දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද?

lead image

දරුවා කුමන වයසේ සිටියත් භාෂාවන් වැඩි ගණනක් ඉගැන්වීම දැන්ම පටන් ගත හැකියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 2-3 අතර කාලයේදි දරුවන්ගේ වචන මාලාව බොහොම ඉක්මණින් වැඩෙනවා.

පුංචි දරුවන්ට පහසුවෙන්ම භාෂාවන් වැඩි ගණනක් ඉගෙනගැනීමේ කුසලතාවක් තිබෙනවා. මේ ගැන වඩාත් දැනුවත් වීමෙන් දරුවා නොයෙක් භාෂා වලට නිවැරදිව යොමු කිරීමට අවශ්‍ය දැනුම දෙමාපියන්ට ලැබෙනවා. මේ වටිනා දැනුවත් කිරීම ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන පබෝදනී තෙන්නකෝන් මහත්මිය විසින් සමුහය සමඟ බෙදාගත් ලිපියක් තුලිනි. පසුගියදා දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මත ලිපිය තුළින් අප දැනුවත් කල ඇය අදත් ගෙන එන්නේ භාෂා එකකට වඩා කතා කිරීම සම්බන්ධයෙන් වටිනා අදහස් කිහිපයක්. 

දරුවාට ද්විභාෂා හෝ බහුභාෂා නොහොත් භාෂාවන් කිහිපයක් එකවර ඉගැන්වීම

අද අපේ මව්වරුන්ට තියෙන එක් ගැටළුවක් තමයි, දරුවන්ට බහුභාෂාවන් උගන්වන්නේ කොහොමද කියන කාරණාව. දරුවෙකුට එක භාෂාවකට වැඩි ගණනක් කථා කරන්න පුළුවන් වීමේ යහපත් ප්‍රතිඵල ගැන අමුතුවෙන් කථා කිරීම අවශ්‍ය වන්නේ නෑ. අද ලෝකය තුළ භාෂාවන් වැඩි ප්‍රමාණයක් කථා කිරීමම දරුවාට පුළුල් ඉඩ ප්‍රස්තාවල් විවෘත වෙන්නක් වෙලා තිබෙනවා.

ඇත්තටම භාෂා දෙකක් හෝ කිහිපයක් ඉගැන්වීම සම්බන්ධව නිශ්චිත මාර්ග කිහිපයක් නැහැ. ඒ සඳහා විවිධ දේ කළ හැකියි. අද මම කථා කරන්න උත්සහ කරන්නෙ මුල සිටම දරුවා ද්විභාෂික හෝ ත්‍රෛභාෂික කළ හැකි ආකාර කිහිපයක් ගැන.

නමුත් පළමුවෙන්ම මෙවන් දරුවෙක් තැනීමට පෙර, දෙමාපියන් වන අප දැනගත යුතු භාෂා ඉගෙනීමේ සංකල්ප 5 ක් කෙරෙහි අවධානය යොමු කරමු.

1. Comprehensible language – තේරුම් ගත හැකි භාෂාව

දරුවන් භාෂාව ඉගෙන ගන්නේ එය තේරුම් ගත හැකි පරිසරයක් තුළ පමණයි. දෘශ්‍යමය දේ මෙහිදී ඉතා වැදගත්. පින්තූර, මුහුණේ ඉරියව්, වස්තූන් මෙයට උදාහරණ. කථාන්දර පොත් මෙහිදී ඉතාම වැදගත්. එහිදී කථාව පවසන්නේ චිත්‍රහෝ රූප භාවිතයෙන් වීම එයට හේතුවක් වෙනවා. මේ සම්බන්ධව අපි කළ යුතු වන්නේ දරුවා කරන සෑම දේම ඒ භාෂාවෙන් විස්තර කිරීම. හැකි සෑම විටම භාෂාව අත්දැකීම් සමග මිශ්‍ර කිරීම වැදගත්.

2. Natural language – ස්වභාවික භාෂාව

භාෂාවක් යනු වචන මාලාවක් පමණක් නොවේ. එය කිසියම් සංකීර්ණ පද්ධතියක්. එහි විවිධ කොටස් සහ සම්බන්ධක ගණනාවක් පවතිනවා. එනිසා වචන පමණක් ඉගැන්වීමෙන් භාෂාව උගත හැකි වන්නේ නැහැ. ඔබ කළ යුතු වන්නේ සම්පූර්ණ වාක්‍ය කථා කිරීමක් දරුවාට ඇසෙන්නට සැලැස්වීම. පොත් කියවීම නැවතත් මෙහිදී ප්‍රධාන වෙනවා. වචන ඉගැන්වීම ඉතා වැදගත්, එහෙත් එය යොදන අයුරු ඉගෙනීම වඩාත් වැදගත්.

