දෙවියන්ගේ ලෙඩ ගැන දෙමාපියන්ට වැදගත් විස්තර

දෙවියන්ගේ ලෙඩ ලෙස අප කවුරුත් අසා ඇති සුලභ වෛරස් රෝග කිහිපයක් ගැනත්, ඒවා හා බැඳුනු මිත්‍යා මත ගැනත් මෙම රෝග වලට මුහුණ දිය යුතු නියමිත ආකාර ගැනත් රසවත් ලෙස බැඳුනු දැනුවත් කිරීමක්.

අද අප ඔබ වෙත ගෙන එන්නේ මහනුවර ශීක්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා රැජින පුවත්පතේ පල කල බෝවන රෝග නොහොත් දෙවියන්ගේ ලෙඩ ලෙස ලංකාවේ බොහෝ දෙනා හඳුන්වන රෝග වලට, ලංකාවේ මව් පියන් තවමත් පැරණි මතිමතාන්තර හා පැරණි විශ්වාසයන් අනුව කටයුතු කරන අයුරු හා එයින් ඇතිවිය හැකි ආනිසංස ගැන දැනුවත් කිරීමකි. ඔහුගේම වචන වලින් මෙම ලිපිය ඔබ වෙත පිරිනමන්නෙමු.

"මේකප්" දැම්මාම උණ හැදෙනවාද?

පසුගිය සතියේ දිනක නවක හෙද නිළධාරිනියකගේ විවාහ මංගල්‍ය උත්සවයක් තිබුණා මහනුවර හෝටලයක. ඇයගේ සහෝදර හෙද නිළධාරිනියන් පිරිසකුත් මේ උත්සවයට සහභාගි වුනා. එහිදි ගත් චායාරුප කිහිපයක් මුහුණු පොතටත් එකතු කරලා තිබුනා. කළින් දින සවස දුටු ඔවුන් පසුදා වන විට සම්පූර්නයෙන්ම වෙනස්වෙලා. නම දාලා තිබුනේ නැත්නම් හඳුනාගන්නත් බැරිවෙන තරමටම හැඩ වෙලා. හැඩය විතරක් නොවෙයි පාටත් සම්පූර්නයෙන්ම වෙනස්වෙලා. හරිම ප්‍රසන්න බවක් තිබුනා.

පසුදින ඔවුන්ගෙන් මා හිතවත් එක් නිළධාරිනියක් දුරකතනයෙන් කතා කරන විට ඇයට උණ ගතියක් දැනෙන බව කිවා ."මට හිතෙන්නේ ඊයේ දාපු" “මේකප්" නිසා වෙන්න ඇති ඩොක්ටර්" ඇය කීවා. "මේකප් " දැම්මාම උණ හැදෙන බව මමත් දැනගත්තේ ඒ වේලාවේ දීයි. පසුදින උදෑසන නැවත දුරකතනයෙන් කතා කළ ඇය "අනේ ඩොක්ටර් මට පැපොල හැදිලා දැන් මොකද කරන්නේ?" මගෙන් ඇසුවා. වහාම ප්‍රති වයිරස් ඖෂධය දිනකට පස්වරක් බොන ලෙස මම ඇයට උපදෙස් දුන්නා.

දිනකට පස්වරක් බොන ප්‍රති වයිරස් ඖෂධය

දිනකට පස්වරක් බොන්නේ පැය හතරකට වරක් බැගින් බීලා මධ්‍යම රාත්‍රිය ආසන්නයේ බොන්න වෙන බෙහෙත් වේල නොබී සිටීමෙන් බවත් මතක් කර සිටියේ බොහෝ සෞඛ්‍ය සේවකයන් පවා ඒ ගැන නොදන්නා නිසයි. ඒත් එක්කම ඕනෑම කෑමක් කන්න කියලත් උපදෙස් දුන්නේ මෙවන් වයිරස් රෝග සදහා සමාජයේ බොහෝ මතිමතාන්තර මත විවිධ ආහාර තහංචි පැනවෙන නිසයි.

