මව් කිරි බොන දරුවාට වතුර ඕනෙද?

lead image

මව් කිරි සමග වතුරත් දීමෙන් වයසෙන් මාස 6කට අඩු බිළිඳුන්ට මරණය ළඟා වූ බව වාර්තා වෙනවා. මව් කිරි දෙන බිළිඳුන්ට ජලය අවශ්‍ය නොවන්නේ ඇයි?

ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව 2015 ඇමරිකාවේ නෙවා මේරි ලැන්සල් පුංචි දරුවාට වතුර හා මව්කිරි  දෙකම බොන්න සැලැස්වීමෙන් එයා සදහටම දෙනෙත් පියා ගත්තා. මේ ජිවිත හානිය නිසා ඇයගේ දෙමාපියන්ට දඬුවම් ලබන්න සිදු වුණා.

ඇයට මෙලෙස කිරි හා වතුර දුන්නට පස්සේ ඇය අසනීප වීමෙන් පසු ඇගේ දෙමාපියන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම කර තිබුණා.  අවසානයේ ඔවුන් ඇයව රෝහලකට ගෙන යන විට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්.

අධ්‍යනයන්ට අනුව මව් කිරි හා ජලය පානයෙන් ඇගේ ශරීරය electrolyte හා සෝඩියම් ප්‍රමාණයන් පහළ යාමෙන් ඇගේ මොලය ඉදිමීමට ලක්වී මරණය සිදුවී තිබුණා. ඇගේ දෙමාපියන් දරුවාට අමානුෂික ලෙස සැලකීම යටතේ වරදකරුවන් ලෙස සිර දඬුවම් හිමි වුණා.

ඇත්තටම වයස මාස 6 ට අඩු පුංචි දරුවාට වතුර දීම හා මව් කිරි දීමේදී* අනුගමනය කල යුතු රීති මොනවද? ඇත්තටම බිළිඳුන්ට වතුරත් මව් කිරිත් දෙකම අවශ්‍ය ද? නැත්නම් මව් කිරි වලින් ශරීරයට ලැබෙන තෙතමනය මදි ද?

මව්කිරි බොන දරුවාට වතුර ඕනෙද?

WHO (ලෝක සෞක්‍ය සංවිධානය) වැනි ලොව පිළිගත් සංවිධාන පිළිගන්නා ආකාරයට මව් කිරි පමණක් බොන දරුවන්ට ජලය අවශ්‍ය වන්නේ නැහැ.

මන්ද මව් කිරි වල 88% ක් ජලය ඇති නිසාත් කිරි ලබා දෙන හැම අවස්ථාවකම වඩා දියර ස්වභාවයෙන් ලැබෙන කිරි මගින් දරුවට ලැබිය යුතු ජල ප්‍රමාණය  ලැබෙන බවත් ඔවුන් පවසනවා.

ඒ වගේම නව බිලිඳුන්ට දෙන මව් කිරි වල ඇති කලොස්ට්‍රම් වලිනුත් දරුවා විජලනය තත්වයෙන් මුදවා ගන්නවා.

මව්කිරි හා වතුර

වයස මස 6 ට අඩු මව් කිරි දෙන දරුවාට වතුර නොදිය යුත්තේ ඇයි?

ලෝක සෞක්‍ය සංවිධානය, Academy of Breastfeeding Medicine සහ American Academy of Pediatrics සහ KellyMom.com යන ආයතන මව් කිරි පමණක් දෙන ළදරුවන්ට ජලය අවශ්‍ය නොවීමට මෙම හේතු සඳහන් කරනවා.

  • දරුවාට වතුර ලබා දීම මගින් සාමාන්‍ය කිරි නිපදවීමේ ක්‍රියාවලියට බාධා ඇති විය හැකි අතර බෝතලයක් මගින් වතුර පෙවීමෙන් එම ක්‍රියාවලිය අවුල් සහගත වෙනවා.
  • දරුවාට වතුර හෝ ග්ලුකෝස් දැමු වතුර ලබා දීමෙන් දරුවාගේ අක්මාව මගින් නිෂ්පාදනය කරන 'බිලිරුබින්' (bilirubin) වල වැඩි වීමක් ඇති වෙන්නට පුළුවන්. මෙය දරුවාගේ jaundice නැමති සම කහ පාට කරවන තත්වයක් ඇති කරන්න පුළුවන්.  
  • මෙමගින් දරුවට විවිධ රෝගී තත්වයන් ඇති විය හැකි අතර ව්‍යාකූලත්වය, නිද්‍රාශීලි බව ඇතුළු විවිධ සංකුලතා තියෙනවා. කෙසේ වුවද මාස 6කට අඩු, මව් කිරි පමණක් බොන දරුවන්ට අනවශ්‍ය ලෙස දරුවාට වතුර ලබා දීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඇති සෝඩියම් ප්‍රමාණය ශරීරයෙන් අනවශ්‍ය ලෙස පිටවීමෙන් කෝමා, මොලයට හානි වීම ඇතුළු රෝගී තත්වයන් ඇතිවිය හැකි බව විශේෂඥයින් පවසනවා.
  • ඒ වගේම වතුර වල කැලරි ශුන්‍ය නිසා දරුවාගේ කුස පිරුණත් ඔහුගේ වර්ධනයට ඉන් උදවුවක් ලැබෙන්නේ නැහැ. ඉන් ඔහුගේ වර්ධනය අඩාල කරන්න පුළුවන්.