3. Relevant, meaningful language – අදාළ, අර්ථාන්විත භාෂාව

භාෂාවක් ඉගෙනීමට දරුවන් සත්‍ය සන්නිවේදනයේ යෙදිය යුතුයි. එය අදාළ ස්ථානවල තේරුමක් සහිතව භාවිත කිරීමට ඉගැන්විය යුතුයි.

4. Level of language – භාෂා මට්ටම

දරුවාගේ භාෂාවේ මට්ටම පිළිබඳව ඔබට අවබෝධයෙන් සිටිය යුතුයි. වයස අනූව හ පරිසරය අනූව එය වෙනස් වෙනවා.

5. Exposure to language – භාෂාවට නිරාවරණය වීම

භාෂාවක් ඉගෙනීම ඉතා දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. එයට නිරාවරණය වීම හා නිරන්තරව ඒ හා ගැටීම ඉතා වැදගත්. දෙමාපියන් ලෙස ඔබ කළ යුතු වන්නේ ඉගැන්වීමට අවශ්‍ය භාෂාවට හැකි පමණ දරුවා නිරාවරණය කිරීම.

ද්විභාෂා හෝ බහුභාෂා සංකල්පයන් ගැන අවධානය යොමු කරමින්ම අපි දරුවාට ඉගැන්විය යුත්තේ කෙසේද?

දැන්ම ආරම්භ කරන්න:-

වඩාත්ම වැදගත් වන්නේ මේ මොහොතේ සිට ආරම්භ කිරීම. දරුවා කුමන වයසේ සිටියත් දැන් සිටම පටන් ගැනීමයි නුවණට හුරු. සාමාන්‍යයෙන් පිළිගැනෙන ආකාරයට වයස අවුරුදු 2-3 අතර කාලයේදි දරුවන්ගේ වචන මාලාව බොහොම ඉක්මණින් වැඩෙනවා. ඒ වගේම උපතෙ ඉඳලම එයාලා කථන රටාවන්වල වෙනස්කම් හඳුනා ගන්නවා. මෙහිදි රූපවාහිනියටත් යමක් කළ හැකියි. අන්තර්ජාලයටත් යමක් කළ හැකියි. දරුවාට නිවාස පරිසරයෙදි අඩුවෙන් ඇසෙන භාෂාව භාවිතා වෙන රූපවාහිනි වැඩසටහන් හෝ යූටියුබ් වගේ මාධ්‍යයන්ට සීමාවක් සහිතව දරුවාට අවකාශය ලබාදීම වැදගත් වෙනවා. නමුත් දෙමාපියන් විසින් ඉතා අවධානාත්මකව මෙහි සීමාවන් ඇති කරගත යුතුයි.

ඒ වගේම ඔවුන්ට ඇසෙන සේ පොත් කියවීමද ඉතාමත්ම වැදගත්. ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඔබට ඉගැන්වීමට අවශ්‍ය භාෂාවෙන් ලියවී ඇති පොත් කියවීමෙන් ඔවුන් වාක්‍ය රටා ඉගෙන ගන්නවා. ඒ භාෂාවෙන් නිර්මාණය වී ඇති ගීත ඇසීමට සැලැස්වීමද වැදගත් වෙනවා. ගීත අසා ඔවුන් සමග ගායනා කිරීමේදී දෙමව්පියන් සැලකිලිමත් විය යුතු දේ කිහිපයක් තිබෙනවා. ඉන් එකක් වෙන්නෙ දෙමාපියන් නිවැරදි විදියට වචන උච්චාරණය කිරීම. ගීතය නිවැරදිව අසා එයට අදාළ තේරුමද දැනගැනීම වැදගත් වෙනවා.

