ඔබේ පැටියා බලාගන්න සේවිකාව ගැන ඔබ දන්නා කරුණු ප්‍රමාණවත්ද?

වර්තමානයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන අපි වැඩියෙන් සිතිය යුතු නිසා හැම ආකාරයෙන්ම ආරක්‍ෂිත පියවරවල් ගැනීම අපේ සතුටටම හේතු වෙනවා.

එදා වගේ නෙමෙයි අද තාත්තලා වගේම අම්මලාත් එක වගේම කාර්යබහුල වෙලා. පුංචි පැටවුන් සමග ගෙදර රැඳෙන්න කොයිතරම් ආසා කළත් ආර්ථිකය ශක්තිමත් කරගැනීම පිණිස තාත්තට වගේම අම්මටත් එකසේ කාලය යොදවන්න වෙනවා.

එවන් වාතාවරණයක් තුළ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙදර රැඳෙන කෙනෙකු අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ඊට සුදුසුම කෙනෙකු නැතිනම් සේවිකාවක් ඔබ තෝරාගන්නේ කොහොමද කියලා සිතනවා වෙන්නට පුළුවන්. ඒ වගේම එවැනි අවස්ථාවකදී සිතිය යුතු කාරණා මොනවා දැයි දැනගැනීමෙන් ඔබට ඇතිවිය හැකි ගැටළු අවම කරගන්න පුළුවන්.

වර්තමානයේ සේවිකාවන් අතීතයේ මෙන් නොව විවිධ මාර්ග වලින් නිවෙස් වලට පැමිණෙනවා. මේ අතර

බ්‍රෝකර්වරු මාර්ගයෙන්
නිවෙස් සඳහා සේවයට කාන්තාවන් සපයන තැරැව්කරුවන් අද බොහෝ විට හමුවෙනවා. ඔවුන් සහ ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත් ගැන ඉතා සූක්ෂම ලෙස සොයා බලා කටයුතු කිරීම වැදගත්. මන්ද මෙම බ්‍රෝකර්වරු ඉතා හොඳ සේවිකාවක් ලෙස ඔබට ඇය හඳුන්වා දුන්නත් ඒ ඇතුළත කූට උපක්‍රම රැසක් තිබෙන්නට පුළුවන්.

  • ඔවුන් සොරකම් කරන කණ්ඩායමකට අයත් වීම.
  • නැතිනම් වෙනත් සාහසික ක්‍රියා වල නිරත වූවන් වීම.
  • නීතියේ රැහැනින් මුවා වීමට රැකවල් සොයා පැමිණීම වැනි හේතූන් තිබිය හැකිය.

අනෙක් අතට මේ පුද්ගලයන් නිවෙසින් නිවසට සේවිකාවන් මාරු කරන අය වන්නටද පුළුවන්. මෙහිදී බොහෝ බ්‍රෝකර්වරු සේවය වෙනුවෙන් සේවිකාවගේ පළමු වැටුප ඔවුන්ට ගෙවිය යුතු බව කියනවා. එවිට ඔහු මුදල් ලබාගත් පසු සේවිකාව දින කිහිපයක් පමණක් රැඳී ඔබේ ගෙදරින් පිටත්ව යාමට වුනත් ඉඩ තිබෙනවා. එවිට ඔබට ඔබේ මුදල්, කාලය හා කළමනාකරණය කරගත් වැඩ සියල්ල අවුල්ව යනවා.

ඒජන්සි මාර්ගයෙන්
ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතා ප්‍රචලිත ලෙස ගෘහ සේවිකාවන් හා නැනීලා සේවයට ලබාදෙන ලියාපදිංචි ඒජන්සි ආයතන දකින්න ලැබෙනවා. ඔවුන් ලබාදෙන සේවිකාව මාස 3 ක් යන තුරු ඔබේ ළඟ සේවය නොකළහොත් වෙනත් අයෙකු ලබාදෙන බවත් නැතිනම් ඔවුන් අයකරන මුදල නැවත දෙන බව කිව්වත් බොහෝ තැන් වල එලෙස සිදුවන්නේ නැහැ.

මෙහිදී බොහෝ ඒජන්සි මගින් කරණු ලබන්නේ සේවිකාවන් කිහිප දෙනෙකු ස්ථිර ලෙස තමන් භාරයේ තබාගෙන ස්ථාන කිහිපයකට මාරු කරමින් මාස තුනක කාලය ගෙවා දැමීමයි. මෙහිදී කාර්යබහුල දෙමාපියන් වන ඔබට ඉතා අසීරුවට පත් වෙනවා.

පුවත්පත් දැන්වීම් මාර්ගයෙන්
බොහෝ දෙනා සේවිකාවන් සොයා ගැනීමේ දුෂ්කරතාවයන් නිසා පුවත්පත් වල දැන්වීම් පළකරමින් සේවිකාවන් සේවයට බඳවා ගන්නවා. නමුත් මෙවැනි පුවත්පත් දැන්වීම් වලින් පැමිණෙන පිරිස ගැන ඔබ දෙවරක් සිතිය යුත්තේ ඔවුන් ඔබට ලබාදෙන තොරතුරු සත්‍ය අයගේ බව දැනගැනීමට කිසිදු මාර්ගයක් නොවීමයි.

