Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

lead image

පියුරු පිළිකා කලින් හඳුනාගතහොත් සම්පූරණයෙන්ම සුවවී නිරෝගී දිවියක් ගත කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මාසික ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන්න. වෙනසක් දුටුවිට නොපැකිලී වෛද්‍යවරයෙකු මුණගැහෙන්න.

දරුවන්ගේ මෙන්ම මවුවරුන්ගේද සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා. 

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

ඉතින් මේ විශේෂාංගය ඔස්සේ අද ඔබ වෙත ගෙන එන්නේ වැඩිමහල් කාන්තාවන් අතර ප්‍රචලිත තත්වයක් විය හැකි පියයුරු පිළිකාව සම්බන්ධයෙන් මව්වරුන් දැනුවත් කිරීමේ අරමුණින් වෛද්‍යතුමියගෙන් ගෙන එන පිළිතුරු පැන් සංග්‍රහයකි.   

1. ලංකාවේ පියයුරු පිළිකා කෙතරම් බහුලද?

ලාකික කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතුරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාවයි. පියයුරු පිළිකාව බහුලව වැළඳෙන්නේ අවුරුදු 55ට වැඩි කාන්තාවන්ටයි. නමුත් දැන් අවුරුදු 50ට අඩු කාන්තාවන් බහුල ප්‍රමාණයක්ද පියයුරු පිළිකාවට ගොදුරු වී තිබෙනවා.

2. පියයුරු පිළිකා වැළඳීමට බලපෑ හැකි හේතු මොනවාද?

-අවුරුදු 50 වැඩි සියලුම කාන්තාවන්ට පියයුරු පිළකා වැළඳීමේ අවදානමක් තිබෙනවා 

-තමන්ගේ පවුලේ පියයුරු පිළිකා වැලඳී  තිබෙන  අය සිටී නම් ( මිත්තනිය, මව, සහෝදරියන්, දියණියන්) තමාටද එය ඇතිවීමේ වැඩි අවධානමක් තිබෙනවා. තවද සමහර පවුල්වල උරුම වූ විකෘති ජාන (BRCA1,BRCA 2) ඇති කාන්තාවන්ටද පියයුරු පිළිකාව වැළඳීමේ වැඩි අවධානමක් තිබෙනවා.

-අවුරුදු 12ට කලින් වැඩිවියට පත් වීමද, පසු කලකදී පියයුරු පිළිකා වැළඳීමට හේතුවක් වෙන්න පුළුවන්. 

-අවුරුදු 55 පසුවත් ආර්තවහරණය සිදු නොවූ කාන්තාවනුත් ආර්තවහරණයෙන් පසු ස්ථූල කාන්තාවනුත් පියයුරු පිළිකා පිලිබඳ සැලකිලිමත් විය යුතුයි. 

- ස්වාභාවිකවම ඝන පියයුරු ඇති කාන්තාවන්ට පියයුරු පිලික වැළඳීමේ හැකියාව වැඩි බවට සොයාගෙන තිබෙනවා. 

- වයස අවුරුදු 30න් පසුව මුල් වරට ගැබ් ගැනීමත් සහ කවදාවත් ගැබ් නොගැනීමත් පියයුරු පිළිකා අවදානම ඉහළ නැංවිය හැකිය.

- දීර්ග කාලිනව උපත් පාලන පෙති භාවිතය, දීර්ග කාලීනව හෝර්මෝන භාවිතය, කායික වශයෙන් ක්‍රියාකාරී නොවීම සහ පියයුරු වල පිළිකා නොවන වෙනත් තත්ව ඇතිවීමත් පසු කලකදී පිළිකා කාරකයන් බවට පත්වන බව හඳුනාගෙන තිබෙනවා.

- මීට අමතරව රසායනික ද්‍රව්‍ය වලට, විකිරණශීලී ද්‍රව්‍ය වලට ආදිය නිරාවරණය වීමෙන්ද පියයුරු පිළිකා වැළඳීමේ හැකියාවක් තිබෙනවා.

