අලුත උපන් බිලිඳා වෙනුවෙන් ඉටු කල යුතු මූලික හෙළ සිරිත් විරිත් හා චාරිත්‍ර

අලුත උපන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් මූලික චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීම දරුවාගේ අනාගතය ආලෝකමත් කිරීමට තුඩු දෙන අතර අපගේ  යුතුකමක් හා වගකීමක්ද වනවා.

බිළිඳෙකු මෙලොවට උපන් මොහොතේ පටන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් වටිනා සිරිත් විරිත් හා චාරිත්‍ර කිහිපයක් අප සිංහල බෞද්ධ ජනසමාජය තුල ඉටු වනවා. ලොවටම මිණි පහනක් වන දරුවකු ලොව එලිය දකින මොහොත පදනම් කරගෙන, ජ්‍යෙතිෂයට  අනුව දරුවාගේ ජන්ම පත්‍රය සැදීම මුලින්ම සිදු කෙරෙනවා. මෙයට අනතුරුව එම ජන්ම පත්‍රය හා සිංහල සංස්කෘතිය අලලා සිදු කෙරෙන දරුවාගේ මුල් අවුරුදු තුන ඇතුලත මූලික චාරිත්‍ර 8ක් සිදු කෙරෙන අතර මින් 6ක් අනිවාර්යයෙන්ම සිදු කල යුතු වනවා.

මේ සටහන සුභ නැකතින් සිදු කෙරෙන එම මූලික සිංහල චාරිත්‍ර අට ගැන ඔබව දැනුවත් කිරීමකි.

1. දරුවාට නම් තැබීම

දෛවඥයන්ගේ උදව් ඇතිව දරුවා උපන් වෙලාව සහ දිනය අනුව දරුවට නම තිබියුතු අක්ෂර කීපයක් සඳහන් කරනු ලැබෙනවා.  මෙම අක්ෂර (ඝන පිහිටුවා) දෙනු ලබන නිසා මෙම අක්ෂර වලින් පටන් ගන්නා නම් දැමීමෙන් තම දරුවාට සුභ ඵල ලබා දෙන බවට විශ්වාස කෙරෙනවා.  මෙහිදී ලස්සන, අරුත්බර නමක් තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙනවා.

2. රන්කිරි කට ගෑම

අලුත උපන් දරුවාගේ මුවේ පළමු වරට මව්කිරි ගෑම රන්කිරි කටගෑමයි. දරුවාගේ මවගේ කිරි සවල්පයක් හා බැලතණකොළ කීපයක් භාජනයකට දමා රන් අභරණයක් හෝ රන් කෑල්ලක් එහි ගාවා නිරෝගී නෑයෙකු විසින් එම කිරි බිඳ දරුවාගේ මුඛයේ තවරනු ලබනවා. එම කිරිවලට රන් මිශ්‍රකිරීම නිසා “රන්කිරි” යැයි කියනු ලැබෙනවා..

3. හිරු දැක්‌වීම

මෙහිදී හිරු දැක්‌වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මොළොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්‌ථාවයි.

4. ආගමික ස්‌ථානයක්‌ වෙත දරුවා කැඳවාගෙන යාම

අලුත උපන් දරුවා වෙන කිසි තැනක යාමට මත්තෙන් ආගමික ස්ථානයකට ගෙන යාම සිදු වනවා. මෙය ආගමික ස්‌ථානයක්‌ වෙත දරුවා කැඳවාගෙන යාමේ මංගල්‍යයයි.

5. හිසකෙස්‌ කැපීම

මුල්ම වරට දරුවාගේ හිසකෙස් කැපීම ද දරුවාගේ මුල් මාස කිහිපයේ තවත් වැදගත් සංදිස්ථානයක්. මේ සඳහා පන්සලේ හාමුදුරුවන්ට කල්තියා ආරාධනා කොට අදාළ දිනයේදී දරුවාගේ දෙමාපියන් තවත් නෑදෑයන් කීපදෙනෙක් ද සමග විහාරස්ථානයට යනු ලබනවා. පසුව පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනාකොට සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ සුභ නැකතින් ස්වාමීන් වහන්සේ දරුවාගේ කෙස් රොදක් කපාදමනවා. එය නොපෑගෙන තැනකට හෝ ගලා යන ජලයට දමනු ලබයනවා.

