මී පැණි වල සැග වී ආ මාරයා බිලිගත් පුංචි පැටියෙක්ගේ කථාව

lead image

අවුරුද්දට අඩු ළදරුවන්ට මී පැණි ලබාදීමෙන් ඇතිවෙන බෝටිලියුසම් නම් තත්වය ගැන මවක් ලෙස ඔබ දන්නවාද?

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

බබාට මී පැණි දෙන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන්ම  කියවන්න. මී පැණි ලබා දීම නිසා මාස හයක පුංචි පැටියෙක් සිය ජිවිතයෙන් වන්දි ගෙවපු බව ඔබ දන්නවාද?

අවුරුද්දට අඩු ළදරුවන්ට මී පැණි ලබාදීමෙන් බෝටිලියුසම් (botulism) නම් තත්වය ඇතිවිය හැක. බොටියුලිසම් තත්වය කොච්චර නම් අනතුරුදායකද යන්න මේ පුංචි දරුවාගේ  ඛේදනීය මරණය අපිට පෙන්වා දෙනවා.

බබාට මී පැණි: මේ පුංචි දරුවාගේ  මරණය පෙන්වා දෙන අනතුර මොකද්ද?

ජපානයේ ටයිම්ස් පුවත්පතට අනුව, එම රටේ  මාස හයක් වයසැති පිරිමි දරුවෙක් බොටියුලිසම් තත්වය හේතුවෙන් මෙසේ  මිය ගියා.   ඔහුට මී පැණි ලබා දීම මීට හේතුවයි.

පවුලේ අය මේ දරුවාට  මාසයක පමණ සිට දිනකට දෙවරක් යුෂ වල මිශ්‍ර කළ මී පැණි ලබා දී තියෙනවා.

“අපි මී පැණි  යුෂ වලට මිශ්‍ර කර එය අපේ දරුවාට දුන්නා. අපි හිතුවේ එය ඔහුගේ සිරුරට  හිතකරයි කියලා,” පවුලේ සාමාජිකයෙක් එසේ කියා සිටියා.

මේ දරුවා අසාධ්‍යව ශ්වසන අපහසුතාවයත් එක්ක  රෝහලට ගෙන ගියා.

ක්ලෝස්ට්‍රිඩියම් බොටුලිනම් (Clostridium botulinum) නමින් හැඳින්වෙන විෂ නිපදවන බැක්ටීරියාව  අඩංගු   මී පැණි මේ දරුවා පානය  කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වුනා.

මාසෙකට  පස්සේ මේ දරුවා මිය ගියා.  1986 වසරෙන් පසු ජපානයේ බොටියුලිසම් තත්වය හේතුවෙන් සිදු වූ පළමු මරණය ලෙස වාර්තා වන්නේ මෙයයි.

ඔබේ දරුවාට වයස අවුරුද්දක් වු පසු මී පැණි ආරක්ෂිතව ලබා දෙන්න පුළුවන් බවත් මතක තබාගන්න.

ඇත්තටම ළදරුවන්ට ඇතිවෙන බොටියුලිසම් තත්වය කියන්නේ මොකද්ද?

සිරුර තුළ විෂ නිපදවන බැක්ටීරියාවක් පුංචි දරුවන්ගේ  ශරීර  ගත වීමෙන්  ඇති වෙන රෝග තත්වයක්  ලෙස බොටියුලිසම් පෙන්වා දෙන්න පුළුවන් .

ක්ලෝස්ට්‍රිඩියම් බොටුලිනම් (C. botulinum) බීජාණු දරුවාගේ සිරුරට ඇතුල් වීමෙන් මෙම රෝගී තත්වය ඇතිවෙනවා.

මෙම බීජාණු වලින් ඇතිවෙන  බැක්ටීරියා ළදරුවාගේ බඩවැල් තුළ වර්ධනය වෙමින්  භයානක විෂ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා.

