දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ කෙසේද?

බිළිඳු  අවදියේ කිරි බීමේ සිට නෑම, කෑම, නිදාගැනීම සඳහා දරුවකු දෛනික රටාවකට හැඩගන්වා ගැනීමට ඔබට අනුගමනය කළ හැකි සරල කරුණු කිහිපයක් මෙතැනින්.

අද  විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත අයේෂා චතුරාණි සිරිබද්දන විසින් සපයන ලද තවත් ලිපියක්. දරුවන්ට කාලසටහනකට අනුව හැඩගැසීමට ඉගැන්වීමෙන් ඇති වන වාසි ගැන ඇය පසුගියදා ලියු දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?  ලිපිය තුලින් අප දැනුවත් කළා. 

අද ලිපිය ලියන්නේ මෙසේ දින චර්යාවකට දරුවා හුරු කරවන්නේ කෙසේද යන්න ගැන මනා දැනුවත් කිරීමක් සහිතවයි. 

පුංචි බිළිදෙකු ඉපදුණු මුල්ම දවස්වල පුංචි ගවේෂකයෙක්..

හරියටම කියනවා නම්, තමන්ගේ අවට ලෝකය උරා ගැනීමට සූදානමින් ඉන්න ස්පොන්ජ් එකක් වගේ.

මුල් මාස 2-3 කියන්නේ ගර්භාෂයෙන් පිටත තියෙන  ලෝකයට අනුවර්තනය වෙන්න උත්සාහ කරන සංක්‍රාන්ති සමයක් කියලයි මට නම් හිතෙන්නේ.

මේ මුල් කාලය තුළ දරුවන්ගේ නිශ්චිත රටාවක් නැහැ. දවස පුරාම කිරි බීම, නිදා ගැනීම, ඇහැරීම, බහිශ්‍රාවී ක්‍රියා සිදු කිරීම සිදු කරනවා. එය සාමාන්‍යයයි.

මේ කාලයේදී සමහර බබාලා දවසට පැය 17 ක් නිදා ගන්නා අතර තවත් සමහර බබාලාට පැය 14 ක් ඇති. සමහර බබාලා ගොඩාක් ක්‍රියාශීලියි. මේ දේවල් බබාගෙන් බබාට වෙනස් වෙනවා.

ඉතින් මේ මුල් කාලයේ නිදහසේ  අලුත් ලෝකය ගවේෂණය කරන්න පුංචි පැටියට අවස්ථාවක් දෙන්න.

එ නම්, මුල්ම කාලයේ දරුවාගේ ඉල්ලීමට අනුව(on demand) කිරි දීම සහ නිදිකරවීම සිදු කිරීම තමයි වඩාත්ම සුදුසු.

සති අටක් වගේ පහු උනාට පස්සේ දරුවාට නිශ්චිත දින චර්යාවක් හඳුන්වා දීමේ මූලික අඩිතාලම දැමීම ආරම්භ කරන්න පුළුවන් .

ඔබ හිතනවාද එය පටන් ගන්න කල් වැඩියි කියා.. දරුවන්ට මෙය ඉගෙන ගැනීමට වටහා ගැනීමට ඔවුන් කුඩා වැඩියි කියා. කොහෙත්ම නැහැ.. මොකද පොඩි පැටවු ඉගෙන ගන්න පටන් ගන්නේ ගර්භාෂය ඇතුලෙමයි.

මේ කාලයේ ශක්තිමත් පදනමක් දැමීම හේතුවෙන් දරුවාට මාස 4-6 පමණ වන විට කුඩා දරුවාට නිශ්චිත  දෛනික චර්යාවකට සාර්ථකව හැඩ ගැසීමට පුළුවන්  වෙනවා.

ඉතින් දින චර්යාවක් එහෙමත් නැත්නම් දෛනික සැලැස්මක් සකස් කිරීමේදී මුලින්ම අම්මලා සිදු කළ යුතු මූලිකම සහ වැදගත්ම කරුණු වෙන්නේ..

දරුවෙකුගේ ශරීරයේ ඇති ස්වභාවික රිද්මය (natural rhythm ) එක හඳුනා ගන්න.

