රණ්ඩු නොකර සැමියාගෙන් උදව් ඉල්ලගන්නේ මෙහෙමයි

හිතලා බලලා උදවු නොකරන තාත්තලාගෙන් රංඩු කරන්නේ නැතුව ගෙදර වැඩට සහයෝගය ගන්න උදවු වෙන  පොඩි කරුනු ටිකක් මේ. ඔබට දායාද වූ මායම් 64න් ටිකක් යොදා ගත්තත් කාරී නෑ.

පසුගිය දිනක අපගේ ආදරණිය පාඨක මවක් වන අයේෂා චතුරාණි සිරිබද්දන විසින්  අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද? ලිපිය තුලින්, කාර්යබහුල අපි හැමෝටම පොදු අත්දැකීමක් අප හා බෙදාගත්තා.

අද ඇය අපට සමඟ බෙදාගන්නේ සන්ඩු දබර නැතිව අපගේ සහකරුගෙන් උදව් පදව් ලබාගන්න සුපිරි ඉඟි කිහිපයක්. ඔන්න ඉතින් හිතලා බලලා උදවු නොකරන තාත්තලාගෙන් රණ්ඩු කරන්නේ නැතුව ගෙදර වැඩට සහයෝගය ගන්න උදවු වෙන  පොඩි කරුනු ටිකක් මම කියන්නම්.

රණ්ඩු නොකර සැමියාගෙන් උදව් ඉල්ලගන්නේ මෙහෙමයි

1 දරුවන් බලා ගැනීමට තාත්තලා ඔබ හිතනවට වඩා දක්ෂයි.

තාත්තලා බහුතරයක් දරුවන්ට පන වගේ ආදරෙයි....ඒත් අම්මලා වගේ ඒක පෙන්නන්නේ නෑ...ඒ වගේම අපේ හිතේ තියෙන විදියටම එයාලා උදවු කරන්නෙත් නෑ...ඒකට එයාලගේ ක්‍රමයක් තියෙනවා ...ඒක තේරුම් ගන්න එකයි වඩාත්ම වැදගත් දේ.

නිදසුනක් ලෙස ගතහොත් පුංචි දරුවෙක් ආවම ,අපිට ඕන එයාව ඇහැක් වගේ බලාගන්න,පොඩි සීරීමක් වත් නැතුව,දවසෙම දග කරන පොඩි පැටියෙක් තාත්තිට දීලා අම්මිට ඕන පොඩ්ඩක් විවේක ගන්න,තාත්තිත් දවසෙම ඔෆිස් එකේ ඉදලා ඇවිත් මහන්සියි නේ...එයා බබා දුවද්දී පැත්තකට වෙලා ඉදගෙන බලන් ඉන්නවා.

මෙතෙන්දී අපිට තරහ යනවා,ඇයි තරහා යන්නේ?අපි බලාපොරොත්තු වෙන දේ අපේ ස්වාමියා නොකරන නිසා.

අපි බලාපොරොත්තු වෙන්නේ දවල් දවසෙම අපි බබා පස්සේ දිවුවා වගේ තාත්තිත් බබා පස්සේ දුවයි කියලා.

එතකොට අපි එයාට කෑ ගහනවා.

මොකද්ද දන්නවද එහෙම උනාම ගොඩාක් වෙලාවට අහන්න වෙන දේ

"මොනවා කරත් වැඩක් නෑ..මේ ගෑනිගෙන් හොදක් නම් අහන්න බෑ"...

2 කවදාවත් දරුවන්ගේ තාත්තා තව කෙනෙක් එක්ක සන්සන්ඳනය කරන්න එපා

අරයගේ මහත්තයා නම් මෙහෙම කරනවා....අරම කරනවා..ඔයා කරන්නේ මෙහෙමයී....කවදාවත් ඒ දේ කරන්න එපා,ඔයා හිතන්නේ වත් නැති තරම් නරක ප්‍රතිඵල තමයි ඒ වගේ දේකින් ගේන්නේ...

3 කරන පුංචි දෙයක් උනත් පසසන්න

අපි හැමෝම කැමතියි ප්‍රශංසාවට. තාත්තලාත් එහෙම තමයි. මේක පුංචි මානසික අල්ලසක්.

ස්තුතියි කියන වචනෙට තියෙන්නේ පුදුම බලයක්...ලෝභ වෙන්න එපා ඒ වචනේ පාවිච්චි කරන්න මොනම වෙලාවකවත්.

