නුතන සමාජයේ කාන්තාවන් අතින් මග හැරෙන ආදරණීය ක්‍රියාකාරකම්

ඔබටත් මේ ආදරණීය වගකීම් මග හැරෙනවාද?

සමාජය කාර්‍යබහුල වෙලා. ඒ වගේම සංකීර්ණ වෙලා. අවශ්‍යතා වැඩියි. වගකීම් වැඩියි. ඒ වගේම වියදමත් වැඩියි.

එක් පුද්ගලයෙකුගේ වැටුපෙන් සියල්ල කරන්න අමාරුයි. ඉතින් කාන්තාවන්ටත් නිවසෙන් පිටට ඇවිත් උපයන්න වෙලා. මේ වළලු දාපු අතින් ගෙදර සිදුවුන බොහොමයක් ආදරණීය වගකීම් අද නිවස තුල අතරමං වෙලා.

අන්න ඒ නිසා කාන්තාවන් අතින් මගහැරෙන මේ ආදරණීය ක්‍රියාකාරකම් මොනවාද? රැකියාවත් රැකගෙන මේ දේවල් වලටත් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියලා අපි බලමු.

1. දරුවන් රැකබලා ගැනීම

අනාදිමත් කාලෙක ඉදලා පුංචි පැටව් බිහිකිරීමේ සිට රැකබලා ලොකු මහත් කර සමාජයට භාරදෙන තුරු අම්මා භාර දුර කර්තව්‍යයක් කරනවා. මේ පුංචි පැටව් ලොකු වුනේ අම්මාගේ උණුසුමේ, ඒත් අම්මා රැකියාවත් එක්ක කාර්‍යබහුල  වෙද්දී දරුවන් බලාගැනීම වැඩිහිටියන් , සේවිකාවන් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත පැවරුනා. අම්මාගේ ආදරය උණුසුම මේ ලෝකේ කාටවත්ම දෙන්න බැරි බව මතක් කරන්න කැමතියි.

ඔබ රැකියාවක නියුතු මවක් නම් නිවසේ සිටින සෑම මොහොතකම දරුවන් රැකබලා ගැනීම ඔබම කරන්න . අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාර වේලවත් ඔබේ අතින් දරුවාට කවන්න. ඔවුන්ගේ වැඩ කටයුතු වලට සහය දෙන්න. ළගින් ඉන්න . ඔවුන්ට සවන් දෙන්න. ඔවුන් නිදාගන්නා තුරු තුරුල් කර ගන්න.

2. ආහාර පිසීම

අම්මාගේ අතින් වතුර එකක් දුන්නත් රසයි කියනවානේ. අම්මා උයන මොන කෑමත් රසෙන් ගුණෙන් ඉස්තරම් වෙනවා. අම්මා හැම දෙයක්ම උයන්නේ ආදරෙන් භක්තියෙන්, ඒක නිසා කෑම එකම තවත් රස වෙනවා. ඒත් අද කාන්තාවන් රැකියාවත් එක්ක කාර්‍යබහුල වීමත් සමග තුන් වේලටම කෑම කඩ බිහිවෙලා. අම්මාගේ ආදරේ නැතුව හදන රස නැති කෑම රස කරන්න රස කාරක ගොඩාක් දානවා. කවුරුත් පහසුවට මේ කෑම වලට පුරුදු වෙලා.ඒවා කාලා අපි ලෙඩ වෙනවා.

අම්මාට චුට්ටක් මහන්සි වෙන්න වේවි. උදේ පාන්දර නැගිටින්න වේවි. ඒත් ඔයාගේ ආදරණීය පවුලට වස විෂ කවන්නේ නැතිව කෑම ටිකක් උයන්න. පුලුවන් නම් සැමියාව උදව්වට අඩ ගහ ගන්න.

