මගේ දරුවා කෑමට හරි හොරයි. නමුත් මට එය ගානක් නැත්තේ මේ නිසයි

lead image

වයස 1 සිට 3 දක්වා දරුවන් අහාර ගැනීමේදී ඔවුන්ගේ කුස පිරුණු විට ඔවුනට එය දැනෙන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ නිසා කුස පිරුණු විට ඔවුන් අහාර ගැනීම නවත්වනවා.

පසුගිය සතිය වන තුරුම මා සිතුවේ එක්කෝ මගේ තට්ටේ පෑදේවි නැතිනම් මගේ නහරයක් පුපුරාවි කියායි. ඔබ හිතයි මට මහා ලොකු ප්‍රශ්නයක් ඇති කියා. තිබූ ලොකුම ප්‍රශ්ණය තමා මගේ දරුවා අහාර නොකන ප්‍රශ්නය. විහිළුවක් තමා, ඒත් ඇත්ත ඒකයි.

කෑමට හොර මගේ දරුවා 

මගේ දරුවා කවදත් කෑමට හොරයි. එයා නියමිත දිනට සති කිහිපයක් කලින් ඉපදෙනකොටත් බර යන්තම් කිලෝ 2.6යි. ළදරු බර ප්‍රස්ථාරයේ හැටියට දරුවාගේ බර තිබුනේ සියයට 5ක් අඩුවෙන්. ඔහුට මා දන්නා කාලයේ පටන් කෑමට විශේෂ රුචියක් තිබුනෙ නැහැ. ඔහුව මව් කිරි වලින් ඝන අහාර වලට මාරු කිරීමත් අමාරු කාරියක් වුනේ නැහැ මොකද ඔහු ඝන අහාර වලට ප්‍රියතාවක් දැක්වූ නිසා.

ඉතින් මාස කිහිපයකට පසු අපි එක් ආහාරයක් වෙනුවට  ඔහුට වේලකට අහාර වර්ග කිහිපයක් දුන්නා.  තත්වය තව ටිකක් අසීරු වන්නට ගත්තේ මෙතැන් සිටයි!

අහාර රුචියක් රහිත පොඩ්ඩෙක් හදා වඩා ගැනීමේදී ඇති වන අභියෝග

මගේ පොඩ්ඩා හොඳ ක්‍රියාශීලි කෙනෙක් වූවා. ඔහු මාස හයේදී පමණ බඩගාන්නට පටන් ගත විට ඔහුගේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් තිබුනා. මාස තුනේදී ඔහුට ඔලිම්පික් තරඟයට සුදුසු බඩගෑමේ වේගයක් තිබුනා.  

වයසට අනුකුල සන්ධිස්ථාන සියල්ලම ඔහු සාර්ථකව පසු  කල ඔහු ක්‍රියාශීලි, ආකර්ශනීය දරුවෙක්. ඔහුගේ බර වැඩි වුනේ නැහැ. ගැටලුවකට තිබුනේ එපමණයි.

යම් අහාරයක් දිනෙක සතුටින් රස වින්දත් නැවත දිනෙක ඔහු එම ආහාරයම  මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. හැමදාම කැමති ස්ට්‍රෝබෙරි සහ අලිගැටපේර වලට අමතරව වෙන කිසි දෙයක් කවා ගැනීම පහසු වුයේ නැහැ. නිවසේ සිට වැඩ කරන පියෙකු ලෙස මට මෙය මහත් පීඩනයක් ගෙන දුන්නා. දරුවාගේ මව නිවසේ සිටින  විට හොඳින් අහාර ගන්න ඔහු මව රාජකාරියට ගිය විට මා කවන කිසිවක් කෑවේ නැත්තේ මුරණ්ඩු ලෙසයි. මේ නිසා ඇතැම් විට ආසියාවේ බුෆේ සන්ග්රයකට වඩා අහාර ප්‍රමාණයක් එක් වේලකට අපි ඔහුට පිරිනැමුවේ  කුමක් හෝ කවා ගැනීමේ දුෂ්කර අරමුණින්.

