මොළය මිය ගිය මවකගෙන් උපන් ආශ්චර්යමත් නිවුන් දරුවෝ!

lead image

දරුවන්ට ඔවුන්ගේ මව් සෙනෙහස අහිමි වීම ගැන අප දුක් වන අතර මේ කතාව තුළින් අසීමිත දුක් කම්කටොලු තුලින් බලාපොරොත්තුව ගෙන දිය හැකි ආකාරය ගැන සතුටු වනවා. චූටි පැටවුන් දෙදෙනාට සතුටින් පිරි නිරෝගී දිවියකට හදවතින්ම ආසිරි පතනවා.

“පුංචි හදවත් දෙකේ ස්පන්දනය නැවතුනු ගමන් අපිට ජීවන ආධාරක පද්ධතියේ ස්විචය නිවා දමන්නට පුළුවන්. එවිට ඔබගේ බිරිඳගේ භූමදානය සිදු කරන්නට ඔබට පුළුවන්” ඔවුන් මට කීවා. නමුත් මේ පුංච් පැටවූ දෙදෙනහේ පුංචි හදවත් දිගටම ස්පන්දනය වුනා.

හාස්කම් කියන්නේ ඇත්තක්. නිමක් නැති සත්‍යයක්!

ගර්භණි මව ආඝාතයකට මුහුණ දෙයි

මුරියෙල් පැඩිල්හා (Muriel Padilha) 24 හැවිරිදි බ්‍රසීල ජාතික පියෙක්. වෙනදා මෙන් රාජකාරියට යමින් සිටියදී දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ  බිරිඳ වන ෆ්රැන්කිලන් ද සිල්වා සංපොලි පැඩිල්හා (Frankielen da Silva Zampoli Padilha) ගෙන්.  දෙහැවිරිදි දරුවකුගේ මවක් වූ ඇය දෙවන දරුවට ගැබ් ගෙන තිබු අතර ගර්භණි සමයේ 9 වන සතියේ පසු වූවා.

ඇය මුරියෙල්ට පැවසුවේ ඇයගේ ඇඟට අමාරු ගතියක් දැනෙන බවත් ඇගේ හිස දරුණු ලෙස කකියන අතර ගෙළ පිටුපසද තියුණු වේදනාවක් තිබූ බවත්ය. ඇය ඇද වැටෙන්නට යන සෙයක් දැනෙන නිසා ඉක්මනින් ගෙදර එන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.

මුරියෙල් කඩිනමින් නැවත නිවසට ගිය අතර දුටුවේ හඬමින්, වෙව්ලමින්, වමනය කරමින් වේදනාවෙන් සිටි ඔහුගේ බිරිඳයි.

The New York Post සඟරාවට අනුව මුරියෙල් පැවසුවේ “මා ඇයව රෝහලට ගෙනයමින් සිටියදී ඇය පැවසුයේ “මම මේක ඔයාට කියන්නේ ඔයාව සූදානම් කරන්න නිසයි. මට රෝහලේ නවතින්නට වෙනවා. මම නැවත ගෙදර එන්නේ නැහැ”  

ඒ ඇයගේ අවසන් වදන් පෙළයි. මුරියෙල් ආයෙත් ඔහුගේ බිරිඳව පණ පිටින් දුටුවේ නැහැ.

ඇය මුහුණ දී තිබුනේ මස්තිෂ්ක රුධිර වහනයකටයි - ඇයගේ මොළය තුළ පිපිරුණු රුධිර වාහනියක් නිසා ඇය රෝහල්ගත් වී තිබුනේ බොහෝ සේ රුධිරය වහනය වූ මොලයක් සමඟ.

දින තුනක අනේක පරීක්ෂණ වලින් පසුව වෛද්‍යවරුන් විසින් ඇයගේ මොළය විනාශ වී ඇති බව නොහොත් මොළය මැරුණු බවට තහවුරු කොට ඇයගේ නිවුන් දරුවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස මුරියෙල්ට දැන්වුවා.

වෛද්‍යවරුන්ගේ අති දුෂ්කර තීරණය

මුරියෙල්ගේ වචන වලින් “පුංචි හදවත් දෙකේ ස්පන්දනය නැවතුනු ගමන් අපිට ජීවන ආධාරක පද්ධතියේ ස්විචය නිවා දමන්නට පුළුවන්. එවිට ඔබගේ බිරිඳගේ භූමදානය සිදු කරන්නට ඔබට පුළුවන් කියා ඔවුන් මට කීවා.”

නමුත් හාස්කම් අතරින් හාස්කමක් ලෙස ඒ පුංචි හදවත් වල ස්පන්දනය නතර වුයේ නැහැ. ඒ තමා එම උතුම් වෛද්‍යවරුන් දරුවන් රැකගනිමෙහි ලා පෙර නොකෙරුණු නොඇසුණු අන්දමේ තීරණයක් ගත ඒ අසහාය මොහොත. ඔවුන් ෆ්රැන්කිලන්ගේ සිරුරෙහි පණ යන්නට ඉඩ තැබුවේ නැහැ. ජීවන ආධාරක පද්ධතිය දිගටම ක්‍රියා කරවමින්, අවශ්‍ය ඖෂධ සපයමින්, සිරුරෙහි හෘද ස්පන්දනය, රුධිර සංසරණය හා රුධිර පීඩනය දැඩි නිරීක්ෂණය යටතේ පරිපාලනය කරමින් දරු දෙදෙනාගේ තත්වය අකණ්ඩව නිරීක්ෂණය කෙරුණා.

