නැන්දම්මාටයි ලේලිටයි සෙනිහසින් 01. නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා

නැන්දම්මාගෙන් ලේලී අහන්න අකමැති කථා මොනවාද

සියලුම නැන්දම්මාවරුන් හා ලේලියන් වෙත ආදරයෙන් පිරිනමන ආදරණීය ලිපි පෙළක පළමු පියවර...

පළමු වෙනි ලෝක යුද්ධය නිමාවිය. දෙවැනි ලෝක යුද්ධයත් නිමාවිය. තෙවන ලෝක යුද්ධයද නිමා විය. ශ්‍රීලංකාවේ වසර තිස්තුනක යුද්ධයද නිමා විය.

ඒත්??

නැන්දම්මා ලේලී හබය පරම්පරා ගාණක් තිස්සේ ඉදිරියට යමින් ඇවිලෙන ගින්නක් සේ බුරබුරා නගිමින් පවතී.

නැන්දම්මාට අම්මා වෙන්න බැරි ලේලීයට දුවණිය වෙන්න බැරි ලෝකයක ඒ මගින් ස්ත්‍රීත්වයට පමණක් පොදු වූ ආත්මාර්ථකාමීවයේ එක් පැතිකඩක් මනාව විදාහලයි.

අද ලේලියක වු මම හෙට දවසක නැන්දම්මා වන බවත් අද නැන්දම්මා වු මම පෙර දවසක ලේලීයක වූ බවත්  අමතක කරමින් එකිනෙකා තමන් දෙසට ඇගිලි දිගු කරගන්නා මොහොතක ඇත්තටම වැරැද්ද කොහේදැයි සොයා බැලිය යුතුමය. මේ අතර  නැන්දම්මා ලේලී සම්බන්ධතාවය මනාව සමබර කරගන්නා අතලොස්සක් නැතුවාම නොවේ.

මේ ලිපිය කියවන ලේලියන් අහන්න අකමැති නැන්දම්මා අතින් කියවෙන දේවල් කිහිපයක් හා යුද්ධයක් නොකර ඒයට ඉවසීමෙන් මුහුණ දෙන්නට ධෛර්‍යක්  ලිපි මාලාවක පළමු ලිපියේන් අප ඔබට ගෙන එනවා.

1. පුතා කෙට්ටු වෙලා. හරියට කෑම දෙන්නේ නැද්ද ?

මේ වගේ වාග් ප්‍රහාරයක් ලබන්න කිසිම ලේලීයක් කැමති නැහැ . සෑම බිරිදක්ම සැමියාට රසට හැකි උපරිමයෙන් කන්න දෙන්න කැමතියි. සමහර වේලාවට ඇයත් නොකා එම කෑම සිය සැමියාට හා දරුවන්ට දෙන අවස්ථා තියෙනවා

නැන්දම්මාට : මතක් කරන්න ඔබේ අතීතය , ඔබ සැමියාට දුන්නේ ඉස්තරම්ම ආහාර නේද ? ඔබ ලේලීයක් ලෙස දුටුවද ඇය ඔහුගේ ආදරණීය බිරිද , ඔවුන් සිතින් ගතින් බැදී සිටින්නේ , ඒනිසා ඇය ඔහුට දෙන්නේ ආහාරයෙත් හොදම කොටස , ඒක තමයි ආදරය , අන්න ඒ නිසා ඔබේ පුතාට හරියට කන්න දෙන්නේ නැතිද කියා අසන්න එපා.

ලේලීයට : ඇය ඔහුගේ මව, ඔබ ඔබේ දරුවාගේ ආහාර ගැන වද වෙනවා වගේ ඇයත් ඔබේ සැමියාගේ ආහාර ගැන අතීතයේ වද වෙන්නැති , දැන් ඇයට ඔහු ගැන තිබු ඒ අයිතිය ඔබ වෙත පැවරීම ටිකක් දරාගන්න අපහසු ඇති, හිත රිදවන්න එපා.  ඔහු ආහාර හොදින් ගන්නා බවත් ඇය තරම්ම රසවත්ව නොවුනත් ඔබට හැකි උපරිමයෙන් ඔහුට සලකන බවත් තරහා නොගෙන ආදරයෙන් කියා ඇයගේ හිත හදන්න. ඉන්පසු එය අමතක කර දමන්න. එය හිතේ තියාගෙන ඔබ හිතිනුත් ඇයට වදනිනුත් රිදවමින් ඔහුට මානසික වදයක් වෙන්න එපා.

