මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

lead image

රැකියාවට යන මේ අම්මා කෙනෙක් ඇගේ තේරීම ගැන සමාජයේ ගැටළු තිබියදීත් ඍජුවම ඇගේ දුවට දිවා සුරැකුම් මධ්‍යස්ථානය හොඳයි කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න මෙය කියවන්න.

මම රැකියාවක් කරන මවක් විදිහට හැම මවකටම ඇති මාතෘකාවක් ගැන අවධානය යොමු කරන්න හිතුවා. ගෙදර ඉන්න මවක් වුනත් රැකියාවක් කරන මවක් වුනත් මව් පදවිය නිසා සියල්ල වෙනස් කරගත යුතු නැහැ කියලයි මම හිතන්නේ . ඒ නිසා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවලා මගේ රැකියාව බබා ලැබුනට පස්සෙත් කරන්න තීරණය කළා.

හුඟක් අය මගෙන් අහනවා මගේ දුව දවසම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉන්න එක ගැන මට දුකක් නැද්ද කියලා? සමහරු මගෙන් එහෙම අහන්නේ නැතුව මගේ දුව දිහා අනුකම්පාවෙන් බැලුවේ අනේ පව් අහිංසක දරුවා කියනවා වගේ අදහසකින්.

පළමු දේ පළමුව කළයුතු යැයි මම විශ්වාස කරනවා. මට දරුවා ලැබුණා වුනත් මම මගේ රැකියාව ඉදිරියට කරගෙන යන්න හොඳින් සැලසුම් කළා. මම මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දාලා සැලැස්මකින් යුතුව මේ දේවල් කරනවා. ඒ නිසා මම කිසිම වරදක් කරලා නැති බව මම දන්නවා. ඊට හේතු මම ඔබට කියන්නම්.

මම අධිෂ්ඨානශීලිවවත් වෙනවා.

මම අධිෂ්ඨානශීලිව මගේ කටයුතු කරගෙන යනවා. මවක් වීම මගේ වෘත්තීය ජීවිතයට බාධාවක් වන්නේ නැහැ. වෘත්තීයක් තෝරා ගැනීමේදී මම මවක් විදිහට හුඟක් පීඩා වින්දා. නමුත් තාත්තා කෙනෙකුගෙන් මේ ප්‍රශ්නය අසන්න බැරි ඇයි? මාතෘත්වයෙන් පස්සේ මට කාන්තාවක් විදිහට ශක්තිමත් හුඟක් ඉලක්ක වලට යන්න තියෙනවා. මම ඉවසිලිවන්තව ඉදිරියට යන්නත් කාන්තාවක් විදිහට මගේ දුවටත් එය අවබෝධ කර දෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා ඇය වගේ අපූරු දියණියක් මට ලබා දුන්නට.

මට මගේ ජීවිතයේ  කරන්න තියෙන වගකීම් අතර මට සිහින කරා යන්න අවශ්‍යයි. එය කළකිරීමෙන් කරන්න බැහැ. මම මගේ දුවට ආදරෙයි එයට සීමාවන් නැහැ.

හැම සවක්ම පියාට අදාල නැහැ

මම රැකියාවක් හොයමින් ඉන්නකොට හැම පුද්ගලයෙක්ම මගෙන් අහපු එකම ප්‍රශ්නය තමයි  “ඔයා රැකියාවට ගියහම ඔයාගේ දුවව බලාගන්නේ කවුද?” කියන එක. මම ඉන් ගොඩක් පීඩා වින්දා. අවසානයේ මගේ ඉවසීමේ සීමාව ඉක්මවූවා. එම ප්‍රශ්නයම තාත්තාගෙන් අහන්න ඔවුන්ට පුළුවන්ද කියලා ඔවුන්ගෙන් ඇහුවා.

කවුරුත් කවදාකවත් පිරිමියෙකුගෙන් අහනවද ඔබ රැකියාවට ගියහම දරුවා බලාගන්නේ කවුද? කියලා. පියා මවක් හා  සමාන නැද්ද? දරුවා ඔහුගේ වගකීමක් නොවේද? එය කාන්තාවන්ටම පමණක් පවරන්නේ ඇයි? මගේ සැමියා මේ ගැන අවබෝධයෙන් හිඳිමින් මට උදවු කරන නිසා මම වාසනාවන්තයි. මගේ දුවට අසනීප වුණ වෙලාවට, ඇයට එන්නත් ලබාදෙන්න තියෙනකොට, ඇයට නිවාඩු හුඟක් ලැබුන කාලයට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වසා ඇති විට අපි මාරුවෙන් මාරුවට රැකියාවෙන් නිවාඩු ගන්නවා. මගේ දුවට එය හොද ආදර්ශයක් වෙනවා.

