දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

පෙර යොවුන් වයසේ දියණියකගේ පළමු ඔසප් වීම ගැන ඇය දැනුවත් කර තැබීම වැදගත්. මෙම ලිපිය කියවා ඒ ගැන මනාව දැනුවත් වන්න.

අද අප කතා කරන්නට යන්නේ වැඩිය ප්‍රසිද්ධියේ කතා කෙරෙන්නේ නැති කාරණාවක් ගැනයි. දියණියකගේ මල්වර වීම ඇයගේ මෙන්ම දෙමාපිය අපගේත් විශේෂ සන්ධිස්ථානයක්. පසුගිය දශකයේ බොහෝ දෙනා මේ සිදුවීම මහත් හරසරින් ලොකු උත්සවයක් සංවිධානය කර සමරනු ලැබූවා. අද කාලයේ මෙසේ සැමරීමේ යම් කිසි අඩු වීමක් දක්නට ලැබුනද එවැනි උත්සව නොපවත්වෙනවාම නොවේ.

සාමාන්‍යයෙන් මල්වර වීම දියණියකගේ වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ සිදු වන නමුත්, අවුරුදු දහයේ සිට දාහත දක්වා කාලය තුළත් මල්වර වීම සිදු වන්නට පුළුවන්. මෙය දියණියගේ නිරෝගී වැඩීම, හෝමෝන ක්‍රියාකාරිත්වය ආදී පසක් කර ඇය යෞවන වියට පා තැබීම සනිටුහන් කරන උතුම් මොහොතක්.

දරුවාගේ මල්වර වීම නොහොත් පළමු ඔසප් වීමට ඇය දැනුවත් කර සුදානම් කර තිබීම මේ සියලු දේට වඩා වැදගත්. මේ ලිපිය ලියන්නේ ඔබත් පෙර-යොවුන් වියේ පසු වන දියණියකගේ මවක් නම්, මල්වර වීම ගැන ඇය දැනුවත්  කොට සුදානම් කල හැකි ක්‍රම කිහිපයක් ගැනයි.

මල්වර වීම ගැන ඔබේ දියණිය දැනුවත් කොට සුදානම් කල හැක්කේ මෙසේයි.

1. හෝමෝන වෙනස් වීම් හේතුවෙන් ඇති වන චක්‍රිය කුප්තිය

මල්වර වීමට ප්‍රථම නොයෙකුත් හෝමෝන විෂමතා ඇති වන බව අප සැම දන්නා කරුණක්. මෙවන් විෂමතා හේතුවෙන් මනසේ හැඟීම්, සිතුවිලි යනාදියටද බලපෑම් ඇති වනවා. දියණියගේ ඉක්මන් කේන්තිය, අසාමාන්‍ය කනස්සලු ගති වැනි වෙනස් කම් ඇති වන සෙයක් ඔබට හැගේ නම්  එයට හේතුව මේ හෝමෝන වෙනස් වීම් බව තේරුම් ගත යුතුයි. මෙතුළින් දරුවා කෙරෙහි ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමට මාපිය අපට හැකි වනවා.

2. හෝමෝන වෙනස් වීම් නිසා ඇති වන ශරීරයේ වෙනස් කම්

මනසට මෙන්ම සිරුරටද මේ හෝමෝන ක්‍රියාදාමයන් නිසා බලපෑම් ඇති වනවා. වැඩිවියට පත් වන්නට ආසන්න වන විට දියණියකගේ පියයුරු වල වෙනස් වීම්, ශරීරය වර්ධනය වීම, රෝම වර්ධනය වීම යනාදී වෙනස් කම් රැසක් ඇති වනවා. මේ වෙනස් වීම් නිසා දැරිය ලජ්ජාශීලි වන අතර මේ සිදුවීම් තුල ඇතැම් දැරියන් මානසිකව පිඩාවට පත් වන්නට පුළුවන්. දියණිය සමග මිත්‍රශීලීව ආශ්‍රය කිරීමෙන් ඇය අස්වසාලන්නටත් මේ වෙනස් වීම් ඉතා සාමාන්‍ය සිදුවීම් බව පසක් කර දීමටත් පහසුවෙන් හැකි වනවා. යටි බඩේ හා  ඇඟ පතේ වේදනා ඇති විය හැකි අතර මෙවන් වෙනස් කම් ගැනද දැරිය දැනුවත් කර තිබීම වැදගත්.

3. දියණියට පළමු ඔසප් වීම ගැන අවබෝධ කර දිය යුතුයි.

හදිසි රුධිර වහනයක් දැක දැරිය බියපත් නොකිරීමට ඇයට කල් තියා මේ ගැන අවබෝධ කර තැබිය යුතුයි. බොහෝ විට අද කාලයේ මේ ගැන දියණියන් සමග කතා බහ කිරීම පහසු වන්නේ ඔවුන් පාසලේ යෙහෙළියන් සමග කතා බස් කොට මේ ගැන යම් තාක් අවබෝධයක් ඇති කරගෙන සිටින නිසයි. මේ ගැන ඔවුන්ගේ කුතුහලය ඉතා වැඩි අතර මේ ගැන බොහෝ ප්‍රශ්ණ කරනා ඔවුන් සතුව තිබෙනවා. ඔබ දරුවා සමග මිත්‍රශීලි සමබන්ධතාවක් පවත්වන්නෙක් නම් මේ ගැන පහසුවෙන් ඇය හා කතා කොට අවබෝධ කර දෙන්නට පුළුවන්.

4. දරුවාට පළමු ඔසප් වීමට සුදානමින් සිටීමට අවශ්‍ය කළමනා කට්ටලයක් සකසා දීම.

මේ අවස්ථාව නොදන්නා මොහොතක සිදු වන නිසා යටි බඩේ වේදනාවක්, බද කොර වීමක් වැනි අපහසුතාවක් වේනම් ඒ ගැන විමසිල්ලෙන් සිටීමට ඇය දැනුවත් කර තැබිය හැකියි. දියණියට මෙයට පහසුවෙන් මුහුණ දීමට අව්හෂ්‍ය කළමණා කට්ටලයක් පිළියෙළ කර දීම ඉත වැදගත්. සුරැකි පසුම්බියක් තුලට සනීපාරක්ෂක තුවා කිහිපයක්, දිග ලියුම් කවර කිහිපයක් හා වැඩිපුර යට ඇඳුමක් ඇතුළත් කර දිය යුතුයි. පාසලේදී ඔසප් වීම සිදු  වුවහොත් අන්ද සිටින යට ඇඳුම කවරයක දමා ඉවත් කරන්නට දැනුවත් කල යුතු අතර සනීපාරක්ෂක තුවායක් පාවිච්චි කරන ආකාරය පිළිබඳවද ඇය දැනුවත් කල යුතුයි.

කාන්තාවකගේ යොවුන් මල් වියට එළඹෙන මල්වර වීම ඉත සොඳුරු මොහොතක් වනවා සේම අති පුද්ගලික මොහොතක්ද වනවා. නුතන කාලයේ දු දරුවන් අප කුඩා අවධියේ දරුවන්ට වඩා වෙනස් සිතුම් පැතුම් දරනවා. මාගේ පුද්ගලික මතය නම් ඔවුන් අපහසුතාවයකට පත් නොවන ලෙස මේ උත්සවය තම පවුලේ ඇය සමඟ සුදුසු ආගමික වතාවත් ඉටු කර චාම් වත් පිළිවෙතකින් සැමරීම තුළින් එය ඔබේ ආදර දියණියට මිහිරි සිහිවටනයක් කර දියහැකි බවයි.