එය අම්මාට තරම් හොඳින් කරන්න පුළුවන් වෙන කාටද?

ඒ අනුව දරුවාගේ වෙහෙස, බඩගින්න හෝ නිදිමත පිළිබඳ ඉඟි වටහා ගන්න.

දරුවාගේ ස්වභාවික රිද්මය හඳුනා ගත් විට ඔහුගේ ඉඟි වටහා ගැනීම ඉතාම පහසුයි.

අලුත උපන් සාමාන්‍ය  දරුවෙකුගේ චර්යාව මුල් සති කිහිපය තුළ සෑම පැය තුනකටම වරක් පහත ආකාර ලෙස වෙනස් වෙනවා .

කිරි දීම - විනාඩි 30

සෙල්ලම් කිරීම -විනාඩි 30

නිදාගැනීම -පැය 2

හැම දරුවෙක්ම හරියටම මෙහෙම කරනවාද?

දරුවෝ කියන්නේ මැෂින් එකක් නම්, වෙලාව සකස් කරලා, අවශ්‍ය දත්ත කවලා තිබ්බොත් හරියටම ඔය විදියට කරාවි. ඒත් දරුවෝ කියන්නේ පුංචි මිනිස් ප්‍රාණීන් නිසා, මේ දේ අඩු වැඩි විදියට වෙනස් වෙන්න පුළුවන් වගේම, මේ විදියට හැඩ ගැහෙන්න අම්මලාගේ උදවු ඕන වෙනවා.

ඔබේ  බිළිඳු දරුවාට  දවසකට කෙටි නිදාගැනීම් 6-7 ක්  ලැබෙනවා වෙනුවට දිගු, සුවදායී නිදා ගැනීම් 2-3 ක් ලැබෙනවා නම් එය දරුවාට වගේම දරුවා රැක බලා ගන්නා ඔබටත් බොහෝම ප්‍රසන්න, සුවදායී, නිරෝගී තත්වයක් උදාකරනු ඇති.

බිළිඳු  අවදියේ කිරි බීමේ රටාවක් සහ නිදා ගැනීමේ රටාවක් හැඩගන්වා දීමට ඔබට අනුගමනය කළ හැකි සරල කරුණු කිහිපයක් කියන්නම්.

කිරි දීමේදී

හැම කිරි දීමකටම කළින් මිනිත්තු කිහිපයක් කිරි දීම පරක්කු කිරීම මඟින් දරුවා බඩගින්න පිළිබඳ සංඥා නිකුත් කිරීමට ඉගෙන ගන්නවා මෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් බීමටද ,කිරි වේල් දෙකක් අතර වැඩි කාලයක් බලන් ඉදීමටද පුරුදු වේවි.

දරුවාට බඩගිනි වේලාව හදුනා ගෙන ,ඔහුගේ කුස පිරෙවුවොත්,ඔබේ දරුවා වඩාත් සැහැල්ලුවෙන්,ප්‍රීතියෙන් ආහාර ගනීවි.

ඒ සදහා

දරුවාගේ බඩගිනි සංඥා හඳුනා ගන්න.

ඔබේ දරුවා බඩගිනි සංඥා පෙන්වූ වහාම සංසුන්, නියමිත ස්ථානයකට දරුවා රැගෙන  යන්න.

කිරි දීම සදහා උපකාර කරගන්නා කොට්ටය (nursing pillow ), තැන්පත් සිහින් සංගීතයක් වැනි කිරි දෙන වෙලාවට පමණක් විශේෂයෙන් භාවිත කරන දෑ පාවිච්චි කරන්න .

ඒ අනුව දරුවා ක්‍රමානුකූලව මේ තමන්ගේ ආහාර ගන්නා වේලාව බව වටහා ගනී.

