අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

lead image

ඔබේ දියණිය නිසැකවම දිනයක නව යොවුන් වියට එළඹෙනු ඇත. යොවුන් වියේ ආදරයේ රැල්ලට අසු නොවී සිටීමට අවශ්‍ය ශක්තිය දියණියට ලබාදීම අම්මාගේ වගකීමයි.

ආදරය, ප්‍රේමය  සාලිය අශෝක මාලාටත් ඈත අතීතයේ සිට යොවුන් හදවත් මුසපත් කරමින් ආදරණීය කථාවන් අතීතයට එක් කරමින් බොහෝ දුරක් ගෙවා ගෙන අද දක්වා පැමිණ තිබේ.

අතීතයේ ආදරය ලෙස හදවතින් බැදුන යොවුන් ආදරය අද ඊට බොහෝ ඔබ්බට යමින් විවාහ නොවී යුගදිවියක් ගත කරන තරම් ලිංගිකත්වය විසින් ආක්‍රමණය කර තිබෙනවා.

ආදරණීය දුවේ මට ඔබට කියන්න දෙයක් තියෙනවා.

ආදරය, ප්‍රේමය සෑම මිනිසෙකුටම පොදු හැගීමක් , ඒක මම පිළිගන්නවා.

ඒ මොකද මමත් අතීතයේ දවසක ප්‍රේමවන්තියක් වුනා. ඔයත් අනාගතයේ දවසක ලස්සන , ආරක්ෂිත ආදරයක් සැමියෙක් හොයා ගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනී. ඒක අම්මාගේ ආදරණීය හීනයක් ,

ඒත් තවම ඒකට කාලය නොවේ.

අපි ඉන්න පෙරදිග සංස්කෘතිය තුල පවුල් සංස්ථාවට මුල්තැනක් ලැබෙනවා. අන්න ඒක නිසයි ඔයාටත් සුන්දර පවුලක් ලැබුනේ, ඉතින් ඒ වගේ සුන්දර පවුලක් ගොඩනගා ගන්න ඔයාට සුදුසු වයස එළඹෙන්න ඕනී. හැබැයි ඒ සුදුසු වයස ඔයාගේ පාසැල් විය නම් නොවේ.

ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වීමත් සමග විරුද්ධ ලිංගිකයන් වෙත ඇදි යෑම සාමාන්‍යයි. සමහර විට ආදරයක් පහල වෙන්නත් පුළුවන්. ඒත් තාම ඔයාගේ සුදුසු වයස එළඹිලා නැති බව පමණක් මතක තබාගන්න.

මට දවසක් ඔයාගේ තාත්තා කියපු කථාවක් මතක් වෙනවා. එදා එයා කිව්වා කෙල්ලෝ දාහතේ දහ අටේදී ලස්සන කොල්ලෙක් එනකම් බලන් ඉන්නවා කියලා.

විසිගණන් වලට එද්දී සල්ලී, බලය, රැකියාව තියෙන කොල්ලෙක් හොයනවා කියලා තිස්ගණන් පැන්නොත් අහුවෙන ඕනෑම කෙනෙක් බදිනවා කියලා.

ඒක ඇත්ත කියලා අද මං දකිනවා. අපේ ආදරයේ අවශ්‍යතාව අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් සමග බැදිලා තියෙනවා. අන්න ඒක නිසයි  ඔබ යොවුන් වියේ තෝරගන්න ආදරය නිවැරදි නැහැ කියලා මේ අම්මා කියන්නේ...

දුවේ ආදරය කියන්නේ අතින් අල්ලන් ඇවිදින එකවත්, එස් එම් එස් දාස් ගාණක් යවන එකවත් නෙවී.

ආදරය කියන්නේ රූම් ගානේ ගිහින් ජීවිතය අදුරු කර ගන්න එකත් නෙවී. ජීවිතය වරදින්න යන්නේ මොහොතයි. ඒ මොහොතට ඉඩ දෙන්න එපා කියලයි මේ අම්මා කියන්නේ

ඔයාගේ අම්මාටත් පාසැල් වියේ ප්‍රේමය හොදයැයි හිතුන දවසක් තිබුනා. ඒත් බුද්ධිමත් තීරණයක් අරගෙන ආදර රැල්ලට නොයා හිටියා.

අන්න ඒ හින්දා තමයි සුදුසු වයසේදී ගැලපෙන ආදරයක් හරි අවබෝධයකින් හොයා ගන්න පුළුවන් වුනේ,

දුවේ නාඹර වියේ ඔයා පසුපස පන්නන ආදරය  ඔයා හිතන තරම් සුන්දර නැහැ. ඔන්න ඔතැනදී වැරදුන අය හුගක් අය මම දැකලා තියෙනවා.

සමහරු නම් ජීවිතය කොහොම හරි ගලපගත්තා. සමහරු ජීවිතය විනාශ කරගත්තා. ඔයා අනාගතය වෙනුවෙන් ලස්සන අඩිතාලමක් දාන පාසැල් වියේදී ආදරය නිසා ඒ අනාගතයම විනාශ කරගන්න එපා.

ඔය වයසේදී පටන් ගන්න ආදරය කල වයසට එද්දී ඔයාටම වදයක් වෙන්න පුළුවන්.

ඔයා වෙනුවෙන් හැමදෙයක්ම කැප කරපු මං ඉන්නවා , තාත්තා ඉන්නවා අපිට ඔයාගේ ඔය අයාලේ යන්න හදන ආදරයෙන් බිදක් දෙන්න. ආදරය වරදින්නේ පාසැල් වියේදීම කියලා මං කියන්නේ නැහැ.

ආදරය ඕනෑම වයසකදී වරදින්න පුළුවන්. ඒත් ඔයා පාසැල් වියට වඩා බුද්ධියෙන්, අත්දැකිම් වලින් වැඩුනාට පස්සේ ඔයාට හරි ආදරයක් තෝර ගන්න අවබෝධයක් ලැබේවි.

මං,

ඔයාගේ අම්මා