රාමසාන් කාලය ගැන රසවත් කරුණු කිහිපයක්

lead image

මේ රාමසාන් කාලය තුළ එම උත්සවය ගැන රසවත් කරුණු කිහිපයක් ගෙන හැර පාන්නෙමු. අනෙකුත් ජාති ආගම වල සිරිත් විරිත් අවබෝධ කර ගැනීමෙන් සාමය හා සංහිඳියාව වර්ධනය කරගත හැක.

මේ සුන්දර ශ්‍රී ලංකාව බහුවිධ හා බහුසංස්කෘතික උරුමයන් හා චාරිත්‍රයන්ගෙන් පිරී රටක්. අප දේශයේ උත්තරීතර ගුණාංගයක් වන්නේ මෙහි විවිධ ආගම් හා ජාතීන් අතර පවතින අන්යෝන්‍ය සමගිය හා සහජීවනයයි.

මේ සාමයට හා සමාදානයට දායක විය හැකි නම් අප දරුවන්ට සුන්දර සාමකාමී හෙට දිනක් සාදා දීමට අපටත් දායක වන්නට පුළුවන්. මෙසේ අපගේ සහජීවනය දියුණු කර ගත හැකි එක් ක්‍රමයක් නම් අනෙක් ඇයගේ ඇදහිලි හා චාරිත්‍ර ගැන අවබෝධ කර ගැනීමයි. අප අසල්වාසීන්ගේ චාරිත්‍ර වලට ගරු කිරීම තුළින් අපගේ දරුවන් තුල අප ඉවසීම, සංහිඳියාව වැනි උතුම් ගුණාංග ස්ථාපිත කරමින් වඩාත් සුන්දර වූ හෙට දිනකට අඩිතාලම සපයනවා.

ඉතින් මේ අරමුණ පෙරදැරි කරගෙන අද අප කතා කරන්නේ මේ දින වල අපගේ මුල්සිම් සහෝදර ජනතාව මෙනෙහි කරන රාමසාන් කාලය ගැන. අප බොහෝ විට රාමසාන් කාලය හඳුනන්නේ නෝම්බි අල්ලන කාලය හැටියටයි. නමුත් මෙම කාලයට මෙයට වඩා ගැඹුරු අරුතක් තියෙනවා.

රාමසාන් කාලය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට සුළු විස්තරයක් පහත දක්වමු.

1. රාමසාන් කාලය යනු කුමක්ද?
මුස්ලිම් ජනතාව වසරක් පාසා සමරන රාමසාන් උත්සවය හැම වසරේම දින තිහක් පුරා නිරාහාරව සිටීම, ආත්ම ධමනය, යාච්ඤාව වැනි පුණ්‍ය ක්‍රියා දාමයන් අවසන් කරන උත්සවයයි. රාමසාන් දිනය ඉස්ලාමිය චන්ද්‍ර කැලැන්ඩරය හා සම්බන්ධ වන අතර නව චන්ද්‍රයා දැකීම තුළින් නිශ්චිතවම රාමසාන් මාසය පටන් ගන්නා දිනය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් රාමසාන් කාලය සැම මාස නවයකටම වරක් සිදු වනවා. මෙම වසරේ රාමසාන් කාලය මැයි මස 26 වනදා ඇරඹුණා.

2 රාමසාන් කාලය තුළ නෝම්බි ඇල්ලීම යනු කුමක්ද?
රාමසාන් කාලය පුරාවට සිදු වන වත් පිළිවෙතක් අතරින් මුල් තැන ගන්නේ නෝම්බි ඇල්ලීමයි. එනම් දිනපතා හිරු උදා වන්නට පෙර පළමු ආහාර වේල අනුභව කරන බැතිමතුන් යළි හිරු බැස යන තුරුම කිසිඳු ආහාරයක් හෝ පානයක් පමණක් නොව කෙළ බිඳක්වත් ගිලින්නේ නැහැ. මෙසේ කරන්නේ මුලික වශයෙන් දුප්පතාගේ බඩගින්න හඳුනාගැනීමටත් ආත්ම ධමනය හුරු වීමටත්ය. නෝම්බි ඇල්ලීම තුළින් ශාරීරික මෙන්ම ආත්මික පවිත්‍ර කිරීමක් සිදුවන අතර මෙම ආත්ම ධමනය තුළින් දෙවියන් කෙරෙහි අවධානය වැඩි වන බවත් එතුළින් මනස පාරිශුද්ධ කළ හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

