මගේ දියණිය ස්වාධීන, නිර්භීත ශක්තිමත් මෙන්ම යහපත් සිරිකතක් කිරීම මගේ පැතුමයි

lead image

දිරියෙන් හා ශක්තියෙන් පිරිපුන් දියණියක් ලොවට දායාද කරන්නට පටත් පුළුවන්.

මා මෙන්ම දියණියන් සිටින සැම මාපිය යුවලකගේම පැතුම මෙය බව අතිශයෝක්තියක් නොවේ. බොහෝ අය සිතන්නේ මෙය සිහිනයක් පමණක් බවයි. එහෙත් සුන්දර නමුත් අයෝමය දියණියක් වන්නට ඔබේ දියණිය හුරු කරන්නට ඇත්තෙන්ම ඔබට පුළුවන්. ඒ වගේම මෙය ඉතාම පහසු කාර්යයක්. ටිකක් හෝ අපහසු දේකට ඇත්තේ අප ගතානුගතික අදහස් වලින් මදක් මිදීමට සිදු වීමයි.

ඉතින් ඔබේ දියණියත් ස්වාධීන, නිර්භීත,  ශක්තිමත් මෙන්ම යහපත් කෙනෙක් කරන්නේ කෙසේදැයි බලමු.

  1. කුඩා කල පටන්ම ස්වාධීනව කටයුතු කිරීමට දියණිය හුරු කිරීම

දරුවා පොචි දවස් වල සිටම, ඒ කියන්නෙ වයස අවුරුද්ද ලබන්නට කිට්ටුව ඉඳන්ම ඇයට ස්වාධීන වන්නට හුරු කරන්නට පුළුවන්. තමාගේම ඇඳුම් අන්ද ගැනීම, තනිව ආහාර ගැනීම ආදී දේවල් දරුවාට තනියෙන් කිරීමට හුරු කිරීමෙන් දරුවාට පවා ආහාර ගැනීම වැනි දේ විනෝදජනක වනවා.

මා දන්නා බොහෝ මවුවරුන් දරුවන් පුංචි වැඩියි, දරුවා ගේ හැඩි කරනවා, කාලය නාස්ති වනවා වැනි නොයෙක් දේ කියා දරුවාට වසර කිහිපයක් යන තුරුම කවනවා. මා දන්නා ඇතැම් වැඩිහිටි දරුවන් පවා පසු කාලීනව තනිව ආහාර ගැනීමට හුරු කිරීම බොහෝ අපහසු වනවා. නමුත් කුඩා කල පටන් මේ දේවල් තනිව කිරීමට හුරු කිරීමෙන් ඔබට අත් ප්‍රතිපල බොහොමයි. මේ කියන්නේ අත් දැකීමෙන්. උදාහරණයක් හැටියට පත්තර කොළ ටිකක් එලා බත් පුංචි දීසියක දමා දී පුංචි දුවට අහාර ගන්න උනන්න්දු කල හැකියි.  

  1. කුඩා කල සිටම ගේදොර වැඩට දියණිය හවුල් කර ගැනීම

දරුවන්ට පුංචි කාලෙම ලොකු වගකීම් දෙනකොට දැනෙන්නේ ලොකු සතුටක්. අපි කවුරුත් දන්නවනේ එයාල ලොකු ඇය අනුකරණය කරන ලස්සන. මම ඉස්සර රෙදි වේලෙන්න දාන වගකීම දුන්නේ මගේ පස් හැවිරිදු දුවට.

රෙදි ටිකක් පුංචි බාල්දියකට දාල දුන්නම ඒවා ගුලි ගසා දැම්මත් අප ඇයගේ ක්‍රියාව බොහෝ අගේ කළා. ඒ නිසා මේ කර්තවය ඇය ඉටු කලේ බොහොම අසාවෙන්. ඇයට වෙනම ප්ලාස්ටික් පිහියක් අප අරන් දී තිබුනේ ඉවුම් පිහුම් වලට අවශ්‍ය කළමනා කපා සකස් කිරීම ඇයට පහසු කිරීමටයි.

  1. නිතර අගය කිරීම

මේ මාතෘකාවේ වටිනාකම කියන්න වචන නෑ. බොහෝ විට අප රටේ මාපිය වරුන් හුරු වී ඉන්නේ වැඩි හරියක් විවේචනය කරන්න. දරුවා ගත ලකුණු වලට වඩා නොගත් ලකුණු කිහිපය ගැන ආන්දෝලනය කරන්න. කල දේට වඩා නොකළ දේ ගැන දොස් කියන්න. අද කාලයේ මේ ගති ගුණ වෙනස් කල යුතු වනවා.