ඉගෙනුම් වටපිටාවක් නිර්මාණය කරන්න:-

විවිධ පර්යේෂණයන්ගෙන් සොයාගෙන තිබෙන ආකාරයට යම් භාෂාවක් චතුරව කථා කරනු ඇසීමට සැලැස්වීමෙන් දරුවා එය නිසි ආකාරව ඉගෙන ගන්නවා. විවිධ සංවාදයන්ට නිරාවරණය වීමෙන් වඩා ස්වභාවිකව නිවැරදිව උච්චාරණ විධීන් ඉගෙන ගැනීමට හැකියාව සැලසෙනවා. අවුරුදු 2- 3 අතර දරුවන් සැම විටම අනුකරණය කිරීමට කැමැත්තක් දක්වන බැවින් ඔවුන්ට නිවැරදි භාෂාව ඉගෙන ගන්න එයින් හැකියාව ලැබෙනවා. වෙනත් භාෂාවකින් කථා කරන රැකබලා ගන්නෙකු සමග සිටියහොත් දරුවා ඉතා ඉක්මණින් ඒ භාෂාවේ කෙටි යෙදුම් කෙටි වාක්‍ය කථා කරන්න පටන් ගනීවි. භාෂාවන් කිහිපයක් කථා කරන අසල්වැසියන් සිටිනවා නම් දරුවාට තවත් යහපත්. හැකියාවක් තිබෙන හැම විටකම සාමාන්‍ය ලෙස අදාළ භාෂාව කථා කරන ස්ථානවලට දරුවා රැගෙන යාමත් වැදගත්.

වරකට වචනය බැගින් උගන්වන්න:-

යමක් පෙන්වා භාෂා දෙක තුළ එයට අදාළ වචන දෙකම කීමෙන් දරුවා එය ඉගෙන ගන්නවා. යමකට නම් දෙකක් තිබෙන බව දරුවා ඉගෙන ගනීවි. මේ හේතුව නිසා එක භාෂාවකින් යමකට කියන වචනයක් ඉගෙන ගත්තාට පසුව අනිත් වචනය මොකක්ද කියා සොයා බැලීමට දරුවා පෙළඹෙනවා. මෙය මම ඉතාම මැනවින් අත්විඳි දෙයක්.

නිරන්තරව භාවිතා කරන්න:-

ඕනෑම භාෂාවක් ඉගෙනීමේදී දරුවාට දිනකට කෙතරම් ප්‍රමාණයක් එම භාෂාව ඇසෙන්නේද යන්න ඉතා වැදගත් වෙනවා. කලාතුරකින් භාවිතා කරන භාෂාවක් දරුවා පහසුවෙන් ග්‍රහණය කරගත හැකිය යැයි සිතිය නොහැකියි.

සෑම විටම දරුවාගේ ප්‍රගතිය අගයන්න, සාධාරණ බලාපොරොත්තු සහිතව සිටින්න

එක් රැයකින් දෙකකින් දරුවා ඉතා චතුරව භාෂාව කථා කරාවි යැයි බලාපොරොත්තු වීම නිෂ්ඵලයි. පළමුව ඔහු හෝ ඇය භාෂාව තේරුම් ගැනීමට ඉගෙන ගන්නවා. එය ඉතා වැදගත්. තේරුම් ගැනීමෙන් පසුව දරුවා ටිකෙන් ටික භාෂාව කථා කරාවි. තේරුම් ගැනීමට හැකියාව ලැබීමෙන් ඔවුන්ට ඉක්මණින් ඒ භාෂාවේ වචන හා වාක්‍ය ඉගෙන ගැනීමට මග පෑදෙනවා.

මේ ඉගැන්වීම සිදු කිරීමේදී පහත ක්‍රම කිහිපයකින් එකක් හෝ සියල්ල අත්හදා බැලීමටත් හැකියි.

  • One Person One Language (OPOL) එක් පුද්ගලයෙක් එක් භාෂාවක් ක්‍රමය

එක් පුද්ගලයෙක් එක් භාෂාවක්, කියන මේ ක්‍රමයෙදි අම්මට හරි තාත්තට හරි පුළුවන් එක් එක් භාෂාවන් කථා කරන්න. අම්මා සිංහලෙන්/ දෙමළෙන් කථා කරනවා නම් තාත්තට පුළුවන් ඉංග්‍රීසියෙන් කථා කරන්න. මෙහිදි දරුවා උත්සහ කරනවා ඒ ඒ පුද්ගලයා සමග එයාට අදාළ භාෂාවෙන් කථා කරන්න. ඒ වගේම මේ ක්‍රමයෙදි භාෂාව මිශ්‍ර වීමක් සිදු වෙන්නෙත් නැහැ.