නිදි කරවීමේදී

ඔබේ දරුවා උද්‍යෝගයෙන් තොරව (drowsy )ඉන්නවා දුටුවොත්, බබාව ඇද උඩින් තියලා, සියුම් සංගීතයක් වාදනය කරන්න, නැත්නම් නැළවිලි ගීයක් කියන්න. එවිට දරුවා ක්‍රමයෙන් වටහා ගනීවී මේ සංගීතය, අම්මාගේ කවිය නිදාගැනීමට සුදුසු වෙලාව බවට.

සැමවිටම ඔබට, ඔබේ දරුවා නිදිකරවීම හුරුකිරිමට අවශ්‍ය වේලාව ළංකරලා දරුවාගේ කුස පුරවන්න.

හැම නින්දකටම කළින් ,තවත් කෙටි වේලාවක් (අඩුම තරමේ විනාඩි 10ක් වත් )බබාව ඇහැරවලා තියාගන්න උත්සාහ කරන්න .

නින්ද සදහා සූදානම් කරන්න

උදා- හොදින් කුස පිරවීම, සැහැල්ලු ඇදුම්, පිරිසුදු නැපි සහ සංසුන් සංගීතයක් ඔබේ දරුවාට සුව පහසු නින්දක් ගෙන දේවි.

සෙල්ලම් කිරීම

ඉතාම කුඩා දරුවාටත් සෙල්ලම් කිරීමට අවශ්‍ය වේ.දරුවා වඩාත් ක්‍රියාශීලී ව සිටිනා වෙලාවට සෙල්ලම් කිරීමට භාවිතා කරන්න .

නෑම

හැමදවසකම නෑම සදහා දවසේ නිශ්චිත වේලාවක්  තබා ගන්න.

සති 8 ඉදන් සාමාන්‍ය දරුවෙකුගේ දින චර්යාව සකස් විය යුතු ආකාරයට උදාහරණයක් පහතින් තියෙනවා .

පෙ.ව 7 - ඇහැරෙනවා, කිරි බොනවා,

සෙල්ලම් කරනවා.

පෙ.ව 8 -  කෙටි නින්දක්.

පෙ.ව.10 - කිරි බොනවා,

සෙල්ලම් කරනවා

පෙ.ව .11 - කෙටි නින්දක්

පෙ.ව 1 - කිරි බොනවා

සෙල්ලම් කරනවා

ප.ව.2 - නිදනවා

ප.ව.4 - කිරි බොනවා

සෙල්ලම් කරනවා.

ප.ව.5 - නිදනවා.

ප.ව.6.30 - ඇහැරෙනවා.

සෙල්ලම් කරනවා

රාත්‍රී නින්දට සූදානම් වීමේ ක්‍රියාවලියලට  (bed time routine ) හොඳම වෙලාව තමයි මේ.

පව. 7 කිරි බොනවා

තව දුරටත් සෙල්ලම් කරන්නේ නැහැ ,රාත්‍රී නින්ද සඳහා සූදානම් කරවනවා.

ප.ව 10 - කිරි වේලක්  දෙනවා.

උදෑසන 1 - කිරි වේලක්.

ඔබේ දරුවාට විශේෂිත අවශ්‍යතාවක් නැත්නම් (අඩු බර දරුවෙක් නොවේ නම් හෝ වෛද්‍ය උපදෙස් නොමැති නම්) මෙතැන් සිට දරුවාට හැකි තරම් නිදාගන්න දෙන්න. ඔවුන්ගේ ඉල්ලිමට පමණක් (on demand ) කිරි දෙන්න. .

මාස 2 - 6 කාලයෙත් මෙම දින චර්යාවම  ඒ ආකාරයෙන්ම අනුගමනය කළ හැකි අතර සිදුවෙන ප්‍රධානම වෙනස වෙන්නේ දිවා කාලයේ නින්ද ක්‍රමයෙන් අඩු කිරීම, වේගයෙන් කිරි උරා බීමට පුරුදු වීම නිසා කෙටි වෙලාවකින් බඩ පුරවා ගැනීමට ඉගෙන ගැනීම සහ රාත්‍රී කිරි බීම ක්‍රමයෙන් අඩු කරමින් රාත්‍රී නින්ද වැඩි කිරීමයි.

මාස 6 - 12 අතර කාලය

පෙ.ව 7 - ඇහැරෙනවා.