3. පියයුරු පිළිකාවට භාජනය වීමට වැඩි අවධානමක් ඇත්තේ කුමන වයස් කාණ්ඩවල කාන්තාවන්ටද?

බොහෝවිට අවුරුදු 55ට වැඩි කාන්තාවන්ට 

4. පියයුරු පිළිකාව කල්තියා හඳුනාගත හැකි ක්‍රමවේදයක් තිබේද?

තමන්ගේ පියයුරු තමන් විසින්ම පරීක්ෂා කිරීමෙන් (ස්වයං පියයුරු පරීක්ෂාව) පියයුරු පිළිකාව මුල් අවධියේදීම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. මුල් අවධිවල හඳුනාගත් පියයුරු පිළිකාව සුව කිරීම පහසුයි. මාස ශුද්ධිය සිදුවන කාන්තාවන් ශුද්ධියෙන් සතියකට පසු සහ ආර්තවහරිත කාන්තාවන් මසකට වරක් නියමිත දිනක මෙම පරීක්ෂාව සිදුකරගැනීම පුරුද්දක් කරගත යුතුයි.  

5. පියයුරු පරීක්ෂාව කරන්නේ කෙසේද ?

මෙම පරීක්ෂාව නිවසේදී  සිදුකරන්න පුළුවන්.

මුල් අදියර - සිටගෙන ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීම 

-කන්නාඩියක් ඉදිරිපසට යන්න. දෙඅත් දෙපසට දමා සැහැල්ලුවෙන් සිටගන්න 

-සාමාන්‍යයෙන් සිටගෙන සිටින විට පියයුරු දෙකේ වෙනසක්/අසාමාන්‍ය අසමමිතියක් ඇසට පෙනෙනවද බලන්න. 

-දෑත් ඉහලට ඔසවන්න. පියයුරු වල සමේ අවපැහැ ගැන්වීම, ඉදිමීම්, පිටතට පෙනෙන ගැටිති, සම ඇතුලට නෙරා යාම්, දද සහ තන පුඩුවේ වෙනස්කම් සහ නොයෙක් දියර/ශ්‍රාව ගැලීම් ඇත්දැයි පරික්ෂා කර බලන්න.

- ඉන්පසු දෑත් ඉන මත තබා තද කරන්න නැවත ඉහත පරිදිම පරීක්ෂා කරන්න 

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/breast 1.jpg Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/breast 2.jpg Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේ

දෙවන අදියර - වැතිරී සිදුකරන පරීක්ෂාව (දකුණු පියයුර පරීක්ෂා කිරීම)

- පහසු ලෙස උඩු අතට වැතිරෙන්න 

- දකුණු උරහිස යටින් කොට්ටයක් තබන්න (මෙවිට පියයුරේ  පටක හොඳින් පැතිරී පරීක්ෂාව පහසු වේ)

- දකුණු අත නමා දකුණු අත්ල ඔබේ හිසට යටින් තබාගන්න 

- වමතේ ඇඟිලි එකතුකර ඇඟිලි වල ඇතුල් පැත්තෙන් දකුණු පියයුර වක්‍රාකාර ලෙස තෙරපන්න. මෙවැනි සියුම් වක්‍රාකාර තෙරපීම් මුළු පියයුර පුරාම සහ කිහිලි ප්‍රදේශයේ සිදුකරන්න. 

- අවසානයේදී දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ලෙන් තනපුඩුව මිරිකා ශ්‍රාවයක් පිටවේදැයි පරීක්ෂා කරන්න. 

මෙසේ වම් පියයුරද පරීක්ෂා කරන්න 

මෙම පරීක්ෂාවේදී, සමට යටින් ඝනවීමක්, ගැටිති ස්වභාවයක්, කුද්දැටි ස්වභාවයන් සහ තෙරපීමේදී  තනපුඩුවෙන් ශ්‍රාවයක් (කිරි වැනි, ලේ වැනි, වතුර වැනි) නිරීක්ෂණය කලහොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වෙත යොමු විය යුතුයි.