ඒ තහංචි ක්‍රියාත්මක කරන්නේ අම්මා හෝ නැන්දම්මා නිසා පොලීසියටත් වඩා හොදින් ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ වාගේ පුරුදු ඇතිවෙන්න හේතුව මේ වයිරස මගින් ඇතිකරන රෝග "දෙවියන්ගේ ලෙඩ" ලෙස සැළකීමයි. සරම්ප, කම්මුල්ගෙඩි සහ පැපොල මේ ලෙඩ අතුරින් ප්‍රධාන වනවා. මේ අතුරින් පැපොල රෝගය වැළදුනාම රෝගියා දරුනු විදියට රෝගී වනවා සිරුර පුරා ගස්ලබු ඇට වාගේ දියර පිරුනු බිබිලි රාශියක් සිරුර පුරාම ඇතිවෙනවා. ඒවා පිපිරී යාමෙන් සිරුර පුරා කළක් පවතින කැලැල් ඇතිවනවා.

මේ රෝගයට ඉස්සර බෙහෙත් තිබුනේ නැහැ. ගොඩාක් අමාරුවෙලා ඉබේටම ටික දවසකින් හොඳවෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ ඒ පුද්ගලයාට දෙවියන් විසින් දෙන දඩුවමක් නිසා කියලයි අතීතයේ විශ්වාස කළේ. මොකද ඒ කාළයේ වයිරස් කියන රෝග කාරකය ගැන දැනුමක් තිබුනේ නැහැ. මේ නිසා නොයෙක් දෙනා නොයෙක් නොයෙක් දේවල්, වතාවත් කරන්න පුරුදුවුනා. මස්, මාලු වගේ "පිළිහුඩු" කෑම තහනම් වුනේ දෙවියන්ට ගරු කිරීමක් ලෙසයි. කෑමට තෙල්, කහ වාගේ දේවල් එකතු කළේ නැහැ. මිරිස් හොදි වගේ දෙයක් තමා ආහාරයට ගන්න ඉඩ දුන්නේ.

රෝගියා පමනක් නොවෙයි නිවසේ ඉන්න සියලු දෙනාම මේ විදියට කෑම තහංචි අනුගමනය කරනවා. රෝගියාට කන්ණාඩියෙන් මුහුන බලන එකත් තහනම්. කන්ණාඩිය රෙද්දකින් ආවරනය කරනවා. ඒ නම් මුහුනේ ඇතිවන බුබුලු දැකීමෙන් වන බිය, කළකිරීම, අප්‍රසන්නතාව වලක්වාගැනීමට වෙන්නත් පුලුවන්.

ගෙදර ප්‍රධාන දොරටුවේ කොහොඹ කොළ අත්තක් එල්ලනවා

ගෙදර ප්‍රධාන දොරටුවේ කොහොඹ කොළ අත්තක් එල්ලන්නේ රෝගය සුවවීමට දෙවියන්ට වන භාරයක් ලෙස වුවත් ඒ මගින් බාහිරින් නිවසට එන අමුත්තන්ට එම නිවසේ බෝවන රෝගයක් සහිත රෝගියෙක් සිටින බව අඟවනවා. අපගේ හිතවතෙකු රෝගී වූ බවට ආරංචි වුණාම සාමාන්‍යයෙන් අපි එයාව බලන්න යනවා වුනත් "දෙවියන්ගේ ලෙඩ" හැදුනු රෝගීන් බලන්න නම් යන්නේ නැහැ. ඒ "දෙවියන්ගේ කෝපය"තමන්ටත් එල්ලවෙන්න පුලුවන් බවට විශ්වාස කරන නිසයි. ඒ නිසා නිවසක දොරටුවේ කොහොඹ කොළ අත්තක් එල්ලලා තියෙනවා නම් ඒ නිවසට අමුත්තන් ඇතුල්වෙන්නේ නැහැ. ඒ වාගේම එහෙම තම සැප දුක් බලන්න ආවේ නැහැ කියලා කවුරුත් අමනාප වෙන්නෙත් නැහැ.

දෙවියන්ගේ ලෙඩක් සැදුනු පුංචි දැරියගේ කතාව

මීට වසර ගනනාවකට කළින් දවසක මා බණ්ඩාරවෙල රෝහලේ සේවය කරන කාළයේ මා හමුවීමට පැමිනි පුද්ගලයෙක් තමන්ගේ දියනිය" දෙවියන්ගේ ලෙඩ" සෑදී බලවත් ලෙස රෝගාතුරව ඇති බවත් තමන් ජීවත්වන නිවෙස තියෙන්නේ ගොඩාක් දුෂ්කර ස්ථානයක බවත් කියලා ඇයට යම් ප්‍රතිකාරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. මම කීවා මම ඇයව පරික්ෂා කිරීමට. එම නිවසට යාමට මම කැමැත්ත ප්‍රකශ කළා.