පෙ.ව.7.30 - උදෑසන කෑම ගන්නවා.

පෙ.ව 9 - කෙටි නින්දක්.

පෙ.ව 11 - ප.ව 1

ඇහැරෙනවා, කනවා ( ස්නැක් එකක් /මවු කිරි) , නානවා, සෙල්ලම් කරනවා.

ප.ව 1 - දිවා නින්ද

ප.ව.3 - ඇහැරෙනවා

හවස කෙටි කෑම වේල

සෙල්ලම් කරනවා

ප.ව 5 - කෙටි නින්ද ( මෙය මාස 6 - 8 පමණ වෙද්දී නවතිනවා)

ප.ව. 6.30 - ඇග සෝදනවා

ප.ව.7 - රාත්‍රී කෑම

ප.ව 7.45 - පවුලේ අය එකතු වෙන වෙලාව.

ප.ව 8 නින්ද සදහා සූදානම් කරනවා.

පෙ.ව. 7 නැවත පටන් ගන්නවා

 

මාස 18

පෙ.ව.7 - ඇහැරෙනවා

උදේ කෑම ගන්නවා ,සෙල්ලම් කරනවා

පෙ.ව.11 - දවල් කෑම

ප.ව 12.30 - නානවා

ප.ව 1 - නිදනවා

ප.ව 3 හවස කෙටි කෑම වේල

සෙල්ලම් කරනවා,

ප.ව 6 - රාත්‍රී කෑම

ප.ව - 7 නින්ද සදහා සූදානම් වෙනවා

උදා - ඇඟ සෝදනවා, දත් මදිනවා, පිජාමා අදිනවා

ප.ව 8 - නින්දට යනවා.

තරමක් වැඩුණු දරුවෙකුගේ දින චර්යාව

උදෑසන ඇහැරෙනවා.

ඇහැරීම සදහා නිශ්චිත වෙලාවක් හඳුන්වා දීම මඟින් මෙය කරන්න පුළුවන් .

උදේ කෑම ගන්නවා.

පාසල් යනවා.

නානවා.. දිවා ආහාරය ගන්නවා.

සෙල්ලම් කරනවා.

පාසලේ පැවරුම් කරනවා.

රෑ කෑමට පෙර කළ යුතු දේ කරනවා.

උදා - මව / පියා පවුලේ අය සමඟ පවුලේ වේලවක් (family time ) ගත කරනවා.

ඇඟ සෝදනවා.

රාත්‍රී කෑම ගන්නවා.

නින්ද සඳහා සූදානම් වීම ( bed time routine )

ඔබේ දරුවා වරක් සාර්ථක දෛනික  කාලසටහනකට හැඩ ගැහුනාට පස්සේ එය වෙනස් කරන්න එපා, දරුවා ට එය හිරිහැරයක්, වයසත් සමඟ සුළු සුළු වෙනස්කම් සිදු වුනාට විශාල ලෙස වෙනස් කරන්න එපා

මම දන්නවා, දැන් අම්මලාට ප්‍රශ්න ගොඩාක් ඇති. කලබල වෙන්න එපා, මම හිමින්, ඒවාට උත්තර දෙන්නම්.

1. අපේ ළමයි දැන් ලොකුයි.. ඉපදුණු ගමන් අපි ඕවා කරේ නැහැ. දැන් පරක්කු වැඩියි.

උත්තරය - නැහැ...කවදාවත් පරක්කු වැඩි නැහැ.අහලා තියෙනවා ද කතාවක් කිසිවක් නොකර සිටීමට වඩා යමක් කිරීම හොඳයි කියලා (something is better than nothing )

ඔබේ දරුවා ඉපදී දවස් දෙක තුනක් ද, මාස 6 - 7 ක් ද අවුරුදු 3 - 4 ක් ද එසේත් නැත්නම් අවුරුදු 10 - 12 ක් ද, ඔබට මෙය කරන්න පුළුවන් .

එකම දේ, දරුවාගේ ස්වභාවික රිද්මය හඳුනා ගෙන, ඒ ඒ වයසට හරියන උපක්‍රම භාවිතා කිරීම පමණයි.