උදා-කලින් මම කියපු සිද්දියේ උනත්,තාත්ති ඉඳ ගෙන බබා බලනවා නම් "අනේ ඔයා ඔහොම හරි පුතාව බලාගන්නවනේ....ඒක නිසා මට තේ එකක් බීලා එන්න පුලුවන් උනේ..."කියන්න.

පුංචි පුංචි හැම දේටම පසසන්න,ස්තූතියි කියන්න (මම නම් thank you කියනවට වඩා ගොඩාක් වෙලාවට කියන්නේ ඔයාට ගොඩාක් පිං කියලා,ඒකට අපේ ගෙදර තාත්තා ආසයි?).

4 පිට අය ඉස්සර කවදාවත් වැරදි කියන්න එපා

අම්මලා,තාත්තලා ඉස්සරහ උනත් එපා,පිරිමි අය නොපෙන්නුවට එයාලට හරියට වටිනවා තමන්ගේ ආත්ම අභිමානය. අපි විහිලුවට වගේ පිට අය ඉස්සරහ කියන පොඩි දේකින් තමයි ලොකු ප්‍රශ්න පටන් ගන්නේ.

වරදක් තියෙනවා නම් ඒක ස්වාමියා සහ බිරිඳ අතර කතා කරලා විසදගන්න. වෙන විකල්පයක් නැතිම නම් පමනක් තුන් වෙනි පාර්ශ්වය ක උදවු ගන්න.

5 ගේ ඇතුලේ මොන තරම් රණ්ඩු කරගත්තත් ඒවා පිටට ගෙනියන්න එපා

අම්මලා, තාත්තලා ඉස්සරහටවත්.....

අම්මලා,තාත්තලා ගෙන් ඈත් වෙලා දැන් අපිටම පවුලක් තියෙනවා ...අපිත් අම්මලා තාත්තලා වෙලා,අපිත් දැන් වගකීමක් තියෙන මිනිස්සු...අපේ ප්‍රශ්න අපි විසදගන්න ඕනි...

විශේෂයෙන්ම පවුලේ ප්‍රශ්න නෑදෑයන් ඉස්සරහට නම් ගෙනියන්නම එපා...ඒකෙන් එන්නෙත් ගොඩාක් භයානක ප්‍රතිපල...

6 කවදාවත් දරුවන් ඉස්සරහ රණ්ඩු කරන්න එපා

එකිනෙකාගේ වැරදි දරුවන්ට කියන්න එපා...ඒකෙන් වෙන්නේ ඔයාට පවුලත් නැති වෙලා ,දරුවනුත් නැති වෙන එක.

7 පුලුවන් හැම තිස්සෙම පිට අය ඉස්සරහනෑදෑයන් ඉස්සරහදරුවන් ඉස්සරහ තමන්ගේ ස්වාමියාව පසසන්න

පොඩ්ඩක් අතිශයෝක්තියත් දාලා(ගොඩක් නෙමේ හොදේ....පොඩ්ඩක් දාලා?)

උදා:-ඔයාලට ලැබිලා තියෙන්නේ ලෝකෙ ඉන්න හොදම තාත්තා.

බලන්න තාත්තා අපිට කොච්චර ආදරේද කියලා....ඒ වගේ.

මේක කියද්දී මගේ එක යෙහෙලියක් කිවුවා නැති හොද වර්ණනා කරන්න ගියාම එයාලා කවදාවත් හැදෙන්නේ නෑ කියලා,එයත් හරි.මෙතන මම කියන්නේ නැති හොද නෙමෙයි,තියෙන හොද ටිකක් වැඩි කරලා කියන්න .

උදා-ඔයාගේ මහත්තයා උදේට ඔයා නැගිටිද්දිම නැගිටලා කුස්සියට එනවා. ආවට උදවු කරන්නේ නෑ..ආපු වෙලාවේ ඉදන් මොබයිල් එකේ ..ඉතින් යාලුවෝ එකතු වෙලා කතා කරන වෙලාවක,මහත්තයා ත් ඉන්න තැන ඒ ගැන කතා කරන්න මෙහෙම

“ මගේ මහත්තයා නම් මම ඇහැරෙද්දී ම ඇහැරිලා කුස්සියට එනවා”.. .

මෙහෙම කිවුවොත් ඊලග දවසේ මහත්තයා අතින් ම හදපු රසම රස තේ කෝප්පයක් ලැබීමේ වැඩි සම්භාවිතාව ක් තියෙනවා.

“අපෝ එයා ඇහැරුනාට මොකටද,නැගිට්ට වෙලේ ඉදලා ෆෝන් එකේ”

කිවුවොත්???

