නොසැලකිලිමත් බවක් තනි කල කදුලු කැට දෙකක්

lead image

මෙය මෑතකදී සිදුවුන සත්‍ය සිදුවීමක් වන අතර පුංචි මල් කැකුලු දෙකක් මෙලොව තනිකර ගිය මේ දෙමව්පිය යුගල සමස්ත දෙමව්පියන්ටම කියාදෙන්නේ අපි මදක් නැවති සිතිය යුතු පාඩමකි

ඉතා අනුවේදනීය වු සත්‍ය කථාවක් ඔබ වෙත ගෙන්නට හිතුවේ අපි නොහිතන එහෙමත් නැත්තම් ඉතා අඩු සැලකිල්ලක් දක්වන පැත්තට ඔබ මදකට ගෙන යාමටයි. මෙය මෑතකදී සිදුවුන සත්‍ය සිදුවීමක් වන අතර පුංචි මල් කැකුලු දෙකක් මෙලොව තනිකර ගිය මේ දෙමව්පිය යුගල සමස්ත දෙමව්පියන්ටම කියාදෙන්නේ අපි මදක් නැවති සිතිය යුතු පාඩමකි.

අනුෂා හා දමිත විවාහ වී සතුටින් ගත කල යුවලක්, මේ පවුලට තවත් ආශිර්වාදයක් වී සුරතල් දියණියන් දෙපලක්ද එකතු වුනා. අනුෂා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද දමිත රාජ්‍ය ආයතනයකද සේවය කලා.

ඉතා සතුටින් සිටි මේ පවුලට අවාසනාව උදා වුනේ 2016 අවුරුද්දේදි, එදා අප්‍රේල් 13 වැනිදා, ඒ කියන්නේ පරණ අවුරුද්ද දවස.

අනුෂාට පරණ අවුරුද්ද දවසේ එයාගේ අම්මා බලන්න ගමේ යන්න හිතුනා. ඒ නිසා එයා තමන්ගේ අදහස දමිතට කිව්වා. කවදත් බිරිදගේ යහපත් දේට ආශිර්වාදයක් වන ඔහු එම අදහස එක සිතින් පිළිගත්තා.

වහා සුදානම් වු ඔවුන් පිටත් වුයේ ඊලගට උදාවන්නේ මාරයාගේ හෝරාව බව නොදැනය. අනුෂා හා දියණියන් දෙදෙනා දුම්රිය ස්ථානයට ගෙනත් දැමු ඔහු සිය වාහනයෙන් කොළඹ බලා පිටත් වුයේ වාහනය කොළඹ වු සිය රාජකාරි ස්ථානයේ නවතා මරදානේ දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වීමේ අරමුණිනි. කොළඹ දක්වා වාහනයෙන් නොපැමිණි අනුෂා දුම්රිය තෝරා ගත්තේද දරුවන්ගේ සුවපහසුව මෙන්ම ආරක්ෂාවද සිතමිනි.

දරුවන් දෙපල හා මන්දගාමී දුම්රියට වී අසුන් ගෙන සිටි ඇයගේ ඇස් ගැටුනේ තලෙයිමන්නාරමේ සිට කොටුව බලා යන සීඝ්‍රගාමි දුම්රියය. ඇයගේ අදහස් ක්ෂනිකව වෙනස් විය. ඉක්මන් කොට බවද ඇයට අමතක විය. දෙදරුවන්ද අතින් අල්ලා ඒ දුම්රිය ලගට දිවගිය ඇය එක් දියණියක් ඒ වනවිටත් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙමින් තිබු දුම්රියෙන් තැබුවාය.  නමුත්  දෙවැන්නිය ඇයගේ දෝතින් ගිලිහි දුම්රිය මගට වැටුනි.

කිසිත් නොසිතු ඕ දුම්රිය මග තුලට පැන්නේ දරු දුකට වඩා වැඩි දුකක් මවකට නොමැති බව යලි යලි තහවුරු කරමිනි. ඉක්මනින් ගමන අවසන් කිරිමේ අභිලාෂය ඇයට උරුම කලේ ජිවිත ගමනට නිමා තිතය. අනුෂා එතැනම මිය ගියාය. දරුවා බේරා ගන්නට උත්සහ දැරු තවත් සත්පුරුෂයෙකුට දෙපා අහිමි විය. ආශ්චර්යයක් ලෙස දුම්රිය මගට වැටුනු දරුවා සුළු තුවාල සහිතව දිවි බේරා ගත්තාය. වයස අවුරුදු හයක් හා අටක් වු දියණියන් දෙපලකට මව අහිමි විය. නොසැලකිලිමත් කම විසින් ඔවුන්ගේ මව අහිමි කර තිබුනි.