3 රාමසාන් කාලය තුළ බැතුමතුන් කරන/නොකරන අනෙකුත් විශේෂ ක්‍රියාවන් මොනවාද?
මේ කාලයේ දුම් පානය හෝ පසිඳුරන් පිනවන අනෙකුත් සියලුම ක්‍රියා වලින් මිදී සිටීමට මෙම බැතිමතුන් වග බලා ගන්නවා. වැඩි වැඩියෙන් යාච්ඤා කටයුතු වල නියැලීමත් සිදු වනවා. රාමසාන් කාලයේ විශාල වශයෙන් දාන මාන කටයුතු සිදු කෙරෙන අතර නැති බැරි අය සමඟ විශාල වශයෙන් බෙදා හදා ගැනීම් සිදු කරනවා. හවස ආහාර වේල නොහොත් නෝම්බි ඇරීම සිදු කරන ඉෆ්තාර් ආහාර වේල අප රටේ දන්සැල් දෙනවා සේ මං මාවත් වල කුඩාරම් ගසා බෙදා හදා ගන්නා අපුරුව අරබිකරයේදී මා අත් දැක තිබෙනවා.

4 රාමසාන් උත්සවය
ඉහත කී ආත්මික හා ආගමික ක්‍රියා දිනා තිහක් පුරාවට සපුරා අවසාන දින බොහෝ ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සැමරෙනවා. මෙදින පවුලේ සැම එක්වී විනෝද වී තෑගි බෝග හුවමාරු කර ගනිමින් වැඩිහිටි නෑ මිතුරන් සමඟ එකතු වන විශේෂ දවසක්. මෙදින අපගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ගේ සවාන් බෝජනයක් රස විඳ වටලප්පම් කෑමට අප මග බලාගෙන ඉන්නවා.

රාමසාන් උත්සවය ගැන දැන ගැනීම අපටත් වැදගත් වන්නේ අප රටේ සහෝදර ජනතාවගේ විශේෂ ආගමික වතාවත් තේරුම් ගැනීම තුළින් ඔවුන්ගේ විශ්වාසයන් වලට ගරු කිරීමටත් ඔවුන්ගේ විශේෂ දවස් වල සතුට අවබෝධයෙන් බෙදා හදා ගැනීමටත් එවිට අපට හැකි වන නිසා. මෙවිට අද කාලයට අත්‍යාවශ්‍ය සාමය හා සහජීවනය අප තුළින් ඉගෙන ගන්නා අපගේ දරුවන් මතු පරපුරට ඒවා ගෙන යනවා.

මේ රාමසාන් කාලය තුළ මුස්ලිම් ජනයාගේ කැප කිරීම හා ආත්ම ධමනය පසුපස ඇති සුන්දර අරුත ප්‍රශංසනීයයි නේද? මුස්ලිම් නොවන අනෙකුත් ශ්‍රී ලාංකිකයින් හැටියට රාමසාන් කාලය තුල ඔවුන් සිටිනා අවට කෑම් බිම්, දුම් බිම්, සතුටු වීම් ආදිය මග හැරීමෙන් අපගේ සුහදශීලී බව තුළින් හා පරිණත බව තීව්ර කර සැබෑ සහෝදර ලාංකිකයන් සේ අප දරුවන්ට සොඳුරු හෙට දිනක් සාදන්නට අපට දායක වන්නට පුළුවන්.