මීතොටමුල්ල ඛේදවාචකයෙන් අපේ දරුවන්ටත් අපිටත් හුඟක් පාඩම් කියා දුන්නා.

අධ්‍යාපනය හා දැනුවත් කිරීම කුණුකසල වෙන් කිරීම පිළිබඳ ඉගැන්වීමට ඇති හොඳම ක්‍රමයයි.

ඉතාම භයානක ඛේදවාචකයක් වුනත් අපිට වගේම අපේ දරුවන්ටත් ඉගෙන ගත හැකි පාඩම් තියෙනවා. අනාගතයේ මෙවැනි දේවල් නොවෙන්න මේ ගැන දරුවන්ට කියා දෙමු.

මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ අප්‍රේල් මාසයේ 14 වෙනිදා ලංකාවේ මීතොටමුල්ල ප්‍රදේශයෙනුයි. එදා රටේ බහුතරයක් දෙනා අලුත් අවුරුද්ද සමරමින් හිටියා.

මේ ප්‍රදේශයේ දැනට වසර 20 පමණ සිට විශාල කුණු කන්දක් ගොඩගැසෙමින් තිබුණා. මේ කුණු කන්ද පසුගිය 14 වෙනිදා නිවාස 150 කට ආසන්න ප්‍රමාණයකට කඩා වැටුණා.

වාර්තාවන්ට අනුව මරණ රාශියක් වාර්තාවී තිබුණා. මේ අතර දරුවන් විශාල ගණනක් ඉන්නවා. මේ විනාශය එකවර පැමිණි දෙයක් නෙමෙයි. හුඟ දෙනෙක් බලධාරීන්ට හා පාලකයන්ට මීට ඇඟිල්ල දිගු කළත් ඒ ගැන ජනතාවටත් වගකීමක් තිබෙන බව මොහොතක් සිතා බලන්න.

මේ කාගේ කුණු ද ? කොළඹ ජීවත් වන ඔබ, ඔබේ හිත මිතුරන්ගේ, දරුවන්ගේ මේ හැමෝගෙම කුණු මෙතන ඇති.

එකිනෙකාට ඇඟිලි දිගු කරනවාට වඩා ගැටලුවට නිසි පිළියම් යෙදීම මෙහිදී වැදගත්. මින් ඉදිරියටවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් නොවන්නට කටයුතු කිරීම මෙහිදී මූලික වෙන්නේ තවත් ටික කාලයකින් මේ සිදුවීම අපට අමතකව යන නිසයි.

අපි හැමදෙනාම පරිසරයේ ඇති වටිනාකම වගේම කසල කළමනාකරණය ගැන දැනුවත් වීම මෙහිදී හරිම වැදගත්. අපි වගේම අපේ දරුවනුත් ඉන් දැනුවත් කිරීම ඉතාම වටිනවා.

ඉතා සුන්දර දිවයිනක් ලෙස ලොව සුපතල අපේ රට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලින් අඳුරු වනවා දකින්න අපේ දරුවන් අවාසනාවන්ත විය යුතු නැහැ.  

මේ නිසාම අපේ ජීවිත හා දරුවන්ගේ අනාගතයට වැදගත් වන තොරතුරු හා අපේ වගකීම් හා යුතුකම් පරිසරය හා අපේ ඇති බැඳීම් ගැන මීට වඩා දැනුවත් වීම වැදගත් වෙනවා.

1. ප්‍රතිචක්‍රීකරණය

මේ ක්‍රියාවලිය ඉතා සරල පහසු ක්‍රමයක් වන අතරම හැම ශ්‍රී ලාංකිකයෙකුම මේ ක්‍රමය අනුගමනය කරනවා නම් අපිට හුඟක් කුණු ප්‍රශ්න උද්ගත වෙන්නේ නැහැ.

  • සුපිරි වෙළඳසැල් වලට යන විට ඔබට පොලිතින් බෑග් වෙනුවට රෙදි මළු යොදාගන්න පුළුවන්. එය අමතක වනවා නම් වාහනයේ ඉන් කිහිපයක් තබා ගන්න ඔබට පුළුවන්. ඔබට එය නැවත නැවත පාවිච්චියට ගන්න පුළුවන්.
  • නැවත පාවිච්චි නොකරන ලිපි හා කොළ දරුවන්ගේ චිත්‍ර ඇඳීමට හා කපන්න අත්වැඩ වලට දෙන්න පුළුවන්. ඉන් විනෝදයකුත් සිතට සතුටකුත් ලැබෙනවා. හිස් බිත්තර ඇසුරුම් ඇට තවාන් කිරීමටත්, හිස් කාඩ්බෝඩ් පෙට්ටි අත්වැඩ වලටත් යොදාගන්න. අමතර ඉතිරියක් වගේම තෘප්තියකුත් ලබන්න පුළුවන්.
  • හුඟක් ප්ලාස්ටික් බඩු වලින් විවිධ අත්වැඩ සිදු කරන්න පුළුවන් වගේම අන්තර්ජාලයෙන් ඒ ගැන දැනුවත් වෙන්නත් පුළුවන්. ඉන් ඔබට ලැබෙන තෘප්තියත් ඉහළයි. අනෙක් ඉවතලන ප්ලාස්ටික් ඉඩක් ඇත්නම් පුච්චා දමන්නත් නැත්නම් වෙන්කර කුණු රැගෙන යන අයට බාර දෙන්නත් පුළුවන්.