  • Time and Place (T&P) වේලාව හා ස්ථානය සම්බන්ධ ක්‍රමය

මේ ක්‍රමයත් ඉතාම සාර්ථකව ඇති බව පැවසෙනවා. මෙහිදි කෙරෙන්නේ, උදය වරුවේදී හැම දෙනාම එකම භාෂාවක් කථා කිරීම හා සවස් වරුවෙදි අනෙක් භාෂාව කථා කිරීම. ඒ වගේම ස්ථානයත් භාවිත කරන්න පුළුවන්. ගෙදරදි සිංහල හෝ දෙමළ භාෂාවත් ගෙදරින් පිටතට යනවිට ඉංග්‍රීසි භාෂාව කථා කරන්නත් පුළුවන්. දරුවන් මෙයත් ඉක්මණින් ඉගෙන ගන්නවා.

  • Mixed Language Policy (MLP) මිශ්‍ර භාෂා භාවිතය

මෙහිදී සමහර කරුණු සාකච්ඡා කරන්න ඉංග්‍රීසි භාෂාවත් අනික් දේ කථා කරන්න වෙනත් භාෂාවකුත් භාවිතා කරන්න පුළුවන්. දරුවා මෙහිදී තමන්ගෙ භාෂාව තීරණය කරගන්නවා. අපි සිතනවාටත් වඩා හොඳින් ඔවුන් භාෂා දෙකක හෝ තුනක වෙනස හඳුනාගන්නවා.

දරුවා එක භාෂාවකට වැඩි ප්‍රමාණයක් (බහුභාෂා) ඉගෙනීමේදී අපි අපේක්ෂා කළ යුතු වන්නේ මොනවාද?

එක් භාෂාවක් පමණක් කථා කරන පරිසරයක් තුළ භාෂා දෙකක් කථා කරන දරුවෙක් අනිවාර්යයෙන් විශේෂයක් බවට පත්වෙනවා. භාෂා දෙකක් ඉගෙනීමෙන් කථනය ප්‍රමාද වන බවට වන මතය මිථ්‍යාවක් බව මම ඉහත ලිපි කිහිපයකම සඳහන් කළා. නමුත් භාෂා දෙකක් ඉගෙන ගැනීමේදී සිදු විය හැකි දේ කිහිපයක් තිබෙනවා. දරුවන් භාෂාවන් ඉගෙන ගන්නේ එකිනෙකාට වෙනස් වේගයන්ගෙන්. එක්  දරුවෙක් ඉතා ඉක්මණින් භාෂාවන් කථා කළාට තවත් කෙනෙකුට එයට යම් කාලයක් ගත විය හැකියි.

  • භාෂා දෙකක් ඉගෙනීමෙන් කථනයේ සැලකිය යුතු පමාවක් සිදුවෙන්නේ නෑ. පමා වුවත් ඔවුන් භාෂා දෙකින්ම හෝ තුනෙන්ම කථා කිරීමට පටන් ගැනීම ඉතාම යහපත් තත්ත්වයක්.
  • භාෂා කිහිපයක් ඉගෙනීමේදී දරුවා සමහර විට භාෂා දෙකේම වචන මිශ්‍ර කළ හැකියි. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. බිය විය යුතු යමක් නොවේ. ඔවුන් ඉක්මනින්ම භාෂා දෙක වෙන් කරගනීවි.
  • සමහර විටෙක දෙවන භාෂාව හඳුන්වා දීමෙන් පසු දරුවාගේ කථාව මඳක් අඩු විය හැකියි. ඒත් මේ තත්ත්වය ඉක්මණින් මග හැරී යනවා.

දරුවාට සන්නිවේදනය අපහසු බව හැඟෙන විට කුමක් කළ යුතුද?

භාෂා දෙකම මිශ්‍ර කර කථා කරමින් තමන්ට අවශ්‍ය දේ පැවසීමට අපහසුතාවයක් පෙන්වන අවස්ථාවලදි දරුවාට ඉතාම පහසු භාෂාව කථා කර ඔහුගේ අදහස ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම වැදගත් වෙනවා. ඔවුන් මේ තත්ත්වය ඉක්මණින් නිවැරදි කරගනීවි.

මෙම වටිනා දැනුම ශ්‍රී ලංකන් මම්ස් සමුහය තුළින් අප වෙත ගෙනා පබෝදනී තෙන්නකෝන්  මහත්මිය වෙත නැවතත් TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. රජයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කරන පබෝදනී මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියක් ලබාගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය හා සිංහල භාෂාව හා සාහිත්‍යයද විෂයන් ලෙස හදාරා ඇත. ජත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇති ඇය කොළඹ නගරයේ වෙසෙන දෙදරු මවකි.