අපේ මාපියන් අපව එලෙස විවේචනයෙන් හැදුවා නම්, එය දුකක් මිස සතුටක් නුදුන් බව අප දන්නවා. එම දුක අප දරුවන්ට නොදී ඔවුන්ගේ පුංචි පුංච් ප්‍රයත්නයන් හැම දේම අගය කරමු. ගෙදරට එන අමුත්තන් සමඟ පවා ඒ ගැන ගුණ කියමු. මෙයින් ඔබට ලැබෙන්නේ නිරතුරුවම සතුට කැටි කරගත් දියණියක්.

  1. ගෙදර දොරේ ප්‍රශ්ණ ඇත්නම් ඒවා විවෘත්තව කතා කිරීම

බොහෝ විට අප සුභදායි දේ පමණක් දරුවන් ඉදිරියේ කතා කරනවා. ආර්ථික ප්‍රශ්න හෝ වෙනත් මත ගැටුම් ඇයට දැනගන්නට ඉඩ තබන්නේ නැත්තේ බොහෝ සුභවාදී ප්‍රතිරූපයක් ඇය හට නිතර පෙන්වන්නයි. මෙය සාර්ථක වන්නේ නෑ. වසර 5ක් හෝ ඊට ටිකක් වැඩි වන විට නිවසේ ප්‍රශ්න ඇය ඉන්නා ඉසව්වේ කතා බැහැ කරන්නට මැලි වන්නට එපා.

එමෙන්ම නිවසේ කාරණා නිවස තුල පමණක් රැඳිය  යුතු බව නිතර පහදා දිය යුතයි. මෙසේ වැඩෙන දැරිය දෙමාපියන්ට සරිලන හෝ දැරිය හැකි සිමාවන් මොනවාදැයි හඳුනා ගන්නවා. දෙමාපියන්ගෙන් අනේක දේවල් ඉල්ලනවාට වඩා පවුලේ කණ්ඩායම් හවුල්කරුවකු (Team-player) බවට පත් වනවා. මෙය ඉතා සුන්දරයි.

  1. උවමනාවට වඩා දියණියගේ ප්‍රශ්න වලට මැදිහත් නොවීම

ඇතැම් විට අප දරුවන්ගේ ප්‍රශ්න වලට උවමනාවට වඩා මැදිහත් වනවා. ගුරුවරුන් ගැන නිතර හොයා බලමින් ඔවුන්ගේ අඩු ලුහුඬු කම් රපොර්තු කරන අතර සුදුසු ගුරුවරුන් සොයමින් දරුවා අත්තෙන් අත්තට මාරු කරනවා. මෙහිදී අප දරුවාව ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තිය ප්‍රගුණ කරනවා වෙනුවට ප්‍රශ්න වලින් පලා යාම නොදැනුවත්වම කියා දෙනවා. දෙමාපියන්ට කීව නොහැකි ආකාරයේ ප්‍රශ්න පැන නැගෙන අවස්ථා වල බොහෝ දියණියන් පහසුවෙන් පරාජිත වන්නේ මේ නිසයි.

  1. පමණ ඉක්මවා ආරක්ෂා කිරීම

ආරක්ෂාව අද කාලයේ අත්‍යාවශ්‍ය වනවා. නමුත් ඇතැම් මාපියන් දරුවන් මදක් ලොකු මහත් වූ කල පවා තම ඇස් මායිමෙන් ඔබ්බට දැරියව යවන්නේ නෑ. දියණියට අවුරුදු 8ක් හෝ වැඩි වන විට සීමාවන් පනවා පුංචි නිදහසක් දිව යුතු වනවා. මම කලේ දරුවාට අත් ඔරලෝසුවක් පළඳවා වෙලාවක් නියම කොට ඇයට අසල්වැසි දරුවන් සමඟ සෙල්ලම් කර ගෙදර ඒමට පැය භාගයක් නියම කරනවා.   මෙයින් ඇයට වගකීමක් භාර දෙන අතර ඇය එය ඉටු කරන බැව් දන්නා බවට අප ඇය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරනවා.

ඉහත කාරනා සැලකිල්ලට ගෙන ලොකු මහත් කරන දියණිය මනා ආත්ම විශ්වාසයකින්, ශක්තියකින් හා වගකීමකින් ජීවිතය ගොඩ නගා ගන්නවා නිසැකයි. මේ ගුණාංග වලින් දියණිය පෝෂණය කරන අතරම දෙමාපියන් හැටියට මනා ආදර්ශමත් ජීවිතයක් ගත කිරීම මේ හැම දේටම වඩා වැදගත් වනවා.  මේ සම්බන්ධයෙන් උදාහරණ හා අත්දැකීම් බෙදාගන්න ඔබත් කැමතිනම් අප ඒ ගැන ලියා එවනවාට අප ගොඩක් කැමතියි.