දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

මාස 10ක් වයසැති මෙම නිවුන් දැරියන් දෙදෙනා කුරිරු ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මෙය පසු ප්‍රසව විශාදයේ ප්‍රතිඵලයක් විය හැකිද?

අමානුකෂික ලෙස ඝාතනය වූ දස මසැති නිවුන් දරු ඝාතනය ගැන මේ දුක්ඛිත පුවත වාර්තා වන්නේ සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයෙන්.

මාස 10ක් වයසැති මෙම නිවුන් දැරියන් දෙදෙනා කුරිරු ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන බව වාර්තා කෙරෙන්නේ  අද දෙරණ පුවත් අඩවියෙන්

දරුවන්ගේ නිවසේ නාන කාමරය තුළ තිබී දරුවන්ගේ මල සිරුරු හමුවී ඇති අතර දරුවන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ එම නාන කාමරය තුළදී බවට සැක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර දරුවනේ මව රෝහල් ගත කර ඇත. සැකකාර මවට මානසික රෝගයක් ඇති බවට සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මවක් කෙසේ නම් මෙවන් දෙයක් කරයිද? මෙය පසු ප්‍රසව විශාදයේ (Postnatal Depression)ප්‍රතිඵලයක් විය හැකිද?  පසු ප්‍රසව විශාදයේ බලපෑම් මොනවාද? පසු ප්‍රසව විශාදය තුළින් මෙතරම් කුරිරු දෙයක් සිදුවිය හැකිද?

මෙම ඛේදනීය ඉනරණමට මුහුණ දුන් එම පවුලට  හි අපගේ ශෝකය පල කරනවා. 

මෙවන් සිද්දින් ගැන තවදුරටත් අවබෝද කර ගැනීමට පසු ප්‍රසව විශාදය (Postnatal Depression) යනු කුමක්දැයි බලමු.

පසු ප්‍රසව විශාදය (Postnatal Depression) යනු කුමක්ද? පසු ප්‍රසව විශාදයේ බලපෑම් මොනවාද?

දරුවෙක් ලැබුණු මවකට, දරුවා ලැබුණු විගස හෝ දරුවා ලැබීමට ආසන්නයේදී මානසිකව ඇතිවන පීඩාකාරී තත්වයක් තමයි පසු-ප්‍රසව විශාදිය කියන්නේ.

ප්‍රසූතියෙන් පසු ශරීරයේ ඇතිවන හෝර්මෝන වල වෙනස්වීම්, දරුවා රැකබලා ගැනීමේ අපහසුතා, නිදි මැරීම, මවගේ පසු-ප්‍රසව තුවාල නිසා ඇතිවන වේදනාවන්, දරුවාට කිරි මදි වීමේ ගැටළු සහ ජීවිතයට එක්වරම වගකීම රාශියක් ඇතිවීම ආදිය නිසා ඇතිවන පීඩනය නිසයි මෙම තත්ත්වය ඇතිවන්නේ.

මෙම තත්වය හඳුනාගෙන ඒ සඳහා නිසි පිළිවෙත් හෝ ප්‍රතිකාර ගැනීමෙන් බොහෝ අපහසුතා සහ අසහනකාරී තත්වයන් මගහරවා ගන්නට පුළුවන්. 

පසු ප්‍රසව විශාදයට මුහුණ දෙන්නේ කුමන ආකාරයේ මව්වරුන්ද?

ප්‍රසූතියෙන් පසු සෑම මවකටම යම් මට්ටමකට බියක්, මහන්සියක්, උද්වෙගකාරී බවක්, ආවේගශීලී බවක් ඇතිවෙන්නට පුළුවන්.

මේ චිත්ත තත්වය මවටත් දරුවාටත් හානිකර නොවන මට්ටමක නම් තිබේ නම් එය සාමන්‍යයි. මේ තත්වය අපි "Baby Blues" කියා හඳුන්වනවා.

මෙය ඉක්මනින් මගහැරී යනවා. නමුත් නිසි ප්‍රතිකාර නොලැබූ විශාදය මාස ගනනක් හෝ අවුරුදු ගණනක් තිබෙන්න පුළුවන්.

පසු-ප්‍රසව විශාදයේ මූලික ලක්ෂණ
  • දරුවා ප්‍රවේසමින් බලාගැනීමට නොහැකිවේයැයි ඇතිවන බිය
  • දරුවා සිප ගැනීමට සහ තමන් ලඟින් තබා ගැනීමට අකමැති වීම
  • අහේතුකව ඇතිවන ශෝකී අදහස්, තමන් තනි වී ඇති බව සිතීම
  • නිතරම අහේතුකව තරහ යාම සහ හැඬීම
  • කෑම අරුචිය 
  • නින්ද නොයාම 
  • අන් අය සමග සුහදව කතා කිරීමට ඇති මැලි බව 
අලුත් මවක් ඉහත ලක්ෂණ අත්දකින්නේ නම් කළ යුත්තේ කුමක්ද?

මවක් වෙන්නට සිටින සෑම කාන්තාවක්ම මෙම තත්වය ගැන දැනුවත් වී සිටීම ඉතාම වැදගත්. දරුවා ලැබුණු පසු මෙවැනි සිතුවිලි පහල වෙනවා නම් ඒ පිළිබඳව තමන්ට සමීප කෙනෙකුට පැවසීම ඉතාම වැදගත්.