මට ඕනේ විශ්වාසය ඇති දුවෙක් බිහි කරන්න

ඉස්සර තාත්තා වැඩට ගියහම අම්මා ගෙදර ඉන්නවා. ඒක තමයි පුරුදු වෙලා තිබුන විදිහ.  දැන් එය වෙනස් වෙලා  කාන්තාවනුත් පිරිමින්ට සමානව මුදල් උපයනවා. මට අවශ්‍යයි මගේ දුව එය වටහා ගනිමින් ඇගේ අම්මා ජීවිතයේ අනිත් භූමිකාත් හොඳින් නිරූපණය කරන බව පෙන්වන්න. කාන්තාවන් විදිහට සිහින හා ආශාවන් සඳහා ඉදිරියට යාම

වැදගත් කියලා ඇයට පෙන්වා දෙන්නත් ඇයව විශ්වාසවන්ත තරුණ දුවෙක් කරන්නත් මට අවශ්‍යයි. මම ඇයට දඬුවම් කරන්නේ නැහැ. එහෙත් ඇයව ලෝකයට මුහුණ දෙන්න දැඩිව සූදානම් කරනවා.

දරුවන් බලාගැනීමට මගේ දෙමාපියන් හෝ නැන්දම්මා මට අවශ්‍ය නැහැ

මගේ දුවව බලාගන්න විකල්පයක් ලෙස මට මගේ දෙමාපියන්ට හෝ සැමියාගේ දෙමාපියන්ට කතා කරන්න පුළුවන්. නමුත් මම එය තෝරා ගන්නේ නැහැ. ඇයි? මට දරුවා බලාගැනීමට ඔවුන්ව ගෙදර නවත්වා ගැනීමට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට අවශ්‍ය විදිහට අනිත් අය සමග ගෙවන්න, ඇවිදින්න යන්න, පවුලේ අයත් සමග ගත කරන්න සහ සුවපහසුවෙන් ජීවත් වෙන්න මේ කාලය අවශ්‍යයි.

දෙමාපියන් ඔවුන්ගේ මුළු ජීවිතයම ඔවුන්ගේ ආශාවන් පැහැර හරිමින් වැය කළේ දරුවන් බලාගන්නයි. ඔවුන්ගේ තරුණ කාලය ඔවුන්ගේ දරුවන් බලාගන්න වැය කරලා තියෙද්දී මට ඔවුන්ගෙන් අහන්න පුළුවන්ද මගේ දරුවන්ව බලාගත හැකිද කියලා. එය සාධාරණ නැහැ. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද?. 

මට ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අවශ්‍යයි

මට ආර්ථික වශයෙන් ස්වාධීනව ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ මුදල් එක්ක ජීවත් වෙන සමාජයකයි. මෙය ඉක්මණින් තේරුම් ගැනීම විශේෂයෙන් කාන්තාවන්ට වැදගත්. තමන් රැකියාවක් කරලා මුදල් උපයනවා නම් ගෙදර ඇතිවන ආර්ථිකමය ගැටළු වලට කාන්තාවන්ටත් දායක වෙන්න පුළුවන්. සමහර විට සැමියාගෙන් වෙන්වෙන්න, නැත්නම් දික්කසාද වෙන්න සිදුවුනොත් සමාජයේ ඇති ගැටළු වලදී මට ශක්තියක් තියෙනවා. වරක් එක් පුද්ගලයෙක් කියා තිබුණා  “කරදරයක් ඇතිවීම පෙර ඊට සුදානම්ව සිටීම යහපත්” බව. මේ කතාවෙන් මගේ අදහස තවත් පැහැදිළි වෙනවා.

කාන්තාවක් ලෙස ඔබටත් සමාජයේ ස්ථාවරව ඉදිරියටම යන්න මග හෙළි කිරීමට ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