කඳු මුදුනක පිහිටි බාගෙට හදපු කුඩා නිවසට යෑමට තිබුනේ කුඩා, දුෂ්කර අඩිපාරක්. මම ඒ පාර දිගේ කදු මුදුනට නැග ඔවුන්ගේ නිවසට එනවිට තරමක් වෙහෙසට පත්වෙලයි සිටියේ. බාගෙට හදලා තිබුන කුඩා නිවසේ ඉදිරිපස දොරේ කොහොඹ කොළ අත්තක් එල්ලලා තිබුනා. ගෙදර ජනේල තිබුනේ නැහැ. විදුලියත් අරන් තිබුනේ නැහැ. ගෙය ඇතුලේ තිබුනේ අන්ධකාරබවක්. එය තුලට ගිය පසුවයි මම දැක්කේ වයස අවුරුදු දහතුනක විතර දැරියක් එහි තිබු ඇදක් මත වැතිරී සිටි අන්දම.

කළුවරේ ඇයව පරීක්ෂා කිරීමට නොහැකි නිසා ඇයව පුටුවක වාඩිකරවා එළියට ගත්තා. ඉතා කෘශ සිරුරක් තිබූ ඇය බලවත් ලෙස රෝගී බවක් පෙන්නුම් කළා. ඇගේ මුහුන සහ ගෙල පෙදෙසේ සුදු රෙදි වලට දාන නිල් ගාලා තිබුනා. ඇය විජලනයට පත්වෙලයි සිටියේ. මම වහාම ඇයට ප්‍රතිකාර කළා. ඇයට කම්මුල්ගෙඩි සෑදී තිබුන නිසා දෙමාපියන් සාම්ප්‍රදයික ක්‍රමවේදයක් ප්‍රතිකාර ලෙස අනුගමනය කොට තිබුනා. නමුත් මා එදින ඇය බලන්න නොගියානම් ඇගේ ඉරණම මිට වඩා වෙනස්වෙන්න තිබුනා.

අහිතකර විය හැකි පාරම්පරික අත් බෙහෙත් හා පුරුදු

මෙම රෝගයට "නිල් "වගේම අලියන්ගේ හක්කක් ගලගා මුහුනේ සහ ගෙලෙහි ආලේප කිරීමත් සමහරුන් විසින් සිදුකරනවා. මේවායින් ලැබෙන ගුණයක් ගැන නම් කිසිදු විද්‍යාත්මක සත්‍යයක් අනාවරනය වී නැතත් බොහෝ දෙනා මෙවන් අත් බෙහෙත් ක්‍රමවේද භාවිතා කරනවා. වයිරස් රෝග සිරුරේ ප්‍රතිශක්තියෙන්ම දින කිහිපයකින් සුවවෙන නමුත් රෝගියාට සාත්තු කරන අය සිතන්නේ තමන් අනුගමනය කළ ක්‍රම වේදයන් සහ අත් බෙහෙත් මගින් රෝගය සුවපත් වූ බවයි.

ඉන් පසු ඒ රෝගය වැළදුනු අයට "ප්‍රතිකාර" කිරීමට තමන් අනුගමනය කල ක්‍රමවේදයන් ගැන උපදෙස් දෙනවා. ඒ අයත් ඒ උපදෙස් සහ වෙනත් අය කියන තවත් උපදෙස් සංකලනයෙන් නව "ප්‍රතිකාරයක්" සොයාගෙන එයත් අනෙක් අය වගේම එම ක්‍රමය ප්‍රචාරය කරනවා. ඒත් සැබැවින්ම වන්නේ සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තියෙන් ඉබේටම රෝගය සුව විමයි. කම්මුල් ගෙඩි සෑදුන පිරිමි දරුවන්ට එම රෝග තත්වය සමගින් වෘෂන කෝෂ වල වේදනාවක් එන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වනවා. නැතහොත් ඔහු අනාගතයේ දී වඳ භාවයට පත්වීමේ අවධානමක් පවතිනවා.