අවුරුද්දට අඩු එනම් වයස මාස 12 දක්වා ළදරුවන්ගේ  ආහාර ජීර්ණ පද්ධතිය පරිණත වෙලා නැහැ . ඒ නිසා ඔවුන් මේ රෝගී තත්වයට ගොදුරු වෙනවා.

බබාට මී පැණි: බොටියුලිසම් තත්වයේ සලකුණු  සහ රෝග ලක්ෂණ

මෙම බීජාණු ළදරුවෙකුගේ ශරීරගත වී දින 03 ත්  30 ත් අතර කාලයේ දී මෙහි රෝග ලක්ෂණ ඇතිවෙනවා.

බොටියුලිසම් රෝගයට ප්‍රතිකාර කල හැකි නමුත් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වැදගත් වෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ සලකුණු  ඔබ ඔබේ දරුවා තුල දුටුවහොත් වහාම දරුවාව වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

බොටියුලිසම් තත්වයේදී පළමුවෙන්ම ඇතිවිය හැකි සලකුණ  වන්නේ  මල බද්ධයයි.

මෘදු  නම්‍යශීලී චලනයන්, දුර්වල වීම සහ උරා බීම හෝ ආහාර  ලබා ගැනීම අපහසු වීම සාමාන්‍යයෙන් ඒ සමගම ඇතිවෙනවා.

වෙනත් රෝග ලක්ෂණ

  • මුහුණේ හැගීම් විරහිත විම (ඉරියව් නොපෙන්වීම)
  • ආහාර  ලබා ගැනීම  දුර්වල  වීම ( උරාබීම දුර්වල  වීම)
  • දුර්වල ලෙස හැඩීම
  • චලනයන් අඩුවීම
  • ගිලීමේ ගැටළු සහ අධික ලෙස කෙළ වැගිරීම
  • මාංශ පේශි දුර්වලතාවයන් ඇතිවීම
  • හුස්ම ගැනීමේ ගැටළු ඇතිවීම

බොටියුලිසම් තත්වයෙන් දරුවන් ආරක්ෂා කිරීම

අවුරුද්දක් වෙන තුරු බබාට මී පැණි හෝ මී පැණි අඩංගු  ආහාර ලබා  නොදීමෙන්  බොටියුලිසම් අවදානම අවම කර ගන්න පුළුවන්.

ක්ලෝස්ට්‍රිඩියම් බොටුලිනම් (Clostridium botulinum)  නම් බැක්ටීරියාවේ එක් ප්‍රභවයක් ලෙස මී පැණි පෙන්වා දෙන්න පුළුවන්.

වැඩිහිටි දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ  ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් පරිණත වෙලා තියෙනවා. ඒ නිසා මේ බැක්ටීරියාව  ඔවුන්ට හානිකර නැහැ .

නිවසේ කල් තබා ගන්නා ලෙස ඇසිරූ ආහාර   පීඩනය යටතේ පිසීමෙන් මෙම බැක්ටීරියාවෙන් ආහාර දුෂණය වීම අවම කර ගන්න පුළුවන්. නිවසේ කල් තබා ගන්නා ලෙස ඇසිරූ ආහාර    දරුවාට ලබාදෙන්න පෙර මිනිත්තු 10 ක් රත් කරන්න.

ඒ වගේම මෙම බැක්ටීරියා බීජාණු පරිසරයේ සෑම තැනකම තියෙනවා. ඒවා කුණු දූවිලි අතර වගේම වාතයේ පවා තියෙන්න පුළුවන්.

අපිරිසිදු පස් හෝ දූවිලි වලට දරුවා නිරාවරණය කරන්න එපා. ඉදිකිරීම් හා කෘෂිකාර්මික ස්ථාන හෝ පස්  ආශ්‍රිත  වෙනත් ක්‍රියාකාරකම් සිදුවෙන  ප්‍රදේශ වල මේ අකාරයට දරුවා දූෂිත පස් වලට  නිරාවරණය වීම බොහෝ විට සිදු වෙනවා.

ඔන්න අවුරුද්දට අඩු බබාට මී පැණි දෙන්න එපා. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

app info
get app banner