ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය තුළ භීතියට පත් රටේ දරුවන් අස්වසාලන්නේ කෙසේද?

lead image

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ මියුරු චන්ද්‍රදාස මහතා ළමා මානසික කම්පනය සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙයි.

ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ ඛේදනීය දිනයක් ලෙස 2019 අප්‍රියෙල්න් 21 වනදා ලාංකීය අපගේ මතකයේ රැඳෙනු ඇත.

පාස්කු ඉරිදා උදාවත්ම මරාගෙන මැරෙන ත්‍රස්තයින් විසින් ඉතා සංවිධානාත්මක ලෙස රට පුරා ප්‍රදේශ කිහිපයක දේවස්ථාන කිහිපයකටත් නගරයේ ප්‍රසිද්ධ හෝටල් කිහිපයකටත් දරුණු සහ මාරාන්තික ප්‍රහාරයක් දියත් කලේ  අහිංසක මිනිස් ජීවිත රැසක් බිලි ගැනීමේ අරමුණින්.

අහිංසක ජිවිත රැසකට මෙය ජීවිත හානි සහ තුවාල පැමිනවුයේ මිනිසුන් සිය ගණනක් මරණයට පත් කර පවුල් ගණනාවක් දෙකඩ කොට බලාපොරොත්තු සුන් කරමින්.

මරණයට පත් වූවෝ දැන් සමාදානයේ සැතපෙන අතර සෙසු ලංකාවාසින් තවමත් මෙම අනපේක්ෂිත ඛේදවාචකයෙන් ත්‍රාසයට පත් වී භීතියෙන් එදා දවස ගෙවනු දක්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර වලින් වඩාත්ම බලපෑමට ලක්වූ කොටසකි. ඒ අහිංසක කුඩා දරුවන්.

මෙම ප්‍රහාර වලින් දරුවන් 40කට අධික පිරිසක් මිය ගිය අතර ඊටත් වඩා පිරිසක් තුවාල ලැබුවා. මින් තවත් විශාල කොටසක්, තම දෙමාපියන්, සොයුරු සොයුරියන්, දන්නා කියන උදවිය කුරිරු ලෙස, ලේ විලක් මැද, කඳුළු ගඟක් මැද, මෙලොවින් සමුගන්නා අකාරය තම දෑසින් දුටුවේ කීවක් තේරුම් ගැනීමට අසීරුවෙන්.

මේ දරුවන් සැමෝම ප්‍රහාර සිදුවූ ස්ථානයේ සිටි අයවලූන් නොවේ, බොහෝ දෙනෙක් නිවෙස් වල සිටිනා අපගේ අහිංසක දරුකැලයි.  පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම දරුවන් මෙසේ නිවාස අඩස්සියේ පසුවන්නේ සුපුරුදු සේ දරුවන් සමඟ එලිබැස ජීවිතය ගෙන යාමට පසුබට වන දෙමාපිය අපගේත් තැතිගැන්ම හා භීතිය හේතුකොටගෙනයි.

පසුව භීතියෙන් පසු වන මෙම සමාජයේ පහසුවෙන්ම තිගැස්මකට ලක්විය හැකි ඇති සංවේදී කොටසකි… ඒ අපගේ අහිංසක දරුවන්.

කිසිදින ත්‍රස්ත ප්‍රහාර, බෝම්බ, වෙඩි තැබීම් වැනි කෘර අත්දැකීම් වලට මුහුණ දී නැති අපගේ අහිංසක දරුවන් දැන් තම සමාජය තුළම එවන් අත්දැකීමක ආදීනව වලට අනපේක්ෂිත ලෙස  මුහුණ දෙනවා.