අපට යම් අස්වැසිල්ලක් දෙමින් ඔහුගේ උස නිසි ලෙස වර්ධනය වුනා. නමුත් අපගේ හිතට වද දුන් ලොකුම ප්‍රශ්නය වූයේ ඔහුගේ බරයි. ඔහුගේ කෙසඟ බව නිසා අපි ලජ්ජාවට පත් වන අවස්ථාද නැතුවා නොවේ.

බිරිඳ කියා දුන් අභ්‍යාසය

ලැජ්ජාව යනු තර්කානුකුල හැඟීමක් නොවේ. එක් රාත්‍රියක පුතු නින්දට ගිය පසු මම මුල්ලකට වී නිහඬව හඬන්නට ගත්තේ පුදුමාකාර පරාජිත හැඟීමකින්. මාගේ භාර්යාව ගෙදර දොරේ කටයුතු සාර්ථකව ගෙන යාමට ඇගේ උපරිමයෙන් සහය දෙද්දී දරුවට කවාගන්නට නොහැකිව මට ඇති වුනේ පරාජිත හැඟීමක්, මට වගකීමක් දරාගන්නට බැරි නිකමෙක්දැයි මට සිතුනා. මේ දුටු මගේ බිරිය එක හෙලා කියා සිටියේ දරුවාගේ ප්‍රමාණවත් ලෙස ආහාර ගන්නා බවත් ඒ බව ඇය මට ඔප්පු කර පෙන්වන බවත්ය.

ඇය පුංචි පොතක් ගෙන මට කියා සිටියේ දරුවා එදා මුළු දවස පුරාම කෑමට හෝ බිමට ගන්නා සියලුම දේ එහි සටහන් කරන ලෙසය. මා මෙම ලැයිස්තුව ලියන්නට පටන් ගත් විට මටම හිතාගන්නට බැරි වුනා. දරුවාට අප දෙන කෑම ප්‍රිය නැති මුත් ඔහු කෑම නොකන කෙනෙක් නොවන බව මට ඒත්තු ගියේ අදහාගන්නට බැරි සොයාගැනිමකින්.

මමත් බිරිඳත් මා පිළියෙළ කල ලැයිස්තුව තව දුරටත් විශ්ලේෂණය කල විට අපට පෙනී ගියේ ඔහු විටින් විට අහාරයට ගත කෑම වල කැලරි ප්‍රමාණය අතින් ගත කල දරුවාට අවශ්‍ය කැලරි ප්‍රමාණයද අඩුවක් නැතිව ලැබී ඇති බවයි. සිදු වී නැති එකම දේ නම් අපේ උවමනාව පරිදි, එක තැනක වාඩි වී අප පිළියෙළ කරන මුලික අහාර අපට ඕනෑ පිළිවෙලට දරුවා අහාරයට නොගැනීම පමණයි.

දරුවාට අහාර කැවීම සඳහා පිළියෙළ කළ නව සැලැස්ම

 පසුවදා අපි තීරණයකට එළඹුනා. දරුවා එක තැන ඉන්දවා කවිම වෙනුවට ඔහු කන්නට කැමති කොතැන හිඳන්ද, කොයි ආකාරයටද යන්න දරුවාගෙන්ම අසා දැනගන්නට අපි හිතුවා. ඒ අනුව දරුවා කැමති වුයේ බොහෝ දරුවන් කැමති පරිදි අපේ ඔඩොක්කුව මත හිඳ කෑමටයි. එයද කෑම ටිකක් කෑ පසු එය පසෙක ලා සෙල්ලම් කරන්නට යන්න තමා කැමති වුනේ. මෙහිදී පුදුමාකාර දෙයක් සිදු වුනා. සෙල්ලම් කරන්නට ගිය දරුවා මොහොතින් මොහොතට ඊළඟ කෑම කට කන්නට මා දෙස එන්නට පටන් ගත්තා. එසේ නාව විට අපි ඔහුට වතුර උගුරක් දුන්නා. එය බී ඔහු නැවත කන්නට පටන් ගත්තා. නැති නම් කෑම නැවැත්වුවා.

මෙය සුපිරි සැලැස්මක් වුයේ ඇයි?