පැපොල රෝගයට වර්තමානයේ ඇති වයිරස නාශක ඖෂධ

පැපොල රෝගයට වර්තමානයේ වයිරස නාශක ඖෂධ බෙහෙතක් තියෙනවා. සමෙහි දියර බුබුලු මතුවෙනවාත් සමගම එම ඖෂධ නිසි පරිදි භාවිතාකිරීම මගින් සිරුර පුරා විශාල වශයෙන් දියර බුබුලු ඇතිවීම වගේම මොළය සහ පෙනහැල්ල තුලට ආසාදනයවීම නිසා ඇතිවියහැකි භයානක සංකූලතාත් වලක්වා ගන්න පුලුවන් වනවා.

ප්‍රතිශක්තීකරනය වර්ධනය

කෙසේ වෙතත් මේ අවධියේ දී ප්‍රතිශක්තීකරනය වර්ධනය කරගැනීමට ප්‍රෝටීන සහ විටමින් මෙන්ම ජලයත් වැඩිපුර ලබාදිය යුතු වනවා. නමුත් රෝගය වැළදී දින 14 ක් පමන ගතවන තුරු රෝගියාගෙන් අනෙක් අයට රෝගය බෝවීමේ අවධානමක් තියෙන නිසා ඒ කාළය නිවසේම රැදීසිටීම සුදුසු වනවා. රෝගය වැළදී දින 7 කට පසුව තව දින 7ක් ස්නානය කිරීමත් සම්ප්‍රදායක්. මෙහිදීත් ඉරිදාට සහ 9 වෙනිදාට නාන්න සුදුසු නැහැ කියලත් මතයක් තියෙනවා. මේ මතයන් කිසිවක් විද්‍යාත්මක නම් නැහැ.

මුලින් මා කියූ අපේ හෙද නිළධාරීතුමිය මිට දින කිහිපයකට පෙර නැවත දුරකතනයෙන් මා අමතා " මම ඩොක්ටර් කීව බෙහෙත් අරන් බිව්වා ඒ නිසා මුහුනේ බිබිලි මතූවුනේ නැහැ. ඒත් අනේ ඩොක්ටර් මගේ ඇඟට පන නැහැ. අම්මා ගෙදර උයන්නේ මිරිස් හොදි මගේ බඩත් දනවා. නාන්නත් ඕනෑ ඒත් ඔත්තේ දවස් වල නාන්න දෙන්නෙත් නෑ මොකද මම කරන්නේ ? "ඇසුවා. හෙදිනිළධාරිනියකටත් මෙහෙම වෙනකොට ඉතින් අන් අය ගැන කවර කතා දැයි සිතමින් මා ඇයට ශක්තිය ඒම සදහා දැන් ඉතින්" ග්ලූකෝස් " එකක් වත් දියකරලා පානය කරන්න යැයි උපදෙස් දුන්නා.

දෙවියන්ගේ ලෙඩ ලෙස අප කවුරුත් අසා ඇති සුලභ වෛරස් රෝග කිහිපයක් ගැනත්, ඒවා හා බැඳුනු මිත්‍යා මත ගැනත් මෙම රෝග වලට මුහුණ දිය යුතු නියමිත ආකාර ගැනත් රසවත් ලෙස බැඳුනු අත්දැකීම් සමුදායක් හා එක් කොට රැජින පුවත්පත ඔස්සේ අපව දැනුවත් කලේ මහනුවර ශීක්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ. විශාල සමාජ මෙහෙවරක් ඉටු කරන, මේ දින වල නීති උපාධියද හදාරන  කුසලතා පුර්ව සුබසිංහ  වෛද්‍ය තුමාට අපගේ නොමද ස්තුතිය පුද කරන අතර දෙමාපිය ඔබ මෙයින්ට මනාව දැනුවත් වුවා යැයි විශ්වාස කරනවා.  

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
MBBS(ශීක්ෂණ රෝහල-මහනුවර)

රැජින පුවත්පතින් උපුටා ගන්නා ලදී. (2017 අගෝස්තු 18 සිකුරාදා 23 පිටුව)