තරමක් වැඩුණු දරුවෙක් දෛනික දින චර්යාවකට අලුතින් හුරු කරනවා නම්, බොහෝ ඉවසීමෙන් සහ උපක්‍රමශීලීව කරන්න මතක තබා ගත යුතු අතර, කුඩා බිළිදෙකුට වඩා වැඩි කාලයක් ඔවුන් ගනීවි.

2. ඔහොම කාලසටහන් වලට ළමයි හදලා හදිස්සියකටවත් ළමයෙක් එළියට වත් ගෙනියන්නේ කොහොමද

ඒ සඳහා අම්මා විදියට ඔබත් සංවිධානශීලී වෙන්න ඕන.

අවුරුද්දකට අඩු දරුවෙක් එළියට අරගෙන යන වෙලාවට පුළුවන් තරම් දෛනික චර්යාව අනුගමනය කරන්න සූදානම් වෙලා යන්න.

එහෙම අනුගමනය කරන්න බැහැ කියලා හිතෙන ගමන් බිමන් හැකි තාක් මඟ අරින්න. එය ඔබට වගේම දරුවාටත් පහසුවක්.

උදා - කෑම වේල් සකස් කරගෙන, නින්ද සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරගෙන ගමන් යනවා  වගේ,

මෙතෙන්දිත් මට කියන්න වෙන්නේ, ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඒ සඳහා අනිවාර්යයෙන්ම ක්‍රමයක් තියෙනවා .

අවුරුද්ද පහු උනාම දෛනික දින චර්යාව පවත්වාගෙන යන අතරෙම හදිසියේවත් එය බිඳ වැටුනොත්, එය දරා ගැනීමට දරුවා හුරු කරන්න. අපි කට වහරේ කියන්නේ “ඕන දේකට ඔට්ටු දරුවෙක් “  කියලා, අන්න ඒ විදියට දරුවා හැඩ ගස්සවා ගන්න.පඒක කරන්න පුළුවන් වෙන්නෙත් අම්මටයි තාත්තාටයි තමයි.

උදා - මම දැකලා තියෙනවා ෆීඩින් චෙයාර් එකක ඉඳගෙන කෑම කන්න පුරුදු වුණු දරුවා එළියට ගියාම ෆීඩින් චෙයා එක නැතුව කන්නේ නැහැ. තමන්ගේම ඇදේ නිදා ගන්න පුරුදු වුණු දරුවා පිට තැනකට ගියාම නිදන්නේ නැතුව අඬනවා, ඒක දරුවන්ට වගේම දෙමාපියන්ටත්, වටේ පිටේ ඉන්න අයටත් පුදුම පීඩාවක්.

මගේ දුවලා දෙන්නම (ලොකු දුව 6 යි. එයාගේ routine පටන් ගත්තේ අවු 3 ½  පහු වෙලා, පොඩ්ඩි මාස 6 ½ යි, එයා නියමිත විදියට හුරු වෙනවා) ගෙදරදී නිශ්චිත දින චර්යාවක් අනුගමනය කරනවා වගේම එළියට ගියාම ඒ පවතින ඕනම විදියකට මූණ දෙන්න පුරුදු වුණ දරුවෝ දෙන්නෙක්

උදා - මම කළින් කිවුවා වගේම ගෙදර දී කෑම මේසෙට ඉඳන්/ෆීඩින් චෙයා එකේ ඉඳන් කෑම කෑවත්, හදිස්සියකදී පාර අයිනේ ගලක් උඩ ඉඳගෙන කන්නත් එයාලට පුළුවන්.

දවල් දොළහට දවල් කෑම හැමදාම කෑවත්, කෑම ටිකක් පරක්කු වෙනවා නම් ඒක ඉවසලා ඉන්න අක්කා නම් දන්නවා. (නංගි තාම පොඩි වැඩියි ඒකට නම්)

ඒ විදියට හුරු කරගන්න එක දෙමවුපියන් විදියට අපේ කාර්යයක්.