දකුණු බ්‍රසීලයේ නොසෝ සේනොරාහි (Nosso Senhora) රෝස්හෝ(Rocio) රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ඩාල්ටන් රිවබෙම් පැවසුයේ "ෆ්රැන්කිලන් ඉන්ද්‍රියයන් සියල්ල ඇය ජීවත්ව සිටින්නා සේම සක්‍රීයව ක්‍රියාත්මක වූ බවයි. ඇගේ නූපන් දරුවන් බේරා ගැනීමට අප ගත් තීරණය තුළ අපගේ ප්‍රධාන අධිෂ්ඨානය වුයේ දරුවන්ගේ ඉන්ද්‍රියයන් පරිනත වන තුරු වර්ධනය කර ගැනීමට ඇයගේ  සිරුර සක්‍රීයව තබා ගැනීමයි.

මෙම ක්‍රියාදාමයේ බොහෝ ව්යාකුලතා වලට අපට මුහුණ දෙන්නට සිදු වුවත් මවගේ රුධිර පීඩනය, ඔක්සිජන් සැපයුම, නියමිත හෝමෝන හා පෝෂණය පවත්වා ගැනීමට අප අඛණ්ඩව සිදු කළ ඖෂධ කළමනාකරණය හා පරිපාලනය නිසා ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට හැකියාව ලැබුනා. මව රෝහල්ගත කර සිටි කාලය පුරාම අප ප්‍රතිජීවක බෙහෙත් පාවිච්චි කළා.”

“මේ දේවල් සිදු කරමින් දිනපතාම දරුවන් දෙදෙනා ඇගේ කුස තුල සාමාන්‍ය අයුරින් වර්ධනය වන අයුරු අප බලාගෙන සිටියා”

එපමණක් නොවේ, අපගේ රෝහල් සේවක සේවිකාවන් මවගේ කුස පිරිමදිමින් දරුවන්ට ගී ගයන්නටත්, දිනපතාම ඔවුනට ‘We Love You” කියා ආදරය ප්‍රකාශ කරන්නටත් අමතක නොකළේ දරුවන්ට මොළය මැරුණු මවගේ ආදරය යම් හෝ දුරට පිරිමැසීමේ අරමුණින්.

අපගේ කාර්ය මණ්ඩලය පුර මාස හතරක් පුරාවට මෙවන් සෙනහසක් මේ දරුවන් දෙදෙනාට ලබා දුන්නා. ඒ කියන්නේ හරියටම දවස් 123ක්.

මොළය මිය ගිය මවගෙන් දිවි ගලවාගත් ආශ්චර්යමත් නිවුන් දරුවන් දෙදෙනා මෙලොව එළිය දකිති

අවසානයේ  මාස 7ක් සම්පුර්ණ වත්ම නොමේරූ උපතක් ලෙස නිවුන් දරුවන් දෙදෙනා සිසේරියන් සැත්කමක් ඔස්සේ මෙලොව එලිය දුටුවා. මෙය දුටු රෝහල් කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගේම දෑස් කඳුලින් පිරුනා.

ඇනා වික්ටෝරියාගේ උපන් බර කිලෝ 1.4 වූ අතර ඇයගේ සොයුරා අසෆ්ගේ උපත් බර කිලෝ 1.3 වුනා.  මොවුන්ගේ බර සාමාන්‍ය නොමේරු උපත් බරෙහි පරාසය තුල රැඳී තිබුනා.

මෙම සුර දරුවන්ගේ අම්මා ජිවිතයෙන් සමුගත්තා.  ජීවන ආධාරක පද්ධතිය අක්‍රීය කල පසු ඇයගේ හෘද වස්තුව හා වකුගඩු තව රෝගීන් දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීම සඳහා පරිත්යාග කරනු ලැබුවා.

මේ වෙනුවෙන් කල ආදරණිය සිහිවටනයක් ලෙසේ බ්‍රසීලය පුරා දහසකුත් ජනයා බිලිඳුන් දෙදෙනා වෙනුවෙන් විශේෂ අරමුදල් මෙන්ම නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩද පරිත්‍යාග කරනු ලැබුවා.

බිලිඳුන් දෙදෙනා තවත් මාස තුනක් දැඩි නිරීක්ෂණය සඳහා ඉන්කියුබෙටර් තුල රඳවා තබා අවසානයේ මැයි මාසයේ රෝහලින් පිට වීමට අනුමැතිය ලබා දුන්නා. ඔවුන් දැන් ඔවුන්ගේ මිත්තණියගේ රැකවරණය යටතේ හැදෙනවා.

දරුවන්ගේ පියා මුරියෙල් මෙම හාස්කම ගැන බොහෝ ස්තුතිවන්ත වනවා. ෆ්රැන්කිලන් ආදරණීය, පරිත්‍යාගශීලි මවක්. මම විශ්වාස කරනවා දෙවියන්වහන්සේ ඇයව තෝරාගත්තේ යම් අරමුණකට කියා. ඒ නිසා දේව ප්‍රාතිහාර්ය ගැන මට සැකයක් නැහැ.

දරුවන්ට ඔවුන්ගේ මව් සෙනෙහස අහිමි වීම ගැන අප දුක් වන අතර මේ කතාව තුළින් අසීමිත දුක් කම්කටොලු තුලින් බලාපොරොත්තුව ගෙන දිය හැකි ආකාරය ගැන සතුටු වනවා. චූටි පැටවුන් දෙදෙනාට සතුටින් පිරි නිරෝගී දිවියකට හදවතින්ම ආසිරි පතනවා.

(New York PostMirror ඇසුරිනි)

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා