.

5. ගෙදර වැඩ වලදී කතාවක්

ඔබ හුඟක් අවිවේකි බව ඇත්ත. ඉතින් ඔබට කතාවක් කියන්න වෙලාවක් නැහැ කියලා හිතන්න එපා. පුංචි දරුවාව උයන කුස්සියට අරගෙන ගිහින් වුනත් ඔබට මේ දෙය කරන්න පුළුවන්. ඔබ උයන අතරේදී වුනත් ඔබේ කාර්යයේ නිරත වෙමින් ඔහුත් සමග ඔබට කතාවක් පටන් ගන්න පුළුවන්. ඉන් දරුවා හුදෙකලා දරුවෙකු වීමේ අවධානම හුඟක් අඩු වෙනවා. දරුවාට එහි වටිනාකම දැනෙන නිසා අම්මට කරදර නොකර කතාව අසමින් දරුවා ඔබත් සමග ඒ අවස්ථාව විඳිනවා.

6. වාහනේදී කතාවක්

තාත්තලාට වෙලාවක් නෑ. ඒ කතාව බොරුවක් කරන්න ඔබට පුළුවන්. ඇයි පුතාව, දුවව පාසලට එක්කන් යනකන් එනකන් ඔබට කොයිතරම් කතා ගොඩක් කියන්න පුලුවන්ද?

දරුවට දුරකතනයෙන්ගේම් එකක් සෙල්ලම් කරන්න දෙනවට වඩා මේක හුඟක් වටිනවා. අද කාලේ දරුවන් සහ දෙමාපියන් ඈත්වෙලා යන්න හුඟක්ම හේතුවෙන්නේ මේ සන්නිවේදනයේ දුර්වලතා නිසාමයි.

ඉතින් පාරේ යන එන අතරතුර සිදුවන සිදුවිමක් අරගෙන ඔබට කතා දහසක් වුනත් නිර්මාණය කරන්න පුළුවන්. නොදන්නා අමුත්තන් ලෙස ගමනක් ගිහින් බහිනවට වඩා හැම ගමනක් අවසානයේම ඔබේ බැඳීම වැඩි කරගන්න මෙය හොඳ උදවුවක් වේවි.

අතීතයේ ඉඳන් කතන්දර වලට මෙතරම් වැදගත් කමක් ලැබුනේ නිකම්ම වෙන්න බැහැ. ඉතින් අපේ පැටවුන්ටත් ලෝකය දකින්න උදව් කරන්න දෙමාපියන් වන අපිට තිලිණ කළ හැකි මිල නොවන හුඟක් දේ තියෙනවා. theAsianparent Sri Lanka මෙවර ගෙනාවේ එවන් තවත් සුවිශේෂී සරල යෝජනා කිහිපයක් පමණයි.