නොමළ බිළිඳෙකු මිය ගිය බව කී නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා සේවයෙන් ඉවතට

බිලිඳාගේ අවමංගල්‍ය උත්සවය පිළිසකර කිරීමට බිළිඳා රැගෙන යන අතරතුරදී දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන්ට දැකගැනීමට හැකිව තිබෙනවා.

ඉන්දියාවෙන් වාර්තා වන මේ කණගාටුදායක පුවත අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇතැයි අත්වැරදීමකින් නිගමනය කළ නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනෙකු ගැනයි. වරද තහවුරු වුනු සැනින් මෙම නොසැලකිලිමත් වෛද්‍යවරු දෙදෙනා වහාම සේවයෙන් පහ කළ ඇති බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහලෙන් තවදුරටත් වාර්තා වනවා.

අදාළ බිළිඳා උපත ලබා ඇත්තේ නිවුන් සොහොයුරා උපතේදීම මිය යාමෙන් පැය කිහිපයකට පසුවයි. ඉන් අනතුරුව උපත ලැබූ නිවුන් සොහොයුරාද මිය ගොස් ඇති බවට මැක්ස් පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් වැරදි ලෙස නිගමනය කර තිබෙනවා.

මින් අනතුරුව බිලිඳාගේ අවමංගල්‍ය උත්සවය පිළිසකර කිරීමට බිළිඳා රැගෙන යන අතරතුරදී දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන්ට දැකගැනීමට හැකිව තිබෙනවා.

දරුවා බහාලූ මල්ල සෙලවෙන බව දැක කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගිය බවට දරුවාගේ මුත්තණුවන් ප්‍රදේශයේ මාධ්‍යට වාර්තාකර තිබුනා. එහිදී දරුවා මිය ගොස් නැති බව දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

මේත් සමඟ ඉතා ඉහළ මුදලක් වැය කිරීමට සිදු වන ඉන්දියාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය පිළිබඳව දැඩි සංවාදයක් මතු වී තිබෙනවා. ඒ ගැන වෛද්‍ය විශේෂඥයන් සමඟ පැවති මූලික සාකච්ඡාවලින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලද බව මැක්ස් රෝහල පවසනු ලැබුවා.

ඉන්දීය වෛද්‍ය සංගමයේ විශේෂඥයන් ඇතුළු බාහිර කණ්ඩායමක් විසින් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබ තිබෙන බව ද එහි සඳහන් වන අතර ඉන්දීය රජයද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තා වනවා.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ පුද්ගලික රෝහලකට චෝදනා එල්ල වූ දෙවෙනි අවස්ථාව මෙයයි. ඩෙංගු රෝගය වැළඳුනු දැරියක් වෙනත් රෝහලකදී පසුගිය මාසයේ මිය ගිය මුත්, සිය දියණියට ප්‍රතිකාර කිරීම පිණිස අති විශාල මුදලක් තමන්ගෙන් අයකර ගත් බව එම දැරියගේ දෙමාපියෝ පැවසුවා.