2. කුණුකසල වෙන් කරන්න

හුඟක් ලංකාවේ ගෙවල් වල කුණු වෙන් කිරීම සිදුවන්නේ නැහැ. හුඟක් වෙලාවට ඉඳුල් හා කෑම සමග ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, ෆොයිල් වැනි දේවල් එකට දමනවා. ඉන්පසුව එය ප්ලාස්ටික් බෑග් ටිකක දමා හිස් බිමකට දමනවා. මීතොටමුල්ල ඛේදවචකයේ මූලාරම්භයත් මෙයයි.

එමනිසා කුණු කසල වෙන්කර ඉවත්කරන්න යොමු වෙන්න. ආහාර හා ආහාර අපද්‍රව්‍ය කාබනික පොහොර සෑදීම සඳහා යොදාගන්න පුළුවන්.

නැතිනම් ඒවා වළදැමිමෙනුත් ඔබට සාරවත් පසක් ලබාගන්න පුළුවන්. මේ ආකාරයට වෙන්කරන ලද කුණු කසල බඳුන් තබා දරුවන්ට ද ඒ ගැන දැනුම ලබාදෙමින් ඔවුන්ව ඊට උනන්දු කරන්න. මේ නිසා ඔබ කොයිතරම් කුඩා කුණු කොටසක් ගෙදර කුණු කසල බඳුනේ එකතු කරනවා දැයි ඔබට පුදුම හිතෙයි. දැන් එහි වෙනස ඔබට හැඟේවි.

3. ප්ලාස්ටික් මිලදී ගන්න එපා

ප්ලාස්ටික් දිරාපත් වීමට වසර දහස් ගණනක් යනවා. ඒ නිසා හැකිතරම් ප්ලාස්ටික් භාවිතය හා මිලදී ගැනීම අඩු කරන්න. හොඳම දෙය නම් ප්ලාස්ටික් බෝතල් වල අසුරා ඇති ජලය මිලදී ගැනීම අවම කිරීමයි. මේවා කුණුකසල ප්‍රශ්නයට ඉතාම ප්‍රබල සාධකයක් වී හමාරයි. BPA රහිත ප්ලාස්ටික් බෝතල් වල ජලය රැගෙන යාමෙන් ඔබට එය අවම කරන්න පුළුවන් වගේම ගෙදරින් පිටතට යන විට දරුවන්ට වතුර බෝතල් රැගෙන යන්න.

ඉන් පරිසරය සුරැකෙනවා වගේම ඔබේ මුදලුත් ඉතිරි වෙනවා. කෑම අසුරණ ඉටිකොළ වෙනුවට කෑම පෙට්ටි හෝ කෙසෙල් කොළ යොදා ගන්න.

4. ආදර්ශමත් වෙන්න

ඔබේ දරුවා අනුගමනය කරන්නේ ඔබවයි. කුණු ඉවත දමන ආකාරයේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වා දරුවා දැනුවත් නැතිනම් ඔවුන් එහි අගය වටහා ගන්නේ නැහැ.

ඔබ කුණු කසල මගින් සාදාගන්නා කොම්පෝස්ට් පොහොර යොදාගෙන දරුවන් සමග ගෙදර ගෙවත්තේ වගාවක් අරඹන්න. ඔබේ දරුවා කරුණු අවබෝධ කර ගැනීමට හැකි අවධියක ඉන්නවා නම් මීතොටමුල්ල ඛේදවචකය ගැනත් අපිට එය වළකා ගන්නට කෙසේ තිබුණාදැයිත් අසන්න.

අධ්‍යාපනය හා දැනුවත් කිරීම කුණුකසල වෙන් කිරීම පිළිබඳ ඉගැන්වීමට ඇති හොඳම ක්‍රමයයි. ඊට මේ උදාහරණය ඔබේ දරුවන්ට හොඳ පාඩමක් කියාදෙන බව theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

(Read in English: Lessons for your children from the Meethotamulla disaster)