දුගඳ හමන වෙල් සුලඟ හඬයි

ශි ලංකාවේ බොහෝ දෙනෙකුට විශේෂයෙන්ම විදේශිකයන්ට එක් වරම සිතට නැගෙන්නේ කොළ පාට කුඹුරු, ගස් කොලන්, කඳු වැටි වලින් පිරුණු අති සුන්දර හා පිරිසිඳු රටක්. නමුත් අද රට පුරා සැම නගරාන්තයකම කොළ කඳු වෙනුවට කුණු කඳු හදා තිබෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේම සහෝදර ජනතාව. දෑස් විවර කර බලමු.

උදෑසනම හිරු එබී බලද්දී, අකුරට යනවා වෙනදා වාගේ

වෙල් මැද්දේ මෘදු සුවඳ හමද්දී, ඈතින් පෙනෙනා දසුන් අගේ

පය ඉක්මන් කර අකුරට යන්නේ මඩ නොව ගඳ කුණු නොම තවරා

වෙල් සුළගේ ගඳ ඉවසන්නට බෑ ඔක්කාරය වගෙ නහය ඉරා

 

පාර දෙපස තණ මත පිනි බිඳු නැත, කුණු කසලින් පාරම ඇහිරී

පිනි වෙනුවට දැන් කිලිටි වතුර ඇත ඩෙංගු මදුරු ටින් බඳුන් පිරී

ලොකු වාහන වල ලොකු ලොකු මහතුන් ඇවිදින් කුණු මලු වපුරන්නේ

එක තැනකත් නොව පාර පුරාවට කුණු මළු සී සීකඩ ලන්නේ

 

පාද තබන්නට ඉඩ නෑ කුණු මැද මුළු දවසම අමිහිරි කරමින්

මිහිරි කුරුලු ගී නාදය වෙනුවට බලු කපුටන් ඇත පොර බදිමින්

ඒ මහතුන් ඇති ඔපිස් කාමරේ  ac පහසේ රස විඳිමින්

අපේ නංගියා ඩෙංගු වාට්ටුවේ ජිවත් වන්නට වෙර දරමින්

 

ලොකු ලොකු මාමල මග ගඳ ගැසූ විට අපට කොහෙද මුතු වාගේ රටක්

ඩෙංගු වලින්  සියයන් මියැදෙනකොට කවුරු දකීවිද හෙට දවසක්

සුන්දර මවු රට ගඳ ගස්වන්නේ බොහො පෝසත් උගතුන් පිරිසක්

නිදහස් දැනුමෙ විපාකය මෙය නම් ලක් මෑණිට මෙය ලොකුම බරක්

 

උගතුන් හා පොහොසතුන් බිහි කෙරූ මගෙ මුළු රටටම ඇත වැරදී

රට වනසන්නේ එහි සාරය නම් මිනිසත් කම ඇති පැලක රැඳී   

ආගම, ධර්මය රට ගැන ප්‍රේමය අපගේ නිවසෙන් පටන් ගමු

පුංචි අඩි තබා හැකි පමණින් අප නොමිනිස් අව ගති ජය ගනිමු