කථාව තවත් අනුවේදනීය වුයේ 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදිය. බිරිද අහිමි වු පසු දරුවන් හදාවඩා ගෙන වුන් දමිත එළඹුණු දින තුනක නිවාඩුවේදී යහළුවන් සමග චාරිකාවකට එක්විය. එහිදි මින්නේරිය වැවේ නාන්න ගිය ඔහු අතුරුදන් විය. පසුවදා පහන් වන විට හමුවුයේ ඔහුගේ පන සුන් සිරුරය. පුංචි මල් කැකුළු දෙක අම්මා තාත්තා නොමැති ලෝකයක සදහටම තනි වුවෝය.

අනුෂාත් දමිතත් ඉතිරි කර ගිය බොහෝ තැන්වල අපි දෙමව්පියන්ටද හිතන්නට යමක් ඉතිරිව ඇති බව මම දුටුවෙමි.

අපි දරුවන් වෙනුවෙන් සියල්ල කැප කරන්නෙමු. අපි අපිවද අමතක කර දමන්නෙමු. අපි අපේ මුලික අවශ්‍යතා පවා නොසලකා හරින අතර අපේ පරිස්සම අමතක කර දමන්නෙමු. අපිට මොනවා වුනත් කමක් නෑ මේ සේරම කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන් ඔබ කෑගහලා කියාවි.

මොහොතක් ඉන්න.

සිතන්න.

ඔබට මොනවා හරි වුනොත් දරුවන්ට පැවැත්මක් තියේවිද? ඔවුන් ගැන බලන්නේ කවුද? අම්මා තාත්තාගේ හිස්තැන කාටවත් පුරවන්න බැරි බව දන්නවාද?

ඔබ දරුවොත් එක්ක තත්පරයක් හරි වැඩිපුර ඉන්න කැමතියි. මාත් එහෙමයි . මගේ දරුවෝ දෙන්නා මගේ මුළු මහත් ලෝකයම, ඔබ කලින් දුම්රියට හරි බස් එකට හරි දුවන්නේ ඔවුන් ලගට ඉක්මනටම යන්න නේද? ඒත් ඒ හදිස්සිය  ඔබේ ජීවිතය කෙටි කරන්න පුලුවන්.

ඉස්සර දුම්රිය මාර්ග දිගේ කහ ඉරි දිගේ අපරිස්සමෙන් පාර මාරු වුන මං, දුවන දුම්රියට බසයට නගින්න උත්සහ කල මං ඒ සියල්ල අතහැර දැමුවා. වැඩිපුර දරුවන් ලග ඉන්න ලැබෙන තත්පරය ලොකු විනාශයක් කරාවි යයි මං හිතුවා. දුම්රිය හෝ බසය නවත්වන තුරු ඉවසිල්ලෙන් බලා ඉන්නටත්, පාර හොද කල්පනාවෙන් මාරු වෙන්නටත් ඔවුන්ගේ අහිංසක මුහුණු හදවතේ සිට මට මතක් කලා. අද වුවත් මම නොසැලකිලිමත් යමක් කල විට ක්ෂනයෙන් මට ඔවුන් මතක් වෙනවා. මගෙන් තොර ජීවිතයක් ඔවුන්ට නොමැති බව මම දන්නවා.

දෙමව්පියනි අනතුරක් වෙන්න තත්පරයක් වුනත් ප්‍රමාණවත් , නොසැලකිල්ල මත හෝ නොදැනුවත් කම මත සිදුවන මෙම අනතුරු සියල්ලන්ට ඉතුරු කරන්නේ වේදනාත්මක කැලලක්,

ඔබ ඔබ ගැනම සිතන්න දැන් කාලය එළඹිලා. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබේ සුරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.

• වාහනයකට නගින බහින විට, පාර මාරුවෙන විට ඉවසීමෙන් හා කල්පනාවෙන්  එහි යෙදෙන්න.

• ජලජ ස්ථානයක ස්නානය කිරීමට පෙර එම ස්ථානයේ සුරක්ෂිතාව මෙන්ම ආරක්ෂිත උපදෙස් පිලිපදින්න

• ඔබේ සෞඛ්‍ය ගැන නිතර සැලකිලිමත් වෙන්න

• ප්‍රවේශමෙන් රිය පදවන්න.

• දැනුවත් වෙන්න, සැලකිලිමත් වෙන්න, ඉවසන්න සියලුම අනතුරු වලක්වා ගන්න.

• ඔබ ඔබ ගැනීම හිතන්න.

මේ පුංචි කරුණු කිහිපයක් පමණයි. ඔබට මේ ගැන අපිත් එක්ක බෙදා ගන්න දේවල් තිබේනම් පහතින් සටහනක් යොදන්න.

ඔබ ඔබේ පුංචි පැටව් වෙනුවෙන් පරිස්සම් වෙන්න. මේ මතක් කිරීම theAsianparent Sri Lanka වෙතිනි.