දියේ ගිලෙන්නට ගිය පවුලක් බේරාගැනීමේ ඒ ත්‍රාසජනක අත්දැකීම

නිදිමත නිසා ඇලක ගිලුණු වාහනයේ දරුපවුලක් බේරා ගන්නට උපකාරී වුනු ජූඩ් කීරිගේගේ කතාව.

පසුගියදා අලුයම් වෙලාවේ රිය ධාවනය කරමින් සිටි පියාට නින්ද යාම නිසා ඇලකට වැටී ගිලෙන්නට ගිය පුවතක් අපි පල කළා. අද ලියන්නේ මේ වාහනයේ සිටි අය බේරාගැනීමට වෙහෙස නොබලා කටයුතු කල ජූඩ් රංග කිරිගේගේ  අත්දැකීමයි.

හැමෝම තද නින්දේ සිටි වේලාවක අවධානය හා අනුන් කෙරෙහි ඇති සංවේදී   කම නිසා නිතැතින්ම ක්‍රියාත්මක වූ ජූඩ්ගේ මෙම උත්තරීතර ක්‍රියාව අප බොහෝ අගය කරන අතර, මෙම අත්දැකීම ඔබ වෙනුවෙන් ඔහුගේම  වචන වලින් බෙදා ගන්නට සිතුවා.

මං ඉන්නේ කටුනායක. නම ජූඩ් රංග කිරිගේ. අගෝස්තු මස හය (6) වන දින මන් මගේ පවුලේ ය සමඟ එදා හිටියේ උස්වැටකෙයියාවේ මගේ බිරිඳගේ සොහොයුරාගේ ගෙදර. එදින රාත්‍රියේ නිදා ගෙන ඉන්න වෙලාවේ ගහක් කඩන වැටුන වගේ  සද්දයක් ඇහුන. මන් එක පාරටම හිතුවේ මගේ කාර් එකට ගහක් කඩා වැටුන කියල.

එලියට ගිහින් බලද්දී සුදු පාට කාර් එකක් ඇලට වැටිලා තිබුන. මායි මගේ මස්සිනයි දුවල ගියා ඒ පැත්තට. අපි කෑ ගහල ඇහුව කවුද  ඉන්නේ කියල. සද්දයක් අවේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ පොඩි  පිරිමි ළමයෙක් කෑ ගැහුවා  "මාමේ! මාමේ! අපිව බෙර ගන්න කියල. එතකොට අපි දෙන්න කෑ ගසමින් දුවල ගියා "එන්න කට්ටිය උදව් කරන්න" කියමින්. එත් කවුරුත් ආවේ නැහැ. අපි වතුරට පැනල දොරවල් අරින්න බැලුව. ඒත්අරින්න බැහැ. පිටිපස්සේ වීදුරුව ටිකක් ඇරලා තිබුනේ. වෙලාවට එකෙන් පොඩි දෙන්නව ඇදල අරන් ගොඩින් තිබ්බ. තාත්තගේ පැත්තේ දොර ඇරිලා, එය එලියට අව. පොඩි කට්ටියගේ අම්මට පිටිපස්සට පනින්න කියල එයාවත් වීදුරුවෙන් ගත්ත. ඉක්මනට සියල්ල කර ගන්න පුළුවන් උන දෙවියන් වහන්සේගේ පිහිටෙන්. මෙම අනතුරට හේතුව නින්ද යාම. නුවර පෙරහැර එන  ගමන්.

සියල්ල අවසානයේ කුඩාම ළමය කිව්වා "අනේ මාමේ ගොඩක් ඉස්තුතියි අපිව බෙර ගත්තට කියල." මෙගේ ඇස් වලට කඳුලුත් ආව ඒ වෙලාවේ.

ඉතින් ඒ ජූඩ්ගේම වචන වලින්, සිදුවන්නට ගිය මහත් ඛේදවාචකයකින් ඔහු දරු පවුලක් බේරා ගැනීමේදී ඔහු ලත් අත්දැකීමයි.

අවදියෙන් සිටින වෙලාවල් වල පවා අනතුරක් දුටු විට නොදැක්කා සේ සිටිනා මිනිසුන් වෙසෙනා ලෝකයේ, තද නින්දක් මැද්දේ වුවත් කෙනෙකුගේ උපකාරයකට දිවි පරදුවට තබා කැප වන ජූඩ්  රංග කිරිගේ වැනි මිනිසුන් සිටිනා මෙවන් සුන්දර රටක ජිවත් වන්නට ලැබීම භාග්‍යයකි.

ඉතින් අප පසුගියදා පල කල “අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද?” ගිලෙමින් තිබූ වාහනය තුල සිට පුංචි පුතා කෑ ගැසුවා ලිපියේ සඳහන් කල පරිදි, දේව හාස්කමකින් දිවි ගලවාගත් මෙම පවුල මුහුණ දුන් මෙම අනතුර, නිදිමරා රිය ධාවනය කිරීමේ බැරෑරුම් කම තේරුම් ගැනීමට පාඨක ඔබට රුකුලක් වේයැයි විශ්වාස කරමු.