3. සැමියාට සැලකීම

දරුවන් ලැබීමත් එක්ක මග හැරෙන සැමියා කාන්තාව රැකියාවකට යාමත් සමග ආදරය නොමැති කතරක අතරමං වෙනවා. නොලැබෙනා ආදරය , අවශ්‍යතා සොයා ඔවුන් වෙනත් සිත් වෙත ඇදෙන්නේ එවිටයි.

ඔබ කොතරම් කාර්‍යබහුල වුවත් සැමියාව නම් අත හරින්න එපා. ඔය වැඩ අතරට ඔහුගේ වැඩත් කරන්න . ඔහුට ආදරය දෙන්න. ඔහුව හුරතල් කරන්න. ඔහුගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා ඉටුකරන්න. ඔබගේ වැඩ කටයුතු වලට ඔහුව හවුල් කරගන්න. රසවත් යමක් ඔහුට පවසන්න . අඩුම තරමින් රාත්‍රී ආහාර වේලවත් එක්ව කන්න. එක්ව රාත්‍රී නින්දට යන්න.

4. නැදෑහිතවතුන්ට සංග්‍රහ කිරීම

අපේ රට ආගන්තුක සත්කාර කිරීමට ඉතා ප්‍රසිද්ධයි. නැදෑ හිතවතෙක් ගෙදර ආවොත් රසවත් කෑම වේලක් වරදින්නේ නැහැ . ඒත් රැකියාවත් එක්ක ගෙදර ඇත්ති ගෙදරින් පිට ගියහම මේ සංග්‍රහ කටයුතු කරන්න කවුරුත්ම නැහැ .

මේ නැදෑ සම්බන්ධතා පවත්වා ගන්න මොකද කරන්න පුලුවන් . ඉස්සර තරම් සංනිවේදනය අපහසු නැති නිසා නැදෑයින් ගෙදරට එන එක නිවාඩු දවසක සැලසුම්  කරගන්න. එතකොට මේ නැදෑ සම්බන්ධතා පවත්වා ගැනීම මෙන්ම ඒ මගින් ටිකක් ඔබට විනෝද වෙන්නත් පුලුවන්.

5. පවුල් සම්බන්ධතාවය බැද තැබීම

අම්මා නැමති රැහැනින් බැදී ඇති පවුල ඇය රැකියාව සදහා නිවසෙන්ම පිටවත්ම නිවස පුරා විසිරිනි. ඒ අපූරු වූ ආදරණීය බැදීම එකිනෙකා කෙරෙන් ඈත්වන්නට විය.

අම්මා නිවසේ සිටින සෑම විටම දරුවන් හා සැමියා සමග ගැවසෙන්න. කථා කරන්න. ඔවුන් සමග එළියට යන්න. ආදරය වචන කිරීමටත් , ක්‍රියාවට නැංවීමට අමතක කරන්න එපා.

6.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු

පුංචි පැටියා කෝටු බබා අදින්න පටන් ගත්ත දවසේ ඉදන් කොල, බිත්ති පුරා සිතුවම් කරද්දී අම්මා ආදරයෙන් බලා වුන්නාය. ඉන්පසු පාසැල් විය පටන් ගත්විට අම්මා පුංචි පැටියාගේ පසුපසින් සිට දිරිමත් කලාය.

ඒත් අම්මා රැකියාවට ගියේ ඒ වගකීම නිවසේ තනි කරය. අනිවාර්යයෙන්ම අම්මා හවස නිවසට ආ විට දරුවාගේ පාසැල් වැඩ සොයා බලන්න . ඉදහිට නිවාඩුවක් දමා දරුවාගේ පාසැලට ගොස් ගුරුවරුන් හමුවෙන්න. සති අන්තයේ දරුවාගේ පාසැල් පැවරුම් සොයා බලා කරන්න.

කාන්තාවන්ගේ  ආදරණීය වගකීම ඇය විසින් තමන් ගෙන් ගිලිහෙන්න නොදිය යුතු අතර පවුල බැද තබන ඒ අපුර්වතම රැහැන ඇයම විය යුතුය.