5. පියයුරු පිළිකාවක් හඳුනාගැනීමේදී පිටතින් පැහැදිලිව දක්නට නොලැබෙන මුත් සැඟවුණු සාධක තිබිය හැකිද?

ඔව්. සමහර විට ගැටිති, ශ්‍රාවයන් පිටතින් දක්නට නොලැබුනත් ස්වයං පියයුරු පරික්ෂාවේදී හසුවෙන්නට පුළුවන්.

6. පියයුරු පිළිකාව සුව කල හැකිද

පියයුරු පිළිකාව මුල් අවධියේදීම හඳුනාගැනීමෙන් බොහෝ විට සුව කිරීමේ හැකියාව තිබෙනවා. සුවකිරීමේ ක්‍රමවේදය තීරණය කරන්නේ පිළිකාවේ අවධිය සහ පැතිරීම ගැන අවබෝධ වූ පසුවයි. ශල්‍යකර්ම, ඖෂධීය සහ විකිරණ ප්‍රතිකර්ම පිළිකාව සුව කිරීමට යොදාගන්නවා.

7. පියයුරු පිළිකාවෙන් වැලකිය හැකිද? ඉන් වැළකීමට කාන්තාවක් කුමක් කල යුතුද?

පියයුරු පිළිකාවක් ඇතිවීම පිළිබඳව (විශේෂ අවස්ථාවලදී හැරෙන්නට) කල්තියා හඳුනාගන්න මදක් අපහසුයි. මා ඉහත කී පරිදී  මාසිකව නිවසේදී ස්වයං පියයුරු පරීක්ෂාවත් අවුරුද්දකට වරක් හෝ වෛද්‍යවරයෙකු ලවා පියයුරු පරීක්ෂාවත් සිදුකරගැනීමෙන් කල්තියා වෙනස්කම් හඳුනාගන්න පුළුවන්. ඔබ අවදානම් කොට්ටාශයට අයත් කාන්තාවක් නම් මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සිටීම වැදගත්.

8. පියයුරු පිළිකාවක් යැයි සැක සහිත නම්, කාන්තාවක්මීළඟට කලයුත්තේ කුමක්ද

තමන්ගේ ප්‍රදේශයේ සුවනාරි සායනය හෝ තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් පියයුරු පරීක්ෂාවක් කරගන්න. පරීක්ෂාවෙන් අනතුරුව කලයුතු දෙය වෛද්‍යවරයා ඔබට පවසනු ඇත.

9. ලංකාවේ පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශේෂ ස්ථාන තිබෙනවාද? රජයේ රෝහල්වලින් කාන්තාවකට මෙය තවදුරටත් පරික්ෂාකර ගත හැකිද?

නාරාහේන්පිට ජාතික පිළිකා මර්ධන වැඩසටහන (National Cancer Control Programme) පිළිකා හඳුනාගැනීම පිළිබඳව ක්‍රියා කරනවා.  

එහි පියයුරු පිළිකා රෝග සායනය මගින් සායනික පියයුරු පරීක්ෂණය, මැමෝග්රෑම් පරීක්ෂාවන් සහ පියයුරු අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයන් සිදු කරනවා. 

මීට අමතරව සෑම රජයේ රෝහලකම බාහිර රෝගී අංශය මගීන් පියයුරු පිළිකා පිලිබඳ අවදානමක් දුටු විට නියමිත සායන වලට යොමු කරනවා.

පියුරු පිළිකා කලින් හඳුනාගතහොත් සම්පූරණයෙන්ම සුවවී නිරෝගී දිවියක් ගත කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මාසික ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන්න. වෙනසක් දුටුවිට නොපැකිලී වෛද්‍යවරයෙකු මුණගැහෙන්න.

කාන්තාවන්ට ඇති විය හැකි පියයුරු පිළිකා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/07/Dr. Dinu photo2 250x264.png Dr. Dinu අපට කියයි: පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් දත යුතු දේDr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.