3. අම්මෝ.. ඔහොම හුරු වුනාම පොඩ්ඩක් වෙනස් වුනොත් ළමයි පිස්සු නටනවා. එතකොට මටත් හරි ස්ට්‍රෙස්..

මුලින් ඒකට උත්තරේ දීලා තියෙනවා ,

දින චර්‍යාව නම්‍යශීලී වෙන්න ඕන. සමහර දවසට ඒක සම්පූර්ණයෙන් ම කැඩෙන්න පුළුවන්.. එහෙම වුනා කියලා අනවශ්‍ය ආතතියක් ගන්නේ නැතුව, ඒ වෙලාවට අවශ්‍ය දේ කරලා දරුවාගේ සුව පහසුව හදලා දෙන්න අම්මලා දක්ෂ වෙන්න ඕන.

මට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා සමහර අම්මලා, දින චර්යාවට මොනතරම් ඇබ්බැහි වෙලා තියෙනවාද කියනවා නම්  ගෙදරින් එළියට ආවම, කවන එක නිදි කරන එක, සෝදන එක වෙලාවට කරගන්න බැරුව දැඩි ආතතියකට පත් වෙන හැටි. අම්මා විතරක් නෙමෙයි අම්මා වටේ ඉන්න අයත් ඒ ආතතියට ඇදලා ගන්නවා. එහෙම වෙන්න ඕන නැහැ.

4. මම කීප සැරයක්ම උත්සාහ කරා. හරිගියේ නැහැ. ඉතින් අත් ඇරලා දැම්මා.

උත්සාහය අත් හැරියොත්, කිසිම දෙයක් වෙන්නේ නැහැ. දරුවා එය හඳුනා ගන්නෙත් නැහැ. අත්හැර දමන්න එපා.

අඛණ්ඩව උත්සාහ කරන්න. මුල් මාසයේම එය අසාර්ථක වේවි.. ඊළඟ මාසයේත් අඛණ්ඩව කරන්න. ඒ මාසයේත් අසාර්ථක වුනොත් ඊළග මාසයේත් කරන්න. සමහර දරුවෝ මේ සඳහා තරමක් වැඩි කාලයක් ගන්නවා.

5. අපේ ළමයින්ට බල කරොත් මිසක් කවදාවත් කිසි දෙයක් වෙලාවට කරන්නේ නැහැ.

කවදාවත් එය කරන්න එපා. බල කිරීමෙන්, දඬුවම් කර එයට පෙළඹවීමෙන් කවදාවත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න බැහැ.

ඒ සඳහා දරුවාට හරියන ඔබේම ක්‍රම සොයාගන්න. මොකද ඔබේ දරුවා ගැන හොඳින්ම දන්නේ ඔබ නිසා.

ඉතින්... මම ආයෙමත් කියන්නම් අවසාන වශයෙන්,

ඔබේ දරුවාගේ ස්වභාවික රිද්මය හඳුනා ගන්න, එමඟින්  දරුවාගේ අවශ්‍යතා හඳුනා ගන්න.

ඒ අනුව දරුවාටත්, ඔබටත් පහසු දින චර්යාවක් සකස් කරගන්න.

ඔබේම ක්‍රම සොයාගනිමින් දරුවා ක්‍රමානුකූලව එයට හුරු කරන්න.

ඔබත්, දරුවාත් දිනචර්යාවට නම්‍යශීලී  වෙන්න හුරු වෙන්න.

දරුවාගේ වයසට අනුව අවශ්‍ය වෙන වෙනස් කම් කරන්න .

කිසි විටෙක දරුවාට බල කරන්න එපා,උපක්‍රමශීලීව එය කරන්න පුරුදු වෙන්න.

දැන් බලන්න ...බජීවිතේ මොන තරම් පහසු ද, ක්‍රමානුකූල ද කියලා.

ඔබත්, ඔබේ පුංචි දරු පැටියාත්, ඔබ වටේ සිටින ඔබේ ආදරණීයනුත්, හැමෝම සතුටින්...

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අපට දැනුම දුන් අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක්(Educator of Early childhood Education and care)ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.