Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?

lead image

පැටියා චූ දමන්නට හොරද? චූ දමද්දී හඬනවාද? පැටියාට මුත්‍රා ආසාදනයක් විය හැකි බැවින් මේ කරුණු ගැන විමසිලිමත් වන්න.

දරුවන්ගේ මෙන්ම මවුවරුන්ගේද සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා. 

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

ඉතින් මේ විශේෂාංගය ඔස්සේ අද ඔබ වෙත ගෙන එන්නේ පුංචි දරුවන්ගේ මුත්‍රා අසාදන සම්බන්ධයෙන් මව්වරුන් දැනුවත් කිරීමේ අරමුණින් වෛද්‍යතුමිය Sri Lankan Moms Facebook සමුහය වෙත ලියූ ලිපියකි.  

මුත්‍රා ආසාදන ඇති වෙන්නේ මුත්‍රා මාර්ගය තුලට අහිතකර බැක්ටීරියා ඇතුල්වීමෙන්.

වයස අවුරුද්දට අඩු දරුවන් විශේෂයෙන් මුත්‍රා ආසාදන ඇතිවීමෙන් ප්‍රවේසම් කරගත යුත්තේ එම අසාදනය මගින් වකුගඩු වලට හානි විය හැකි නිසයි.

දරුවාට මුත්‍රා  ආසාදනයක් ඇති බව හඳුනාගන්නේ කෙසේද?

1. මුත්‍රා  කිරීමේදී හැඬීම (පොඩි දරුවන් මෙන් මුත්‍රා  කිරීමට කලින් නෙවයි)
2. කඩින් කඩ ටිකෙන් ටික වේදනාවෙන් මුත්‍රා කිරීම
3. පැය ගානක් මුත්‍රා නොකර සිටීම (වේදනාව නිසා)
4. තද උණ 
5. වමනය 
6. උණ සමග උන වලිප්පුව සෑදීම 
7. දරුවා අහේතුකව හැඬීම
8. මුත්‍රා කරන වාර ගණන වැඩිවීම (වැස්ස දවසට නෙමෙයි)

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබිය හැක. මෙවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

මුත්‍රා ආසාදන වළක්වාගන්නේ කෙසේද?

1. දරුවාගේ මුත්‍රාශය අවට ප්‍රදේශය සැමවිටම පිරිසිදුව තබාගන්න 
2. ගැහැණු දරුවෙක් නම් මුත්‍රා  ප්‍රදේශය සේදීමේදී පහල සිට ඉහලට (එනම් මුත්‍රා  ප්‍රදේශයෙන් ආරම්භ කර ගුද ප්‍රදේශයෙන් අවසන් වන ආකාරයට) එම ප්‍රදේශ පිරිසිදු කරන්න. ලොකු දරුවෙක් නම් එසේ කරන්න උගන්වන්න. 
3. පිරිමි දරුවෙක් නම් පෙර සම ඇඟිලි තුඩු 2කින් සියුම්ව රෝල් කිරීමෙන් පිරිසිදු කරගන්න. චර්මච්ඡේදනය සිදු නොකෙරු බිළිඳුන්ගේ අවුරුදු 1.5-2ක් යනතුරු බලෙන් පෙරසම පිටුපසට දමා පිරිසිදු නොකළ යුතුයි. 
4. කපු රෙදි වලින් මැසූ යට ඇඳුම් භාවිතා කරන්න. 
5. දරුවාට වැඩිපුර දියර වර්ග ලබාදෙන්න 
6. තේරෙන වයසේ දරුවෙක් නම් සැමවිටම මුත්‍රා කරන්නට මතක් කරන්න. 
7. මලබද්ධය මුත්‍රා ආසාදන ඇතිකිරීමට හේතු විය හැකි බැවින් දරුවාට හොඳින් පලතුරු, පලා වර්ග ලබාදී දිනකට වතාවක් හෝ මල පහ කිරීමට හුරු කරවන්න. 
8. පැම්පර්ස් භාවිතා කරන්නේ නම් අඩුම ගානේ පැය 3කට වරක් වත් තෙත නොවී තිබුනත් මාරු කරන්න. (overnight diapers කියා හඳුන්වාදී තිබෙන ඒවා හැර)

මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට වෛද්යවරයා ලබාදෙන බෙහෙත් වට්ටෝරුව සම්පූර්ණයෙන් දරුවාට ලබාදිය යුතුයි. රෝග ලක්ෂණ පහව ගියත් බැක්ටීරියා සියල්ලම විනාශ කිරීමට මෙය උපකාරී වනු ඇත.

මුත්‍රා ආසාදනය සම්පූර්ණයෙන් සුව නොවුනොත් නැවත නැවත ඇතිවිය හැකි බව මතක තබාගත යුතුයි. එබැවින් වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න.

දරුවන්ට ඇති විය හැකි මුත්‍රා ආසාදන හඳුනාගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.