ස්වාමිපුරුෂයා ලඟින් නොමැති බිරිඳකට ජීවිතය අභියෝගයක්

සැමියා ලගින් නොමැති බිරිදකගේ යථාර්ථය කුමක්ද? බිරිදගේ වගකීම් මොනවාද? මෙම ලිපය කියවා බලන්න.

අප රසිකාවියන්ගේ ඉල්ලීම පරිදි  සැමියා දුර බැහැර සේවය කරද්දී ගෙදර යුද්ධයට තනිව මුහුණ දෙන යකඩ ගැහැණුන් ගැනත් අපි කථා කරන්න හිතුවා.

සැමියා හමුදා මෙහෙවරේ හෝ වේවා එතෙර සේවයේ හෝ වේවා , වෙනත් දුෂ්කර සේවයක හෝ වේවා සැමියා නිවසෙන් පිට නම් සියල්ල බිරිදගේ කරපිටට වැටෙනවා. ඒ බොහොමයක් වගකීම් මනාව ඉටු කරන්න ඒ ගැහැනියට යකඩ හිතක් තියෙන්නම ඕනා.

මුළු ලෝකයක්ම ඇයට එරෙහි වෙන්න පුළුවන්. ඒත් ස්වාමියා ඇය කෙරෙහි විශ්වාසය තැබීමත් බිරිද ඒ විශ්වාසය රැකීමත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනී.

ඒත් මේ දුරස්ව ඉන්න සැමියාගෙයි බිරිදගෙයි සම්බන්ධතාවය බිද දමන්නට හීන දකින්නන්ද නැත්තේම නොවේ.  එවැනි සමීපතමයන් කිහිපදෙනක් අප අතර වේ.

1. සැමියාගේ සමීප නෑදෑයන්

සැමියාගේ බොහෝ නැදෑයින් ඔහුගේ බිරිද දියණියක ලෙස නොව ලේලීයක ලෙස පමණක් දකී. සියලු බර උසුලා සිටින ඇයගේ වෑයම නොව ඇයට වරදින්නේ කුමක්දැයි බලා සිටියි.

මෙහිදී සැමියාට මහත් වු කාර්‍යභාරයක් ඇත. ඒ සිය නැදෑයින් මැද බිරිදගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. නැදෑයින් කියන දේ දෙස පමණක් බලා තීරණ නොගන්න. බුද්ධිමත් වෙන්න. විමසිලිමත් වෙන්න.

2. සැමියාගේ මිතුරන්

මිතුරා නැති නිවසේ අඩුව පුරවන්නට කැමති මිතුරන්ද නැත්තේම නොවේ.  එහෙත් වැරදුන කුරුමානම සහිත මිතුරන් අනිවාර්යයෙන්ම ඔබගේ බිරිද ගැන ඔබේ සිතේ වැරදි චිත්‍රයක් මැවීමට ඉඩ ඇත.

සැමියා   තමන් නැති නිවස කිසිවිට මිතුරන්ට තෝතැන්නක් කල යුතු නැත. තමන් නැති නිවසේ වගකීම් මිතුරන්ට පවරන්න එපා. ඔබ මිතුරන් ආශ්‍රය කරන්න. ඔවුන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගන්න . ඒත් ඔබේ නිවසට අනවශ්‍ය ලෙස ලං කරන්න එපා.

3. අසල්වාසීන්

බොහෝ මිනිසුන්ට අනෙක් අයගේ සාර්ථකත්වය ඉවසා සිටිය නොහැකිය. ඔබ අසීරුවෙන් උපයනා මුදල් ඔබේ බිරිද සකසුරුවම් කමින් මනාව හසුරුවද්දී ඔවුන් අනිවාර්යයෙන්ම ඔබගේ සබදතාවය බිද දැමීමට උත්සහ කල හැකිය.

අපි පෙරදීද පැවසු පරිදි  සැමියා මෙහිදීද බුද්ධිමත් විය යුතුය. විමසිලිමත් විය යුතුය. ඔබට ලැබෙන නාන්නාදුනා ලිපි, කැලෑපත්තර, දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ පිලිබඳ පිළිගත හැකි සාක්ෂි හමුවෙන තුරු කලබල නොවන්න. ඒ දේවල් පිලිබඳ නිකරුනේ ඔබේ බිරිද සැක නොකරන්න. ඇයව මානසිකව නොතලන්න.

සැමියා දුරබැහැර සිටියදී වරදේ බැදෙන ගැහැනුන්ද නැත්තේ නොවේ. ඒත් සියලුම ගැහැණු එසේ නොවේ. ඒ බව හොදින් මතක තියාගන්න.

ඇත්තෙන්ම මගේ ජීවත පොතේ මෙවැනි අත්දැකීම් නොලැබුවද මගේ පියා ඈත යුධ බිමේ සිටියදී අම්මා නැමැති යකඩ ගැහැනිය වසර විසිදෙකක් පුරා කල මහත් මෙහෙවරට මාත් සාක්ෂි වෙමි. ඇයට රැයක් දවාලක් නොවුවාය. කිසිවෙකුගේ උපකාර නොමැතිව  දියණියන් තිදෙනෙකුගේ බර සිය උර මතට ගත් ඕ පියා උපයා එවන මුදල් මනාව හසුරවමින් අපිට මනා අධ්‍යාපනයක් මෙන්ම ඉහල ජීවන තත්වයක් ලගා කර දුන්නාය. ඒ දිරිය ගැහැනිය තුලින් මම නිවසේ තනි වු ගැහැනියකගේ සැබෑ තත්වය මා දුටුවෙමි.

සමහර විට ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති, අපිත් සමග ඒවා බෙදාගන්න . එන්න අපි ඒ දිරිය ගැහැනුන්ට ජීවිතයට මුහුණ දෙන්න ශක්තියක් වෙමු.