හිතනවද මොනවා හරි වෙනස් වෙයි කියලා,යාලුවෝ හිත යටින් හිනා වේවි..මහත්තයා ගේ හිතත් රිදේවි...

මේකත් පොඩි පහේ මානසික අල්ලසක් තමයි.

මම මේකට පුංචි අත්දැකීමක් තියෙනවා ...මගේ චූටි දුව උපදින වෙලාවේ මගේ මහත්තයා ට උයන්න බෑ.කවදාවත් තේ එකක් වත් හදලා නෑ..වැඩිහිටි ගැහැනු කෙනෙක් අපි එක්ක හිටියෙත් නෑ...මටත් සිසේරියන් සැත්කමකින් දුවව ලැබුනේ...මගේ මහත්තයා රැකියාවෙනුත් නිවාඩු අරන්,අන්තර්ජාලෙන් බලාගෙන,පොත් බලාගෙන මගේ සහ ලොකු දුවගේ කෑම හදලා දුන්නා,මම පුලුවන් හැම වෙලේම,අපිව බලන්න එන අය එක්ක පවා ඒ ගැන කතා කරා...දැන් හැමදාමත් උදෙන් නැගිටලා ලොකු දුවගේ ඉස්කෝලේ ගෙනියන කෑම හදලා,හැමොන්ටම තේ හදලයි අපිව ඇහැරවන්නේ....ඒදේ මම කියන්නේ නැතුව එයාම හිතලා කැමත්තෙන්ම කරන්න මම පොඩි මානසික අල්ලසක් දුන්නා විතරයි.

8 දරුවන් සම්බන්ධ පුංචිම තීරණය ක් ගනිද්දි උනත් මුලින්ම දරුවගේ තාත්තා එක්ක කතා කරන්න

එයා කැමති නම් විතරක් පිට අයගේ  උපදෙස් ගන්න

9 නිතර නිස්කලංකව කතා බහ කිරීම පුදුද්දක්ක කරගන්න.

ඉඩක් තියෙන විවේකී වෙලාවක දරුවන්ගේ අනාගත සැලසුම්,දැනට වැඩ කරගෙන යන විදිය,වැඩ වලට ස්වාමියගෙන් ලැබෙන්න ඕන සහයෝගය වගේ දේවල් බොහොම නිවිසනසිල්ලේ කතා කරන්න.

10 කොයිම වෙලාවකවත් අනිත් පාර්ශ්වය වෙනස් කරන්න යන්න එපා.

ගොඩාක් අම්මලා කියන දෙයක් තමයි මහත්තයා හදාගන්න ඕන, එයාව මම හදාගත්තා වගේ දේවල්.

කෙනෙක්ව අපිට ඕන කරන විදියට වෙනස් කරගන්න එක ගැන නම් මගේ වැඩි කැමැත්තක් නෑ. එහෙම කරත් ගොඩාක් තාත්තලා පවුලේ සමගිය වෙනුවෙන් වෙනස් වෙලා හිටියට ඒක කැමත්තකින් කරන දෙයක් නෙමෙයි.මොන වෙලාවක,මොන විදියකට ඒ පීඩනය පිට වේවිද කියන්න බෑ

ගොඩාක් නරක,වැරදි කරන කෙනෙක් නම් හදාගන්න හෝ අත් අරින්න වෙනවනේ කොහොමත් . එහෙම නෙමෙයි නම් හොදම දේ එයාව තේරුම් අරගෙන එයාගේ විදියට අපි අනුගත වෙන එක,කාලයක් යද්දී දන්නේම නැතුව අපි බලාපොරොත්තු උනු ස්වාමියාම අපි එක්ක ඉදීවී.

11 අන්තිම සහ වැදගත්ම දේ

මහත්තයා,අම්මා,නැන්දම්මා හෝ වෙන කිසිම කෙනෙක් ,අඩුම ගානේ අපේ දරුවන් වත් අපිට උදවු කරන්න බැදිලා නෑ. ඒ හැමොන්ටම එයාලගේ ජීවීතයක් තියෙනවා. එයාලා හිතලා අපිට උදවු කරොත් එහෙමයි. නැත්නම් එහෙමයි.

දැන් අම්මලා අපියි....අපේ පවුල් හදා ගන්න ඕන අපියි....කෙටියෙන්ම මෙහෙම කියන්නම්....ඉන්ග්‍රීසියෙන් කියනව නම් "be a smart lady... called Mother “

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අප දෑස් විවර කර සැමියෙකුගේ සවිය දෙස වෙනත්ම කෝණයකින් බලන්නට අපට ආරාධනා කල අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක්(Educator of Early childhood Education and care)ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.