උණුසුම් පුවත් මවන ප්ලාස්ටික් බාස්මතී ගැන ඇත්ත කතාව දැනගන්න

lead image

ප්ලාස්ටික් සහල් පුවතෙහි විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාව දැනගැනීමට රුහුණු සරසවියේ ආහාර විද්‍යාව හා තාක්ෂණය අංශයේ අංශධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නිලන්ත ලියනගේ සමග සාකච්ඡා කළා.

මේ වන විට ඔබ අන්තර්ජාලය පුරාත් විවිධ රූපවාහිනී නාලිකා හරහාත් ප්ලාස්ටික් බාස්මති සහල් ගැන විවිධ වීඩියෝ හා තොරතුරු නරඹා හා කටින් කට හෝ දැනගන්නට ලැබී ඇති.

බාස්මති සහල් තරමක් මිල අධික වුනත් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත සහල් වර්ගයක් නිසා කාගේත් වැඩි අවධානයටත් කතාබහටත් බාස්මතී සහල් පත්වෙලා.

නමුත් බොහෝ දෙනෙක් මේ වෙනකොට මේ පුවතින් බෙහෙවින් තැති ගැන්මට පත්වී ඇති බව පෞද්ගලිකව අපට දැනගන්න ලැබුණා.

අපි ගෙදර බාස්මතී සහල් දිනපතා පරිභෝජනය නොකළත් අවන්හල්, උත්සව අවස්ථාවන් වලදී නිතරම බාස්මතී සහල් පරිභෝජනය වෙනවා.

ඉතින් ඔබේ හද සලිත කළ ප්ලාස්ටික් බාස්මතී සහල් ගැන සොයා ගන්නටත් එහි විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාව දැනගැනීමටත් ඒ ගැන විද්‍යාත්මක පසුබිමකින් කරුණු තහවුරු කළ හැකි රුහුණු සරසවියේ ආහාර විද්‍යාව හා තාක්ෂණය අංශයේ අංශධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලන්ත ලියනගේ මහතා සමග සාකච්ඡා කළා.

උණුකැවුම් ලෙස මාධ්‍ය හරහා හුවමාරු වන මේ කතාවේ ඇත්ත නැත්ත ගැන එතුමන් ඉතා වටිනා අදහස් ගණනාවක් අපි සමග ඉදිරිපත් කළා

ප්ලාස්ටික් සහල් හඳුනා ගන්නේ කොහොමද ?

පිසූ ප්ලාස්ටික් සහල් වලට ඔබට රැවටෙන්න ඉඩක් නැහැ. බාස්මතී සහල් වල ග්ලුටන් නමැති ප්‍රෝටීනය බහුලව ඇති අතර එය අනෙක් සහල් වලට වඩා කැඳ ගතියෙනුත් වැඩියි.

ඒ නිසා හැම බාස්මතී සහල් වර්ගයකම එකම ප්‍රමාණයෙන් කැඳ ගතියක් දක්නට නැතත් සමහර විට කැඳ ගතිය වැඩි නිසා ඇලෙන සුළු වෙනවා. ඒ නිසා පිසීමේදී එය වැඩිපුර ඇලෙන්න පුළුවන්.

නමුත් එය තලපයක් ලෙස දියවී ගුලියක් ලෙස සැදිය යුතුයි. ඉතින් එදිනෙදා වෙළඳපළේ දී නම් අපිට ආර්ථික අතින් බලන කළ එවැනි නිෂ්පාදනයක් පිස විකිණීමට අවන්හල් වලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිවසේදී නම් එය ප්‍රයෝගිකව අත් දකින නිසා අපි එය පරිභෝජනය නොකරන බව විශ්වාසයි.

එහෙනම් පිසීමට පෙර ඔබ එයට රැවටෙන්න පුළුවන්ද?