2. පුතාගේ ඇදුම් කහට පාටයි. හරියට සෝදන්නේ නැද්ද ?

බිරිදක් දහසක් වැඩ කටයුතු මැද කොහොම හරි ඔහුගේ ඇදුම් ටික හෝදලා දෙනවා. ඒකනේ එයා ලස්සනට පිරිසිදු ඇදුම්  ඇදන් යන්නේ , සමහර වේලාවට බිරිදට ඇයගේ ඇදුම් හෝද ගන්න වෙන්නෙත් නැහැ.

නැන්දම්මාට : බිරිද සැමියාට සලකන්නේ ජීවිතයේ  ඉහල තැන තියලා. මතක් කරන්න ඔබේ අතීතය ඔබත් ඔබේ අත් ගෙවෙනකම්ම ඔබේ සැමියාගේ දරුවන් ගේ ඇදුම් ඇතිල්ලුවා නේද ? එහෙනම් ඇයත් එහෙමයි. කාලයක් ඇදුම් අදින කොට පැහැය ටිකක් අඩුවෙනවා ඒක ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති නේද ? එහෙනම් ඇයි ඇයට චෝදනා මුඛයෙන් කථා කරන්නේ ,

ලේලීයට : පුතාගේ ඇදුම් ගැන ඇය හිතපු කාලයක් තියෙන්න ඇති දැන් ඒ අයිතිය ඔබ සතු වෙලා. ඇයට කරන්න වැඩක් නැහැ . ඉතින් ඇය සුපර්වයිසර් තනතුරක් අරන් තියෙන්නේ , අහිතක් හිතන්න එපා. ඇයත් අම්මා කෙනෙක්නේ, ඔහුගේ ඇදුම් දැන් ටිකක් පරණ වී ඇති බවත් අලුත් ඇදුම් ගන්න හිතාගෙන ඉන්න බවත් කරුණාවෙන් පවසන්න. ඉන්පසු ඇය කියු දෙය අමතක කරන්න.

3. පුතා පව් මහන්සි වෙනවා.

විවාහය තුල මහන්සි වෙන්නේ එක් අයෙකු පමණක් නොවේ. සැමියා වගේම බිරිදත් ඒ තුල තම දායකත්වය දරනවා. ඒ වගේ වේලාවක එක්කෙනෙක් ගැන විතරක් හිතන එක අනෙක් කෙනාට වේදනාවක් වෙනවා.

නැන්දම්මාට : එයා ඔයාගේ පුතා තමයි .ඒත් ටිකක් මධ්‍යස්ථ වෙන්න. ඇයත් තවත් අම්මා කෙනෙක්ගේ දියණියක්, ඇය සියල්ල හැරදා ඔබේ පුතත් එක්ක ඇවිත් ඔහුත් එක්ක ලෝකයක් තනන්න හදනවා. ඇය දෙස සෙනෙහසින් බලන්න.

ලේලියට : ඔබත් අම්මෙක්නේ , අම්මෙක් විදියට ඔබටත්  හැම දේකටම කලින් පේන්නේ දරුවාගේ දුක නේද? නැන්දම්මා නෙවේ ඒක කිව්වේ තවත් එක අම්මෙක්ගේ හදවතක් කියලා ඒක අමතක කරලා දාන්න.

4.ළමයි දගයි හරියට හදලා නෑ.

අලියන්ට, ළමයින්ට නලියන්නමයි හිත කියලා තියෙන්නේ නිකම් නෙමෙයිනේ. ළමයි දගයි. ඒක අම්මාගේ වරදක් නෙවේ. ළමයෙක් දගලන්නේ නැතිව එක තැනෙක ඉන්නවා නම් එයා ලෙඩෙක්,

නැන්දම්මාට : අම්මා ඔයා අතීතයට යන්න. ඔයාගේ පුතා කොච්චර දගයිද? මතක් වෙනකොට හිනාත් ගියා නේද?  එහෙම වුනේ ඔයාගේ වරදින්ද? නැහැ ඒ ඔහු හොද නිරෝගී දරුවෙක් වුන නිසා නේද? එහෙනම් ළමයි හරියට හදලා නෑ කියලා ඇයට ඇගිල්ල දිගු කරන්න එපා.

