රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව

රැකියාවක් කරන අම්මා, මේ ලිපිය ඔබටමයි.

මේ සීත දෙසැම්බරයේ උදේ පාන්දර හතරට නැගිටින්නේ වෙව්ල වෙව්ලා. අනේ පැටවුන්ට තව ටිකක් තුරුල් වෙලා නිදා ගන්න තිබ්බානම් කොච්චර හොදද කියලා හිතෙනවා.

ඒත් මොනවා කරන්නද? පැංචෝ දෙන්නට නිවාඩු වුනාට අම්මි ඔෆිස් යන්න ඕනීනේ.

පාන්දර හතරේ ඉදන් පැය දෙකක්ම එකම යුද්ධයයි. බත රොස් නොකර, හොදි කර නොකර උයන්න, තේ හදන්න, භාජන හෝදන්න, ඔෆිස් යන්න ලෑස්ති වෙන්න වගේ දාහක් වැඩ අස්සේ පුංචි බන්සියෝ දෙන්නට කුක්කු පොවන ආදරණීය වැඩෙත් තියෙනවා.

මේ පටන් ගන්න දවසත් ලේසී පහසු නැහැ. පැය ගානක් මග ගෙවාගෙන ඔෆිස් යන්න, ඔෆිස් එකේ වැඩ, ආපහු එන්න, රෑ කෑම හදන්න, බබාලාගේ වැඩ රෑ දහය එකොලහ වෙනකම් නොනවතින යන්ත්‍රයක් වගේ කරන්න වැඩ මට තියෙනවා

ඒත් මුළු දවසේම එක මොහොතක් හැර අන් කිසිම දේකින් මං සැලෙන්නේ නැහැ. ඒ තමයි උදේ ඔෆිස් යන්න පිටත්වෙන මොහොත, පුංචි කදුළු පිරිච්ච ඇස් හතරක් අසරණව මං දිහා බලන් ඉන්නවා.

හරියට අනේ අම්මේ යන්න එපා කියනවා වගේ, ඒ වදන් ඒ පුංචි හදවත් වලින් ඒ මොහොතේ දහස් වරක් කියනවා ඇති, ඒ පුංචි ඇස් දිහා බලාගෙන මට යන්න බැහැ කියලත් හිතෙනවා.

මගේ හදවත මට තව මොහොතක් ඉන්න කියනවා වගේ , ඒත්  දැන් කෝච්චිය එයි කියලා මගේ හිත මට අනතුරු අගවනවා. අන්න ඒක නිසාම මං යන්න පිටත් වෙනවා.

අඩියක් ඉස්සරහට තිබ්බොත් අඩි දෙකක් ආපස්සට එනවා වගේ, කී පාරක් නම් ආපහු හැරිලා බලලා මං හුල්ලනවාද?

මං දන්නවා පුංචි හිත් දෙකක් හදවතින් හඩා වැටෙනවා ඇති, කොහොම හරි ගෙදරින් එළියට ආහම කෝච්චියට දුවන අන්තිම මැරතන් ධාවකයා වෙන්නෙත් මම,,ඒ තරම් වේලාවක් මම දොර ලග ලතවෙලා.

ඇත්තටම මේක මගේ විතරක් නෙවේ රැකියාවක් කරන හැම අම්මා කෙනෙක්ගේම ශෝචනීය කථාව , අසීරුතම මොහොත...