පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

අපේ පොඩ්ඩෝ පලා වර්ග කන්න ගොඩාක් හොරයි නේද? එහෙනම් මෙන්න මේ පලා මිශ්‍ර එළවළු බත අත්හදා බලන්න. මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.

අපේ පොඩ්ඩෝ පලා වර්ග කන්න ගොඩාක් හොරයි නේද ? ඒත් මේ පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන මේ පලා වර්ග කොහොම හරි පොඩ්ඩාට කවන්නත් ඕනීනේ. එහෙනම් මෙන්න මේ පලා මිශ්‍ර එළවළු බත අත්හදා බලන්න. මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

පිසගත් සම්බා බත් පීරිසියක්

බටර් මේස හැදි    01

බිත්තර                  01

හිනියට ලියාගත් කැරට් මේස හැදි 02 පමණ

හීනියට ලියාගත් බෝංචි මේස හැදි 02 පමණ 

හීනියට ලියාගත් ලූණු හා කරපිංචා ටිකක්

රස අනුව ලුණු 

හීනියට ලියාගත් කතුරුමුරුංගා හෝ ගොටු කොළ මේස හැදි 02

සාදන ක්‍රමය: 

•  භාජනයක් ලිප තබා එයට බටර් මේස හැදි එකක් දමා රත්වෙන්න හරින්න. හොදින් රත් වු පසු එයට හීනියට ලියාගත් ලූණු, කරපිංචා එක් කර බැදෙන්න හරින්න.

• මිශ්‍රණය රන්වන් පාට වනවිට එයට සිහින්ව කපාගත් කැරට් හා බෝංචි එකතු කර බැදෙන්න හරින්න. ප්‍රමාණවත් පරිදි මිශ්‍රණය බැදුනු පසු එයට බිත්තර කඩා එක්කර රස අනුව ලුණු ද එක් කරන්න.

• දැන් අපි මිශ්‍රණයට පලා එකතු කරන්නයි හදන්නේ, සිහින්ව ලියා ගත් කතුරුමුරුංගා නම් ඊලගට එකතු කර විනාඩියකින් පමණ බත් ටික එකතු කර කවලම් කර ලිපෙන්  ඉවතට ගන්න. හැබැයි ඔබ දාන්නේ හීනියට ලියාගත් ගොටු කොල නම් එය කවලම් කල යුත්තේ ලිපෙන් ඉවතට ගත් එළවළු බතටයි. (පලා වර්ග වැඩිය රත් කිරීමෙන් පෝෂ්‍ය කොටස් විනාශ විය හැක.)

• දැන් නැවත වතාවක් ලුණු පරීක්ෂා කර රස අනුව එය ගලපාගන්න.

• දැන් පුංචි පිගානකට ලස්සනට පිළිගන්වන්න. පුංචි සැරසිල්ලක් කරන්නත් අමතක කරන්න එපා.

පුංචි මතක් කිරීමක් :

  • කෑම වල රස, වර්ණය,හැඩය හා සුවද වෙනස් කිරීමෙන් දරුවා තුල ආහාර රුචිය ඇති කල හැක.
  • ඉහත පරිදි බත් වෙනුවට නුල්ඩ්ස් හෝ පැස්ටා යොදා සකස් කරන්න පුලුවන්.
  • බටර් වෙනුවට පොල්තෙල්  යොදා සුවද රසය වෙනස් කරන්න පුලුවන්.
  • ඒ වගේම බතට කහ ටිකක් එක්කර වර්ණය වෙනස් කරන්න පුලුවන්.
  • ඒ වගේම බතට පොඩි කරගත් මස් හා මාලු එක්කර රසය, ගුණය වෙනස් කරගත හැකිය.
  • සමහර විට සුදු ලූණු, ඉගුරු තෙම්පරාදුවටත් පොඩ්ඩා කැමති වෙන්න පුලුවන්.
  • ඒ වගේම පිළිගන් වන සැරසිල්ල , භාජනය වෙනස් කරන්නත් පුලුවන්.

මේ වගේ රස රහස් The Asianparent Sri Lanka අපි ඔබට තිළිණ කරන්නේ හද පිරි ලෙන්ගතු කමිනි.