ලේලියට: දරුවෝ දග වැඩ කරද්දී අනතුරක් කර ගනී කියලා වටේ ඉන්න වැඩිහිටියෝ ආතතියට පත්වෙනවා. නැන්දම්මා වුනත් එහෙමයි. දරුවෝ හැදෙන්නේ අම්මා ලග නිසා  ඇය ඔබට ඇගිල්ල දික් කරනවා වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් කියන දෙයක් විදියට සලකලා ඒ ගැන ඔබ තරහක් තියාගන්න එපා.

5. ළමයින්ට බනින්න කෑගහන්න එපා.

අම්මලා දරුවන්ට චුට්ටක් සැර කරනවා. කවුරු කොහොම කිව්වත් චුට්ටක් සැර නොකර එයාව පාලනය කරන්න අපහසුයි. දහයක් වැඩත් එක්ක දරුවන් හදාවඩා ගන්න එකත් ලේසී නැහැ .

නැන්දම්මාට : ඔබේ පුතා ඔබේ කට නැත්තම් අද ඔතැන ඉදිවිද? ඔහු පුංචි කාලේ විතරක් නෙවෙයි ලොකු වෙනකම්ම අම්මාගේ කට කොච්චර නම් කාර්‍යභාරයක් කලාද? එහෙනම් ඔබේ පුතාගේ දරුවන්ට ඔය කෑගහන්නේ ඔබේ ලේලී නෙවේ. ඒ දරුවන්ගේ අම්මා කියලා හිතන්නකෝ.

ලේලියට: නැන්දම්මා  ඔයාට සෙනෙහසක් නොදැක්කුවාට ඔබේ දරුවන්ට හරිම ආදරෙයි. ඒ ඇයගේ පුතාගේ ලේ වලින් බිහිවෙච්ච දරුවොනේ, ඔයා බනින කෑගහන කොට දරුවන් දුකට පත්වෙනවානේ, එතකොට ඇයටත් දුකයි. ඇය එහෙම කියන්නේ ඔබේ දරුවන් වෙනුවෙන් කියලා හිතාගෙන එය තරහකට හේතුවක් කරගන්න එපා.

6. ළමයාගේ නහය, කකුල් අත ගාලා හරියට හදලා නෑ.

දැන් වෛද්‍ය විද්‍යාත්මක මතය වෙන්නෙත් දරුවන්ගේ අවයව අපි වෙනම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක, කාලයත් එක්කම දරුවන්ගේ අවයව ඒ ඒ කාර්‍යයන්ට අවශ්‍ය පරිදි සකස් වෙනවා . එහෙම වුනේ නැත්තම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට  අපි දරුවාව වෛද්‍යවරයකු වෙත ගෙනියන්න ඕනී.

නැන්දම්මාට : ඔව් අම්මේ ඔයාගේ කාලේ පුංචි දරුවන්ගේ නහය, දෙපා අතින් හදන්න ඕනී කියලා මතයක් තිබුනා. ඒකනේ ඔයාත් එහෙම කලේ. ඔයා වැරදි නැහැ. ඒත් දැන් කාලේ කියන්නේ නහය , කකුල් හදන්න අවශ්‍ය නැහැ කියලා. වෛද්‍යවරුන් එහෙම කියන්නේ මොකක් හරි හේතුවක් නිසානේ, ඉතින් ඔයාගේ කාලේ පිළිගත් මතය අනුව ඔයා ගියා වගේම ඔයාගේ ලේලිටත් චෝදනා නොකර ඇයගේ කාලේ පවතින මතය අනුව කටයුතු කරන්න ඉඩ දෙමු නේද?