6. ගැහැනු දරුවන්ගේ කන් විදීම

දරුවාට මාස 06, 07 හෝ 08 ක් පමණ වනවිට කණ විදීම කරනු ලබනවා. පුරාණ කාලයේ මහත් උත්සවශ්‍රීයෙන් සිදු කලත් අද කාලයේ පළපුරුදු වෛද්‍යවරයකු ලවා මෙය සිදු කරගන්නට පුළුවන්. බොහෝ විට කරබුවෙන්ම මෙම විදීම සිදු කරන අතර කණ විදීමෙන් පසු කර්ණාභරණ පළඳවන තුරු කන් පෙති සිදුරේ කරපිංච නැට්ටක් හෝ කරාබු මලෙහි සිහින් නැට්ටක් රඳවනු ලබයනවා.

7. දරුවාට ඉඳුල් කට ගෑම

ඉඳුල් කටගෑම යනු දරුවාට මුල් වරට ඝන ආහාර දීම ආරම්භ කරන අවස්‌ථාවයි. මෙය සුභ නැකතින් සිදු කෙරෙනවා. දරුවාට ඉඳුල් කට ගාන්නේ කවර වයසකින්දැයි බොහෝ දෙනකු නොදන්නා බව පෙනේ. පිරිමි දරුවන්ට වයස 6, 8, 10, ආදී ඉරැට්‌ටේ මාසයකින්ද ගැහැණු දරුවන්ට වයස මාස 7, 9, 11 ආදී ඔත්තේ මාසයකින්ද ඉඳුල් කටගෑම යහපත් බව කියා තිබෙනවා.

ඉඳුල් කට ගෑමට බත්, කිරිබත්, ව්‍යංජන, රසකැවිලි, ක්‍රීඩා භාණ්‌ඩ පොත් පත්, රං රිදී, මුදල් ආදියද දරුවා හිඳුවාගන්නා ස්ථානය වටේට අලංකාරව ලෙස සකසා ගැනෙනවා. මේ සඳහා ගෙයි සාලයේ මැද බිම ඇතිරිල්ලක්‌ දමා සකස්‌කර ගනු ලබනවා. සාලයේ මැද දරුවා පියාගේ ඇකයේ හිඳුවා  නැකතට පළමු බත් පිඩ දරුවාගේ මව විසින් කැවිය යුතු වනවා. ඉන්පසු දරුවාට කැමති දෙයක්‌ ගන්නට ඉඩ දිය යුතුය. මෙම චාරිත්‍රය දරුවාට ප්‍රසන්න එකක්‌ විය යුතු වේ.

8. අකුරු කියවීම 

ජ්‍යෙතිෂයට  අනුව දරුවට අවුරුදු 3ක් ලැබීමට මත්තෙන් අකුරු කියවීම සිදු කෙරෙනවා. ඉතා වැදගත් චාරිත්‍රයක් වන මෙය, මුලින්ම දෙවියන් සිහිකිරීමෙන් අනතුරුව සිදු කරනු ලබනවා. පෙර කාලයේ ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා වැනි උගත් පිළිගත් කෙනෙකු අතින් මෙය සිදු කෙරුණත් නූතන කාලයේ දරුවාගේ අභිවෘද්ධිය නීති පතන දරුවාගේ මව හෝ පියා විසින් මෙය සිදු කෙරෙනු ලබනවා.

අලුත උපන් දරුවාගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් ඉහත සඳහන් චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීම දරුවාගේ අනාගතය ආලෝකමත් කිරීමට තුඩු දෙන අතර එය සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් දෙමාපිය අපගේ  යුතුකමක් හා වගකීමක්ද වනවා.

මුලාශ්‍රය දිවයින පුවත්පතින්