නැහැ. කොහෙත්ම නැහැ. පිසීමට පෙර ලාංකිකයන් ලෙස අපි අනිවාර්යයෙන්ම සහල් සේදීම කරනවා. එතකොට ඔබ මිලදීගෙන ඇත්තේ ප්ලාස්ටික් සහල් නම් ඒවා අනිවාර්යයෙන්ම ජලය මත පාවිය යුතු වෙනවා.

මොකද ප්ලාස්ටික් බරින් අඩු නිසා ඒවා පාවෙනවා. ඉතින් ඔබ නොසෝදා මිලදී ගත් සහල් මත ඇට පාවෙන සහල් තිබුනොත් ඒ ගැන සිතන්න. මන්ද ඒ පාවෙන ඇට ප්ලාස්ටික් සහල් ලෙස ඔබට ලෙහෙසියෙන් හඳුනාගන්න පුළුවන් නිසා.

ප්ලාස්ටික් සහල් නිෂ්පාදකයන්ට ආර්ථික වාසි ලැබිය හැකිද? 

ආචාර්ය නිලන්ත මේ ගැන ඉතා තර්කානුකුල අදහස් ඉදිරිපත් කළා. ප්ලාස්ටික් යනු සාමාන්‍යයෙන් බර අඩු අමුද්‍රව්‍යක්. ඉතින් සහල් කිලෝවක බරට ප්ලාස්ටික් සහල් දෙගුණයක් තෙගුණයක් නිෂ්පාදනය කිරීමට සිදුවෙන්න පුළුවන්. එවිට ආර්ථිකමය වශයෙන් ඔවුන්ට ලැබෙන වාසියක් නැහැ.

ආර්ථිකමය වශයෙන් ලාභ නොලබා ඔවුන්ට මෙය නිෂ්පාදනය කිරීමේ වාසිය කුමක්ද? අනෙක් අතට සහල් වැනි ආහාරයකට තාක්ෂණය කෙතරම් දියුණු වුනත් ලෝකයේ මෙවන් ක්‍රම උපායන් යොදවනු නැතැයිද මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළා.

ලොව පුරා සිදුවෙන දේවල් ගැන විවෘත මනසින් දැනගැනීම වැදගත් වුනත් එය තාර්කික පුළුල් මනසකින් විග්‍රහ කර බැලීම වැදගත්. මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළා. එමෙන්ම මෙවැනි සිදුවීමක් සිදුවීමට ඇති හැකියාව 0.1%  පමණ ප්‍රමාණයක් පමණක් ඇති බව එතුමන් විශ්වාසයෙන් සඳහන් කළා.

ඔබට තවමත් සැක සහිත නම් අප සඳහන් කළ නිර්ණය නැවත නැවත ඔබ මිලදී ගන්නා සහල් වලට සිදුකර බලන්න පුළුවන්. මන්ද ඔබට ඔබව අන් කවරෙකුටත් වඩා විශ්වාස කරන්න පුළුවන් නිසා.

බොහෝ දෙනෙක් බාස්මතී වල ඇති ජීරණය පහසු කරන ගුණය නිසා ග්ලයිමක් දර්ශකය මත ආහාර පාලනය කරන අයට නිර්දේශ කළත් අපේ පාරම්පරික සුවඳැල්, හීනටි වැනි සහල් වලට සීනි රුධිරයට උරා ගැනීමේ වේගය බාස්මති වැනි සහල් වලට සමානව ඇති නිසා මිල අඩු ගුණ වැඩි සහල් තෝරා ගන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා.  

අනෙක් අතට මේ ලිපිය හුදෙක් කිසියම් අයෙකුගේ අවශ්‍යතාවයකට හෝ නිෂ්පාදන ඉහළ දැමීම හෝ ආර්ථික වාසි ලබාදීමේ අරමුණින් අපි සකස් නොකළ බව  තහවුරු කළ අතර දැයේ දරුවන්ගේ යහපත ගැන සිතාම සකස් කළ ලිපියක් බව theAsianparent Sri Lanka මතක් කරන්නේ ආඩම්බරයෙනි.