ලේලියට : මේ අහන්න නැන්දම්මා එක්ක තරහා ගන්න එපා. එයා එහෙම කියන්නේ එයා දරුවෝ හදපු කාලේ අත්දැකීම් එක්ක, අපි නිතර මේවා ගැන අප්ඩේට් වුනාට එයාලා ෆේස්බුක්, ඉන්ටර්නෙට් වල කාලීන තොරතුරු බලන්නේ නැහැනේ. ඉතින් එයා අලුත් දැනුම ලැබෙන්නේ නැතුව අසරණයි . ඒක නිසා ඒ අසරණ කමත් එක්ක රණ්ඩු නොකර පුළුවන් නම් කියා දෙන්න. නැත්තම් නිශ්ශබ්ද වෙන්න.

7. ඔයා හරියට නාස්ති කරනවා.

කවුරුත් එහෙම හිතුමතේ කිසිම දෙයක් අපතේ හරින්නේ නැහැ. ඒත් ඉතින් ගැහැණු ළමයෙක්ගේ ඉදලා බිරිද කියන තැනට එකවර යනකොට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් එතකොට පුංචි පුංචි දේවල් මුලදී අපතේ යන්න පුළුවන්.

නැන්දම්මාට : අම්මේ ඔයාගේ දුව අතින් පහේ ටිකක් අපතේ ගියොත් ඔයා දුක්වෙන්නේ නැහැ නේද? ඇයි එහෙනම් ලේලීට විතරක් වෙනසක්, මං හිතන්නේ නැහැ ඇය ඇයගේ ආදරණීය සැමියාගේ දේවල් නැති කරලා සතුටක් ලබනවා කියලා, පුංචි අතපසුවීම් වලට සමාව දෙන්න. ඒ වෙනුවට ඇයට සකසුරුවම් කම කියා දෙන්න. හැබැයි ආදරයෙන් ..

ලේලීයට : ඔයා මේ ජීවිතයට අලුත් , ඔයා තාම ජීවිතය ඉගෙන ගන්නවා .ඒක නිසා ඔයාට අතපසුවීම් වෙන්න පුලුවන්. ඉතින් නැන්දම්මා කියන මේ දේවල් වලට තරහා ගන්න එපා. එයා හදන්නේ ඔයාගේ මහත්තයාගේ දේවල් ඉතුරු කරන්න කියලා හිතන්නකෝ, ඔයාට පුළුවන් නම් එයාට ආදරෙන් ලංවෙලා සකසුරුවම් කම කියන අපූරු පාඩම එයාගෙන් ඉගෙන ගන්න බලන්න.

8. ලෝභ වෙන්න එපා.

ලෝභ කමද? සකසුරුවම් කමද?  බිරිදක් වුනාහම සකසුරුවම් වෙන්න ඕනී. නැත්තම් දොර දන් දුන්නොත් අන්තිමට පාරට බහින්න වෙන්නේ , මේ කියන්නේ දානය එපා කියලා නම් නෙමෙයි.

නැන්දම්මාට : මං දන්නවා ඔයාට ඕනී කෙනෙක්ට ඕනී විදියට දෙයක් දෙන්න බැරි වුනහාම ඔයාගේ හිතට දුකයි. ඒත් ඉස්සර වගේ හැමෝගෙම දුක නැති කරන්න තනිකඩ කාලේ වගේ දැන් පුතාට බැරි වෙයි. එයාලා වෙනම පවුලක්, මුදල් වලට කරන්න එයාලට ගොඩාක් දේවල් ඇති ,එයාලාගේ හිත නොරිදා එයට නිදහස දෙන්න.

ලේලියට : ඉස්සර පුතා පඩි සල්ලී දෙන්න ඇත්තේ අම්මාට  , එයා ඒක එයාගේ විදියට වියදම් කරන්න ඇති, දැන් ඒ සල්ලී පාලනය කරන්නේ ඔයානේ, ඒක වෙනසක් එයාට ඒකට හුරුවෙන්න කාලයක් යනවා. ඒක නිසා හිතේ අමාරුවට කියන කථා වලට වෛර බදින්න එපා.

9. ඕක වෙනස් කරන්න එපා.

රටක රජෙක් වුනත් වෙනස් වුනහම කොච්චර වෙනස් කම් වෙනවාද ? ගෙදරට අලුතින් එන මනමාලිත් පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරලා ජීවත් වෙන්න තමන්ට කැමති තැනක් සකස් කර ගන්න කැමති වේවි.