මගේ දරුවාගේ මේ එහෙ මෙහෙ යමින් අහාර ගැනීම හොඳ සිරිතක් නොවන්නට පුළුවන්. නමුත් මට ඇත්තෙන්ම මෙය ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තුළින් අප දරුවාගේ මෙය කිරීමෙන් අපි දරුවාගේ කුසගින්න පෙරහන් කිරීමේ ක්‍රමය රැක ගන්නවා.  මෙය මා පොතක කියවා තිබු දරුවන් හදා වඩා ගන්නට උපයෝගී කරන ප්‍රංශ ක්‍රමවේදයක්.  මෙහි දෙන වැදගත් පණිවුඩයක් වන්නේ වයස 1 සිට 3 දක්වා දරුවන් අහාර ගැනීමේදී ඔවුන්ගේ කුස පිරුණු විට ඔවුනට එය දැනෙන යාන්ත්‍රණයක් තිබෙනවා. මේ නිසා කුස පිරුණු විට ඔවුන් අහාර ගැනීම නවත්වනවා. අප ඔවුනට බලෙන් කෑම කැවීමෙන් අප ඔවුන් තුල ඇති මෙම යාන්ත්‍රණය අඩපන කරනවා. මෙය පසු කාලීනව දරුවන්ගේ ස්ථුලතාවයට හේතුවන අතර වෛද්‍ය අනුමැතියක් නැතිව ඔවුන්ට බල කර කැවීම ඉතා හානිදායක වනවා.

කෑම කන්නට හොර දරුවන් සිටී නම් ඔබ කළ යුතු දේවල්

1. දරුවා දිනකට කන කෑම බිම ලැයිස්තුව සටහන් කරන පොතක් පිළියෙළ කරගන්න.

2. දරුවාගේ සිත ඇදගන්නා ක්‍රමයට සුවඳ, අලංකාරය මෙන්ම රස වැඩි කර හදාගත් කෑම පිළිගන්වන්න.

3. දරුවාගේ ප්‍රියතම අහාර සටහන් කරගන්න. (දරුවාට ළමා කෑම අප්‍රියජනක වන්නට පුළුවන්. ඇතැම් දරුවන් වැඩිහිටි ආහාර වලට වඩාත් ඇලුම් කරනවා. එවිට දරුවාට වැඩිහිටි ආහාර පිළියෙළ කර දිය හැකියි.)

4. කලින්ම ඝන අහාර වලට යොමු කරන්න.

කෑම පොඩිකර දීම සුදුසු වුවත් වැඩි කාලයක් කෑම පොඩි කර දීමෙන් පසු කාලීනව දරුවාව ඝන අහාර වලට යොමු කිරීම අභියෝගයක් වනවා.කලින්ම දරුවා ඝන ආහාර වලට යොමු කිරීම ඔබටත් දරුවාටත් පහසුවක් වනවා.

5. දරුවාගේ කෑමත් වැඩිහිටි අහාර මෙන් රස ගන්වන්න. සුදු ලුණු, ළුණු තුනපහ වැනි කළමනා යොදා දරුවාගේ කෑම වෙලත් රසවත්ව සකස් කිරීම දරුවටත්, දෙමාපියන්ටත් පහසු වන අතර දරුවාට අසාවෙන් ආහාර ගැනීමට රුකුලක්ද වනවා.

6. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නට දෙන්න. ඇතැම් විට පිපාසය නිසා දරුවා ආහාර ගැනීම නවත්වනවා. වයස අනුව දරුවාට ප්‍රමාණවත් ජල ප්‍රමාණය ගැන සොයා බලා සුදුසු පරිදි විටින් විට දරුවාට වතුර පොවාගත් හැකියි.

ආදර දෙමාපියනි, දරුවන් කිසි විටකත් හාමතේ නොසිටින බව ඔබ තේරුම් ගත යුතුයි. දරුවාගේ ක්‍රියාකාරකම් සියල්ල සාමාන්‍ය නම්, සුපුරුදු ආකාරයට වර්ධනය සිදු වනවා නම් ඔබ තැති ගන්නට කිසිම හේතුවක් නැහැ. දරුවා අහාර ගැනීම විශාල මානසික වදයක් නම් ඔබේ වෛද්‍යවරයා හමු වී සාකච්චා කරන්නටත් පුළුවන්.   

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා