පෙර පාසලට දරුවා ඇරලන විට ඔබ කළ යුතු හා නොකළ යුතු දේවල්

පෙර පාසල් ගුරුවරියකගෙන් ලැබෙන මේ උපදෙස් ඉතා උනන්දුවෙන් කියවා බලන්න.

පුංචි පැටියා දැන් ටිකක් ලොකු වෙලා තනියම පුංචි දේවල් කරගන්නවා. කතා කරන්න පුළුවන්කම ලැබිලා. ඔබේ ඇස් මානයෙන් දරුවා ඈතට යන පළවෙනි අවස්ථාව පෙර පාසලයි.

මේ අවස්ථාව දරුවාට වගේම දෙමාපියන්ටත් ජීවිතයේ සංධිස්ථානයක්. දරුවා ස්වාධීනව පියනගන්න අරඹන්න පුංචි පියවර තබන අවස්ථාවක්.

නමුත් දරුවන්ට එය තරමක් දුකක් හා සමහර විට බයක් දැනෙන අත්දැකීමක්. අලුත් යහළුවන්, අත්නොදුටු අලුත් පිළිවෙත් මේ හැම දේටම වඩා ඔබ ළඟ නැති එක ඔවුන්ට දරාගන්න අමාරුයි.

මේ ඔබ ළඟ නැති පළවෙනි අත්දැකීම වෙන්නත් පුළුවන්.

පෙරපාසල් ගුරුවරියක් ලෙස අත්දැකීම් ඇති ටොම් රොබින්සන් මේ අපහසුතා මගහරවා ගන්න අපිට අවස්ථා ටිකක් කියලා දෙනවා.

හොරෙන් කාමරයට එබිකම් කරන්න එපා

ගුරුවරිය කියන ආකාරයට දරුවා හඬමින් ඉන්න කාමරයට එබිකම් කිරීමෙන් ඔහුව තවත් බය චකිතය ඇතිවන අතර දරුවාට සිත ඒකාග්‍ර කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඒ වෙනුවට

දරුවා ගුරුතුමියට බාරදී ඇයව සිප සනසා සමුදී නැවත නිසි වෙලාවටම දරුවා බාරගැනීමට එන්න. ඉන් ඔබ දරුවා මගහැර නොයන බවත්, නැවත නිසැකවම ඔහුව බලන්න එන බවටත් සහතිකයක් ලැබෙනවා.

දුකින් හා තැතිගැන්මෙන් බලන්න එපා

ඔබේ තැතිගැනුණු මුහුණ දරුවා දැකීමෙන් වන බලපෑම වැඩියි. ඔබ දුකින් බලා ඉන්න විට පෙර පාසලත් දුක සහිත තැනක් සේ දරුවාට හැඟෙන්න පුළුවන්. ඉන් පෙරපාසල භයානක තැනක් ලෙස දරුවාට හැඟෙන්න පුළුවන්.

ඒ වෙනුවට

ඔබේ ඉරියව් වලින් ධනාත්මක හැඟීම් පෙන්වන්න. සිනාමුසුව ඇයට පාසල තුළ ආරක්ෂාව ලැබෙන බව කියා දෙන්න. එය තරමක් අසීරු වුනත් මේ මොහොතේ ඔබට පොඩි රඟපෑමක් කරන්නට වෙන බව රොබින්සන් පවසනවා.

ඔවුන්ගේ කඳුළු මගහරින්න එපා

දැන් ටිකක් ලොකු වෙලා හිටියට දරුවා තවමත් ළදරුවෙක් බව අමතක කරන්න එපා. පෙර පාසල ළඟදී අඬන දරුවාට බනින්නවත්, තරවටු කරන්නවත්, ගහන්නවත් එපා. සංයමයෙන් ඔහුට කතා කරන්න. නැතිනම් ඔහු තවත් කම්පා වෙනවා.

ඒ වෙනුවට

අද ඔහුට හුඟක් විනෝද වෙන්න අවස්ථාව ලැබෙන බව පවසන්න. නැවත නිවසට යන විට අපිට අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන් බව කියන්න. ඔහුගේ දුක් හා සංකාව පහවන ලෙස කතා කරන්න.

මේ කාලය ඉක්මනින් ගෙවී ඔබේ දරුවා නැවත පෙර පාසලට සතුටින් දිව යන හැටි ඔබට ඉක්මනටම දකින්න ලැබේවි. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