නැන්දම්මාට : ඔයා ලස්සනට ගේ, මුළුතැන්ගෙය තියා ගත්තා. ඒක ඇත්ත , ඒත් දැන් ගෙයි යතුර ටික අලුත් පරම්පරාවට භාර දෙන්න කාලේ ඇවිත්, එයාගේ අලුත් හිත් කරන දේවල් නිසා ඔයාගේ සුපුරුදු රටාවට බාධා වෙලා ඔයා අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. ඒත් ඉවසන්න, වචන පිටවුනාට පස්සේ ආපහු ඇදලා ගන්න බැහැ. හිත්තැලීම් විතරයි ඉතුරු වෙන්නේ , අලුත් වෙනස්කම් දිහා ධනාත්මකව බලන්න. සමහරවිට ඒවායින් ඔයාට වඩාත් සුවපහසුවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.

ලේලියට : ඒක ඔයාගේ නැන්දම්මා ජීවත කාලෙම හිටපු ගෙදරනේ, එයාගේ පිලිවෙල වෙනස් වෙද්දී හිතට නැගෙන අමනාපය මේ විදියට වචන වෙන්න පුලුවන්. ඉතින් ඔයාත් තරහා නොගෙන එයාට අපහසුවක් නොදැනෙන විදියට ගේ තියාගන්න. ගේ වෙනස්කම් තනිව නොකර සැමියත් එක්ක එකතු වෙලා කරන්න.

10. ඕක දන්නේ නැද්ද?

කිසිවෙක් කිසිම දෙයක් ගැන සියල්ල නොදනී. දැනුම සොයා යෑම හා අත්දැකීම්  මගින් මිනිසා උගනියි.

නැන්දම්මාට : ලේලිගේ අඩුපාඩු කම් ඇති , කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නෑනේ. ඇය කිසියම් නොදන්නවා වගේ පේනවානම් ඒක එයාට කියාදෙන්න සුදුසු කෙනෙක් ඔබ හැර කවුද නිවසේ ඉන්නේ , ඒක නිසා ආදරයෙන් ඇයට එය කියාදෙන්න

ලේලීයට : ගුරුවරයෙක්ට වුනත් වරදක් දැක්හම තරහා යනවානේ. ඒ ඔබ කරන දේ එයා හොදින් දන්න නිසා ඔබ වැරදියට යමක් කරද්දී ඒක වැරදියි කියලා එයා දන්නවා. එයා කියන දේ ජීවත කාලටම වෛරයකට හරවගන්න එපා. එයා ගුරුවරයෙක් කියලා හිතාගෙන එයාට ආදරෙන් ලංවෙලා එයා ලග තියෙන ජීවිතයේ බොහොම වටින පාඩම් පුළුවන් නම් ඉගෙන ගන්න.

නැන්දම්මාටයි ලේලීයටයි හදවතින් බැදුන ආදරයක් නැතිවෙන්න පුළුවන්. ඒත් ඔබ දෙපල අතර පැහැදිලි තේරුම් ගැනීමක් තබාගන්න. කැත්තට පොල්ල වෙන්න එපා. යුද්ධයකදී වුනත් වැඩිය අසරණ වෙන්නේ මායිම් ගම් වල ඇත්තෝ, ඉතින් ඔය දෙන්නා මැද්දේ ඉන්න මායිම්ගම් කාරයා කවුද කියලා මං කියන්න ඕනී නෑනේ. ඔහුව අසරණ කරන්න එපා.

වැදගත්ම අවවාදය : අද ඔබ ලේලීගේ කොටස කියවලා සතුටු වෙන්න. නැන්දම්මාට හොද වැඩේ හිතන්න යන්න එපා. මොකද අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක ඔබට නැන්දම්මාට අදාල කොටසත් කියවන්න වෙනවා. ඒකතමා ලෝක දහමේ සත්‍යය.

ඔයාලට මේ ලිස්ට් එකට එකතු කරන්න අදහස් තියෙනවා නම් පහලින් සටහනක් යොදා අපිත් එක්ක බෙදා ගන්න.