රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

ලෙහෙසෙයින්ම පහසුවෙන්ම රස දෙල් මාලුවක් හදා ගන්න

දෙල් කියන්නේ ලංකාවේ සුලභව වැවෙන පළතුරක් නොහොත් එළවළුවක්. මෙය දේශීය ආහාරයක් වුනත් නුතන මව් වරුන් වැඩි දෙනෙක් මෙය දේශීය ක්‍රමයට උයාගන්න දන්නෙ නැති මුත් කාගෙන්වත් අහන්නත් ටිකක් ලැජ්ජයි වාගේ.

මොකද අපි බොහොමයක් හිතන්නේ ලංකාවේ දේශීය ක්‍රමයට ආහාර පිළියෙළ කරන්න ටිකක් අමාරුයි කියලනේ. 

එහෙම හිතන අයට ඉතාමත්ම ලේසියෙන් හා පහසුවෙන් රසම රස දෙල් කරියක් හදා ගන්න හැටි තමා අද කියන්න යන්නේ. විශ්වාස කරනවද මට මේක හදන්න ගියේ විනාඩි 12යි. ප්‍රෙෂර් කුකර් එකක උයනවා නම් ඔබටත් මෙවැනි සුලු කාලයකින් මේ කරිය හදා ගන්න පුළුවන්.

රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

දෙල් කරි: උවමනා ද්‍රව්‍ය 

කුඩා දෙල් බෑයක් (250g පමණ)

කපා ගත් ලූණු ගෙඩි 1ක්

කපාගත් සුදු ලූණු බික් 2ක්

කපා ගත් අමු මිරිස් කරල් 1ක්

කරපිංචා ඉති 1ක්

අබ ඇට කුඩා තේ හැඳි 1ක් 

සූදුරු කුඩා තේ හැඳි 1/2ක්  

පොල් කිරි කෝප්ප 3/4ක් 

අමු තුන පැහැ තේ හැඳි 1ක්

උළු හාල් තේ හැඳි 1/2ක්

කුරුඳු පොතු කැබැල්ලක්  

කහ ස්වල්පයක්

ලුණු අවශ්‍ය පමණ

තෙල් ටිකක් 

සාදන ක්‍රමය 

  1. දෙල් පොතු කපා ඉවත් කර කැබලි වලට කපා ගන්න. 
  2. දැන් මෙය ප්‍රෙෂර් කුකර් එකට දමා වැසෙන්නට වතුරත්, කහ හා ලුණුත් මිශ්‍ර කර විසිල් දෙකක් යන තුරු තම්බා ගන්න. (ප්‍රෙෂර් කුකර් එකක් නැතිනම් සාමාන්‍ය සාස්පානක මෙලෙක් වන තුරු තම්බා ගන්න.
  3. වෙනම භාජනයකට තෙල් ටිකක් දමා ඊට අබ ඇට සහ සූදුරු දමා පුපුරන තුරු බැදගන්න.
  4. දැන් මෙයට ළුණු ටික දමා තෙම්පරාදු කරගන්න. මේ අතර තම්බා ගත් මිශ්‍රණයට පොල් කිරි   දමා ඊට ඉතිරි කළමණා ටික එක් කර ගන්න.
  5. දැන් යළි අබ තෙම්පරාදුව ලිප තබා දෙල් මිශ්‍රණය ඊට එකතු කරන්න.
  6. හොද්ද ඝන වන තුරු ටිකක් වසා විටින් විට හැඳි ගාමින් පිසගන්න.

දැන් ඉතින් ඔන්න  ඔබටත් පුළුවන් බය නැතුව රස දෙල් කරියක් උයල උජාරුවට මේසෙට අරින්න. මෙහි රස බලා එහි රස වින්දනය ගැන අපටත් කියල එවන්න. 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Niloufer Perera

කතන්දර ලිපි