දරුවා ලැබුණු පසු දරුවා තමන්ට නිතරම පෙනෙන තැනක තබාගන්න. ආදරයෙන් දරු නැලවිලි ගී කියන්න. දරුවාගේ වැඩ කටයුතු වලට මුල සිටම සක්‍රිය ලෙස සහභාගී වෙන්න.

තමන්ට උදවු අවශ්‍ය වූ විට ඒ බව ලඟින් සිටින කෙනෙකුට පවසන්න. මව්කිරි දීම පිළිබඳ ගැටළු ඇත්නම් ඒ ගැන වෛද්‍යවරයෙකුගේ හෝ පවුල් සෞක්‍ය සේවිකාවකගේ  අවවාද ලබාගන්න. සෑම විටම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.

මෙවැනි පීඩනයක් ඇති වූ විට ඒ ගැන තමන් හඳුනාගෙන මුල සිටම ක්‍රියා කිරීම, මවටත් දරුවාටත් දෙදෙනාටම සුභදායි වනු ඇත.

තමාට මෙම පීඩනය දරාගැනීමට අපහසු නම් වෛද්‍ය අවවාද ලබාගැනීමට කිසිවිටක මැලි විය යුතු නැහැ.

ඔබ මෙවන් මානසික පීඩනයකට, මුහුණ දී සිටිනවා නම් වහාම  විශේෂඥ සේවයක සහය පතන්න. 

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ උපදේශන සේවාව, “Say Yes To Life” +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - 1333 උපදේශන සේවාව 1333
+94 112 692 909
පවුලේ සාමාජිකයින් හට පසු-ප්‍රසව විශාදයට ලක් වූ මවකට උදව් කළ හැක්කේ කෙසේද?

පවුලේ සාමාජිකයන් අලුත් මවකගේ මෙවැනි හැසිරීමක් දුටු විට ඇයට සමීපව කටයුතු කිරීම වැදගත්.

ස්වාමියාට ඇයගේ උත්සාහයන් වර්ණනා කිරීම, දරුවාගේ වැඩ කටයුතු වලට අත දීමෙන් ආදිය මෙවන් මවකට උපකාර කරන්නට පුළුවන්.

මෙවැනි හැසිරීමක් ඇති මවක් තනි නොකර සිටීමත් ඇය සමග සමීපව කතාකිරීමත් ඉතාම වැදගත්. යම් හෙයකින් මෙවැනි මවකගේ හැසිරීම අසාමාන්‍ය අතට හැරෙනවා කියා දැනෙනවා නම් නොපැකිලී වෛද්‍ය උපදෙස් නිසි කලට ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි.

පසු-ප්‍රසව විශාදයට ප්‍රතිකාර තිබේද? ඒ මොනවාද?

උපදේශනය මෙන්ම ඖෂධීය ප්‍රතිකාර ක්‍රමත් තිබෙනවා. වෛද්‍යවරයා ප්‍රතිකර්මය නිර්ණය කරන්නේ රෝගී තත්වය මතයි.

පසු-ප්‍රසව විශාදය නිවැරදිව තේරුම් නොගෙන, අවශ්‍ය ප්‍රතිකාර මගහැරුණහොත් විය හැක්කේ කුමක්ද?

දීර්ග කාලීනව විශාදයෙන් පෙලීමෙන් මවගේ මානසික තත්වය ඉතාමත් පහත වැටෙන්න පුළුවන්. ඊට අමතරව මේ තත්වය දරුවාටත් හානි දායක වෙන්න පුළුවන්.

විශාදයෙන් පෙලෙන මවක් සිතාමතා දරුවාට හානි පමුණුවන්නේ නැහැ. එය පවුලේ අන් සාමාජිකයින් හොඳින් තේරුම් ගත යුතුයි. නිසි කලට නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් විශාදය සුව කල හැකියි.

අලුත් මවුවරුනට පසු ප්‍රසව විශාදයේ බලපෑම් ගැන දිය යුතු විශේෂ පණිවුඩය

ප්‍රතිකාර ක්‍රම තිබියදී කිසිම මවක් මෙවැනි උග්‍ර මානසික පීඩනයකින් ජීවත් වීම අවශ්‍ය නැහැ. 

තමාට මෙවැනි සිතුවිලි පහළ වෙනවා නම් එය කිසිවිටකත් සඟවන්න එපා. තමාට සමීප කෙනෙකුට මේ බව පවසන්න. දරුවාගේ වැඩ කටයුතු වලදී උදවු අවශ්‍ය වූ විට ඒ බව අන් අයට පවසන්න.

දරුවා ලැබුණු පසුවත් දිනකට පැයක් වත් තමන්ගේ කටයුතු සඳහා වෙන් කර ගන්න. තමන්ගේ ආගම් ආශ්‍රිත වතාවත් කරන්න.

දරුවාගේ බර, කිරි බීම, ගුඩුස් නොයාම, දරුවා අහේතුකව හැඬීම යන කාරණා සියල්ල ගැනම ගැටළු ඇති නම් ඒ පිළිබඳව පළපුරුදු වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අන් අයගේ සැසඳීම් සහ විවේචනයන් සිතට නොගන්න. විශාදය සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තමන්ට පමණක් නොව තමාගේ දරුවාටත් සෙතක් අත්වන බව මතක තබා ගන්න.

මෙම ලිපියට අදාල පශ්චාත් ප්‍රසව විශාදය ආශ්‍රිත තොරතුරු සම්පිණ්ඩනය කෙරුනේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu) විසින් පසු ප්‍රසව විශාදය ලිපිය හරහා කළ දැනුවත් කිරීම් ආශ්‍රයෙනි.

 

Written by

Niloufer Perera