සාමයේ කුමරුන් ලොවට දයාද කල නත්තලේ සැබෑ අරුත

lead image

"නත්තලේ සැබෑ අරුත සොයා පුංචි ගවේෂණයක මම යෙදුනා..."

සෑම වසරකම අවසානය සනිටුහන් කරන සීත දෙසැම්බරය අවසාන වන්නේ කිතුණුවන් සමරන අසිරිමත් නත්‍තලත් සමගයි.

එවන් තවත් නත්‍තලක් උදාවෙන්න මොහොතක් තිබියදී නත්තලේ සැබෑ අරුත සොයා පුංචි ගවේෂණයක මම යෙදුනා.

නත්තලේ සැබෑ අරුත: නත්තල යනු කුමක්ද ?

කිතුණු ජනයාගේ විශ්වාසය අනුව දෙවියන්වහන්සේ විසින් ලෝකය මවන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා මවන ලදී.

මේ ස්ත්‍රිය හා පුරුෂයා විසින් නිමක් නොවන පව් කල  අතර  මේ නොමග යමින් සිටින තමන්වහන්සේ විසින් මැවු මිනිසුන් යහමඟට ගනිමින් ඔවුන්ට පව් සමා කිරීමට අවස්ථාවක් දෙන අරමුණින් දෙවියන් වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් මිනිසුන් අතරට එන්නට තීරණය කරන ලදී.

ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන වූ අපූර්ව පාඩම මිනිසුන්ට කියා දෙන්න ආගමික දර්ශනයක් රැගෙන කන්‍යාවක් වු මරියා තුමියගේ නොඉදුල් ගැබින් දෙවියන්වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් ජේසුස් යන නමින් පීඩිත සමාජය නියෝජනය කරමින් දිලිදු ගවලෙනක් තුලදී   උපත ලබන ලදී.

එම අසිරිමත් උපත සිදු වු දින නත්තල ලෙස ලෝපුරා වු කිතුණුවන් සමරනු ලබයි.

ජේසුස් වහන්සේ ලොවට කියාදුන් අපූරු පාඩම්

ජේසුස් වහන්සේ මිනිසුන් ,සතුන්ට පමණක් නොව පරිසරයට පවා මහා කරුණාවක්, දයාවක් පාන ලදී. බෙදාගැනීම පිලිබඳ අපුරු පාඩමක් උන්වහන්සේ ලෝකයට කියාදෙන ලදී.

"පව් නොකලෙක් සිටී නම් පළමු ගල ගසන්න"

උන්වහන්සේ වරෙක ගණිකාවකට ගල් ගසමින් සිටි මිනිසුන්ට කිව්වේ ගණිකාව පව්කාරියක නම් ඕ කරා යන පුරුෂයින්ද පව්කාරයන් බව පසක් කරමිනි.

අසල්වැසියන්ට ප්‍රේම කරන ලෙස පවසමින් මිනිසුන් අතර දයාව පතුරවා හරින ලදී.

ඉතාම පහත් යැයි එකල සැලකු මිනිසුන් අතරට ගොස් සමානාත්මතාවය කියාදෙන ලදී. මහ විසල් වු ආදරයක් , දයාවක් ලෝකයට බෙදා දෙමින් උන්වහන්සේ මහත් සේවයක් කරන ලදී.

" නොදැන පව්කරන මේ මිනිසුන්ට සමාව දෙන්න"

පවසමින් අවසානයේදී කුරුසිය මතදී තමන් මරණයට පත්කරන මිනිසුන්ට පවා වෛර නොකරමින් අවසාන වු අපූරු පාඩමක් මිනිසුන්ට කියාදෙන ලදී.

සැබෑ නත්තල, නත්තල් සීයා හා නත්තල් ගස

ලෝපුරා වු කිතුණුවන් දෙසැම්බර් මාසයේ 25 වන දින පහන් කරන්නේ දේවස්ථානයේ නාදවෙන සීනු හඩ මැද ඉටිපන්දම් එලි අතරින් ජේසුස් වහන්සේගේ උපත සමරමින් කරනු ලබන ආගමික වතාවත් සමගය.

කිතුණු සමාජය තුල ඔවුහු ආදරය , කරුණාව බෙදාහදාගනිමින් එදින පහන් කරන අතර ගීතිකා ගයනා කරමින් ආශිර්වාද ලබාගනිති .

ඒ වගේම ජේසු බිළින්දාගේ උපත සමරමින් ඔවුන් ගවලෙන නිර්මාණය කරනු ලබයි.

මීට අමතරව දේවස්ථානයේ වූ ලස්සන නත්තල් ගස යට ත්‍යාග තබමින්  ඉන් අනතුරුව පැමිණෙන නත්තල් සීයා ළමුන්ට ත්‍යාග බෙදා දෙනු ලබන්නේ ඔවුන්ගේ පුංචි සිත්වලට නත්තලේ සතුටක් ලගා කරමිනි.

මෙහිදී විශේෂත්වය වන්නේ එහිදී දුප්පත් , පොහොසත් සියල්ලන්ම සමානාත්මතාවයෙන් සලකමින් ඉතා දිළිඳු දරුවන්ට පවා ත්‍යාග පිරි නමමින් ඔවුන්ව සතුටට පත් කරනු ලැබීමයි.

මේ නත්තල් ගහ හා නත්තල් සීයා පසුකාලීනව එකතු වු අංගයන් වන අතර කණගාටුවට මෙන් එම අංගයන් බොහෝ වානිජ අරමුණු සදහා දැන් භාවිතා කරනු පෙනෙන්නට ලැබේ.

ආදරය ලොව පුරා ගලා යන

දයාවෙන් මිනිස් සිත් වෙලී යන

සාමයෙන් ලෝසතුන් සැනසෙන

ප්‍රීතිමත් නත්තලක් වේවා..