කිරි දෙන බිලිඳුන්ට උෂ්ණ කාලගුණික තත්වයන් හා අමතර ජලය ලබා දීමෙන් ඇති වන බලපෑම

පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියත් මව් කිරි පමණක් දෙන පැටියාට අමතර ජලය දීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. නමුත් මෙවන් කාලගුණික තත්වයන් වලදී පැටියාට මව් කිරි ලබාදෙන වාර ගණන වැඩි කිරීමට ඔබට පුළුවන්.

මේ තොරතුරු සමීක්ෂණ අනුසාරයෙන් ( Almroth and Bidinger, 1990; Ashraf et al., 1993; Sachdev et al ,1991) KellyMom.com මගින් ලබාගන්න ලද ඒවයි.

 මෙම සමීක්ෂණ වාර්තා සම්පුර්ණයෙන් මව් කිරි ලබා දෙන දරුවන් උෂ්ණත්වය අඩු හා වැඩි කාලගුණික තත්වයන් යටතේ ලබාගත් ඒවා වන අතර එම ස්ථානයන් හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21- 41 හා ෆැරන්හයිඩ් අංශක 71.6 ත් 105. 8 ත් හා  9- 96% දක්වා අර්දතාවයන් වලදී ගත් දත්ත වනවා.

එම නිසා සමීක්ෂණ වාර්තාවන්ට අනුව මව් කිරි මගින් බිළිදාගේ ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස ලැබෙන බව තහවුරු වෙනවා.

KellyMom.com ට අනුව කිරි පිටි ලබා දෙන දරුවන්ට වුවත් නිතර ජලය ලබා දීම අවශ්‍ය නොවන බව තහවුරු වෙනවා.

කෙසේ වෙතත් සමහර විශේෂඥයන් පවසන ආකාරයට කිරි පිටි ලබා දෙන දරුවන්ට පරිසරයේ උෂ්ණත්වය වැඩි අවස්ථාවන් වලදී හෝ දරුවාට උණ හෝ වෙනත් රෝගී තත්වයක දී අමතර ජලය ලබා දීමේ පුරුද්දක් නැති වුවත් පිටි කිරි දෙන වාර ගණන වැඩි කිරීමෙන්ද මෙය පියවීමට හැකි වෙනවා.

askdrsears.com වෙබ් අඩවියට අනුව කිරි පිටි ලබා දෙන දරුවන් හා අමතර ජලය ලබා දෙන දරුවන් ගැන මෙසේ සඳහන් වෙනවා.

මව් කිරි වලට වඩා පිටි කිරි වල ඛනිජ ලවන වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර එම අමතර ජලය ප්‍රමාණය ලබා දීම වකුගඩු වල ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන බව පැවසෙනවා. ඒ වගේම පිටි කිරි බොන බිළිඳුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය එතරම්ම ක්‍රියාකාරී නොවීම නිසාත් ඔවුන්ට අමතර ජලයේ අවශ්‍යතාවය පවතිනවා”.

දරුවන්ට වතුර දිය යුත්තේ කොයි කාලයේ ද?

ඔබේ මස 6 ඉක්ම වූ දරු පැටියා පුංචි කෝප්පයකින් වතුර බොන්න ඉගෙන ගන්නකොට දවසකට කිහිප වරක් වතුර උගුරු කිහිපයක් දිය හැකි බව විශේෂඥයන් පවසනවා.

නමුත් එය පැය 24 කදී අවුන්ස දෙකකට වඩා වැඩි  නොවිය යුතු බව පවසනවා. ඒ වගේම පැටියා අමතර ආහාර ගන්න පටන් ගත් විට කෑමෙන් පසු දොවාගත් මව් කිරි ටිකක් හරි වතුර ටිකක් හරි පැටියාට දීමෙන් මළබද්ධය වළක්වා ගත හැකි වෙනවා.

දරුවන් සිඟිති වියට එළබෙද්දී මව් කිරි දීම තවදුරටත් කරගෙන යමින් අවශ්‍ය විටෙක ජලය ලබා දීම කල හැකි බව  විශේෂඥයන් පවසනවා. පැටියාට වසරක් ගතවූ පසුවත් ඔහුට මව් කිරි ලබා දෙන්නේ නම් ශරීරයට අවශ්‍ය ජලය ඉන් බොහෝ දුරට ලැබෙන නිසා ඔහුට උවමනා තරම් මව් කිරි දීමේ වරදක් නැහැ.

මව් කිරි වල ඇති ආශ්චර්යමත් බව වෙන කිසිඳු ආකාරයකට හෝ පානයකට සම කල නොහැකි බව ඔබට අදත් තව තවත් වැටහෙනවා ඇති. දරුවාට ලෝකයේ ඇති හොඳම දේවල් දෙන්න වෙහෙසෙන අම්මලාට theAsianparent Sri Lanka අපි ගෙන එන මේ තොරතුරු හුඟක් වටින බව අපි දන්නවා.

*ඔබේ දරුවා අසනීප වු විට නිතරම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. ඔබේ දරුවාට වතුර දෙන්න කියා වෛද්‍ය උපදෙස් ලැබී ඇත්නම්, කරුණාකර එය පිළිපදින්න. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