රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

lead image

රස මෙන්ම ගුණෙන්ද පිරිපුන් මේ ඉතාලි ක්‍රමයට සැදු පැස්ටා එක පවුලේ සැවොම රස විඳිනවා නියතයි.

අපි ඉතාලි කෑමක් කාපු වෙලාවක Pesto Sauce වලින් සැදු Pasta එකක් රස වින්ද. මෙය බොහෝ රසවත් හා ගුණවත් නිසා මම මේක හැකි වෙලාවට ගෙදර හදනවා. මොකද මේක හදන්න ගන්න බෙසිල් කොළ නිතරම වෙළඳපොලේ ගන්න නැහැ.

පසුගියදා Keells Super එකේ පලා වර්ග තෝරනකොට නැවුම් බෙසිල් කොළ  ඇවිත් තිබුන නිසා මේ pasta එක හදල සාදන ක්‍රමය ඔබ සමඟ බෙදා ගන්නට හිතුවේ පවුලේ බාල මහළු කාටත්ව එකසේ ගුණ දෙන කෑමක් නිසයි.

බේසිල් කොළ පලා ගොඩේ නම් කර තිබෙන නිසා ඔබට හොයා ගන්නට අපහසු නොවන අතර පෙනුමට ඒවා මෙන්න මේ වගෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

Pasta හෝ Spaghetti 300g

බෙසිල් කොළ - අහුරක් පමණ  

පයින් ඇට නැතහොත් වෝල්නට් ඇට අහුරක් පමණ (හැව්ලොක් පාරේ ඩික්මන් මංසන්ධියෙන් හෝ ගුඩ් මාකට්හි What On Earth කුටියෙන් මෙම ඇට වර්ග මිලදී ගන්න පුළුවන්). 

*පයින් ඇට වෙනුවට වෝල්නට් හෝ කජු භාවිතා කරන්නද පුළුවන් 

ඔලිව් තෙල් - කෝප්ප භාගයක්

සුදුළුනු බික් තුනක්

ෆ්‍රෙෂ් ක්‍රීම් - කෝප්ප භාගයක්

කොටු කපා ගත් තක්කාලි  ගෙඩි - 2ක්

ලුනු ගම්මිරිස් (අවශ්‍ය පමණින්)

මීට් බෝල්ස් 200g (හතරට කපාගත්)

ලොකු ළුණු ගෙඩි 1ක් (කොටු කපාගත්)

සාදන ක්‍රමය

1. මුලින්ම පැකට්ටුවේ කියා ඇති පරිදි pasta හෝ spaghetti පිස ගන්න.

2. දැන් පයින් ඇට ටික කබලේ යන්තම් දුඹුරු පැහැ ගැන්වෙන තුරු බැදගන්න. (මෙය බැද ගන්නේ නැතිව වුවද පාවිච්චි කල හැක)

3. බෙසිල් කොළ, පයින් ඇට, සුදුළුනු බික් දෙකක් සහ ඔලිව් තෙල් බ්ලෙන්ඩරයේ දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ලුනු අවශ්‍ය පමණට යොදා ගන්න. මේ ඔබ සදා ගත්තේ චීස් රහිත පෙස්ටෝ සෝස් එකයි.

මෙයට පාමෙසන් චීස් මේස හැඳි තුනක් එක් කර ගැනීමෙන් තවත් රසවත් වනවා

5. දැන් තෙල් ටිකක් ලිප තබා සුදුළුනු බික් එකක් තෙම්පරාදු කර එයටම කපා ගත් ළුණු සහ මීට් බෝල්ස් එක් කොට තෙම්පරාදු කරගන්න. මෙයට කපා ගත් තක්කාලි එක් කර හොඳින් කලවම් කර ගන්න. ලුනු, ගම්මිරිස් ඇති පමණ යොදා ගන්න.

6. මිශ්‍රණයට ෆ්‍රෙෂ් ක්‍රීම් එක් කොට තම්බා ගත් pasta/spaghetti ටික ඊට එක් කර ගන්න.

7. දැන් මෙය පෙස්ටෝ සෝස් එක සමඟ මිශ්‍ර කොට හෝ වෙනම හෝ මේසයට පිළිගන්වන්න.

මෙම පැස්ටා එකේ විශේෂත්වය වන්නේ එහි විශේෂ ගුණයයි. පයින් ඇට, බෙසිල් කොල හා සංතෘප්ත මේදය සහිත ඔලිව් තෙල් යන මේ සියල්ලම ඉතාම පෝෂ්‍යදායි වන අතර වෙනස්ම රසයක් ගෙන දෙන මේ රෙසිපිය ඔයාල අද හෙටම අත් හදා බලයි කියා අප විශ්වාස කරනවා.