මේ මාර්ගයෙන් එන විවිධ වැරදි වැඩ වලට සම්බන්ධ කාන්තාවන් මෙන්ම සොරකම් වල නිරත වෙන අය පවා සිටින්නට පුළුවන්. අනෙක් අතට දරුවන් පැහැර ගැනීම් වැනි ජාවාරම් වල නිරත වන සූක්ෂම පිරිස් වල සාමාජිකයන් ලෙස වුවත් මෙවැනි කාන්තාවන් ඔබේ නිවසට ඇතුල් වීමේ අවධානමක් ඇති බව සිතිය යුතුයි.

සේවිකාවක් නිවසේ රඳවා ගන්නා විට සැලකිය යුතු මූලික කරුණු

  • ඇගේ පදිංචිය සනාථ කළ හැකි ග්‍රාම සේවක විසින් සනාථ කරන ලද ග්‍රාම සේවක සහතිකය
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • භයානක රෝග නොමැති බවට සහතික කළ වාර්තාවක්
  • ඇගේ පවුලේ අය පිළිබඳ විස්තර හා ඔවුන්ගේ දුරකථන අංක, ලිපිනය ආදී තොරතුරු

ලබාගැනීම අතිශය වැදගත් වෙනවා.

ඇය ගැන තොරතුරු දැනගත්තත් අවධානයෙන් සිටින්නේ කොහොමද?

  • දරුවා ඇය සමග තනි කරන්න එපා

කිසිමවිටක දරුවන් අලුත් සේවිකාවක සමග තනිව රඳවා යන්න එපා. ඔබේ මව, පියා හෝ වෙනත් පවුලේ කෙනෙකුගේ අධික්ෂණයේ තබා ඔබට ඇයට මූලික කටයුතු පැවරීම කළ හැකි වෙනවා.

  • කැමරා පද්ධති

වර්තමානයේ සියල්ල දියුණු තාක්ෂණ පහසුකම් ඇති නිසා ඔබට ඔබ දුරකතනයෙන් නිවසේ වන කටයුතු බලාගත හැකි ආකාරයේ මෘදුකාංගයක් හා කැමරා පද්ධතියක් සැලසුම් කරන්න.

  • වටිනා භාණ්ඩ සුරක්ෂිත ස්ථානයක තබා යන්න

ඔබට ඇය කෙතරම් විශ්වාස වුනත් රන් භාණ්ඩ මිල මුදල් ඔවුන්ගේ ඇස ගැටෙන සේ තබා යන්න එපා. ඔවුන් ඉතා ක්ෂණික තීරණ ගත හැකි නිසා ඉන් දරුවාට පවා අනතුරු සිදුවිය හැකි බව මතක තබා ගන්න.

  • පිරිසිදුකම ගැන උපදෙස් දෙන්න. ඇගේ වැඩ අධීක්ෂණය කරන්න

කුඩා දරුවෙකු ගෙදර සිටින විට ඇයට පළමුව පිරිසිදුව සිටින ලෙස අවවාද දෙන්න. ඇගේ සනීපාරක්ෂාවට අවශ්‍ය දේවල් සඳහා මිලක් වැය වුනත් ඒවා ලබා දීමෙන් ඔබට පසුකාලීන වාසි ලැබෙන බව සිතන්න. නැතිනම් අපිරිසිදු දෑතින් ඔබේ දරුවා වඩා ගැනීම, අපිරිසිදු ඇඳුමින් නිවසේ සිටීම වැනි දේවල් දරුවාගේ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.

  • හැකි හැමවිටම දරුවාගේ කටයුතු ඔබ අතින් ඉටු කරන්න

දරුවාගේ කෑම වේල, නෑවීම, කැවීම හැකි හැම වෙලාවකම ඔබ අතින් ඉටු කිරීමෙන් ඔබත් දරුවාත් අතර බැඳීම වැඩිවන අතරම ඔබට පිරිසිදුකම හා සෞඛ්‍ය ආරක්‍ෂිත බව ගැන විශ්වාසයක් තිබෙනවා.

  • නිතරම ඇය කරන වැඩ ගැන ඔබ සොයා බලන බවට අඟවන්න

ඒ මගින් ඇය ඔබ විමසිලිමත් බව දැනගන්නා අතර වරදක් කිරීමට පෙළඹීම අඩුවන්නට පුළුවන්.

වර්තමානයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන අපි වැඩියෙන් සිතිය යුතු නිසා හැම ආකාරයෙන්ම ආරක්‍ෂිත පියවරවල් ගැනීම අපේ සතුටටම හේතු වෙනවා.