දෙමාපිය අපගේ සිත්වල ඇති අනපේෂිත බව, විපරිත බව සහ භීතිය මුසු කාන්සාව, අපගේ චර්යාව, කටහඬ සහ තැතිගැන්ම තුළින් ඔවුන් පැහැදිලිව දකිනවා. අප දෛනික පුවත් වෙත නිරතුරු අවධානය යොමු කරමින් සිටින විට පසෙක සිට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මේ දරුවන්ද දෛනික පුවත් විචාරයන් දෙස නෙතු අයා නොපසුබට උත්සාහයක යෙදෙනවා.

මෙම අහිංසක දරුවන්ට ශාරීරික හානියක් සිදුව නැතත්, මානසික හානියකට මුහුණ දෙන අතර එම හානිය ශාරීරික හානියකට වඩා වඩාත් ගැඹුරු විය හැකියි.

ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය

ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය: දරුවන් මානසික කම්පනයෙන් මුදාගනිමු

පුංචි දරුවන් අත්දකින මෙම මානසික කම්පනයෙන් ඔවුන් මුදාගැනීමට දෙමාපියනට හැකිවේදැයි තහවුරු කර ගැනීමට මා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ උපදේශක ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ මියුරු චන්ද්‍රදාස මහතාගෙන් මේ පිළිබඳව අදහස් විමසුවා.

මෙවන් ඛේදජනක ප්‍රහාර ආශ්‍රිත අත්දැකීම් වලට දරුවන් නිරාවරණය වීමේදී,  එක් එක් වයස් ඛාණ්ඩ වල දරුවන් සමඟ සන්නිවේදනය කිරීමේ විශේෂ ආකාර හා මානසික කම්පනයකට මුහුණ දුන් දරුවන් හඳුනාගන්නා ආකාර ගැනත්, එම කම්පනයේ දරුවා මත ඇති කර ඇති බලපෑමේ ප්‍රමාණය තේරුම් ගැනීමත් ආදී ගැටළු ආශ්‍රයෙන් මා ඔහුවෙත ඉදිරිපත් කල ප්‍රශ්න කේන්ද්‍ර වුනා.

මා ඉදිරිපත් කල එම ප්‍රශ්න වලට එතුමා පහත දැක්වූ වටිනා අදහස්, දෙමාපියන්, පාලිකාවන් මෙන්ම ගුරු භවතුන් ආදී දරුවන් සමඟ නිරතුරු ගැටෙන කොයි කාටත් ඉමහත් ප්‍රයෝජනයක් වනවා  නිසැකයි.

* සම්මුඛ සාකච්ඡාව සරලව සහ පැහැදිලිව ඉදිරිපත් කිරීම උදෙසා සුළු සංශෝධනයන් සිදු කර ඇත.

1. සිදු වූ ඛේදවාචකයක් දරුවන් සමඟ කතා බහ කිරීමේදී;

– ළමා සහ පෙර පාසැල් දරුවන් සමඟ කතා බහ කිරීමේදී සැලකිය යුතු කරුණු (වයස අවුරුදු 2 සිට 6 දක්වා)

මෙම වයස් වල දරුවන් සමඟ මෙවන් ඛේදජනක ප්‍රවෘත්ති බෙදාගැනීමෙන් හැකිතාක් වලකින්න. දරුවන් මේ ගැන නොදන්නේ නම් ඔවුන් සමඟ ඒ ගැන අදහස් හුවමාරු කිරීම අනවශ්‍ය නිසා, හැකි නම් ඔවුන් නින්දට හිය පසු වැඩිහිටියන් මේ ගැන කතාබහ කරන්න.

නමුත් මෙවන් ප්‍රවෘත්තියක් ඔවුනට අනාවරණය වුවා නම්, ඔවුන් සුරක්ෂිත බවත්, ඔබගේ පවුල් සුරක්ෂිත බවත්, දරුවන්ගේ ආරක්ෂාව ඔවුනට ඔබෙන් නිරතුරු ලැබෙන බවත්, ඔවුනට බිය වීමට කාරනාවක් නැති බවත් ඔවුනට වටහා දෙන්න. දරුවන් නිසි වේලාවට නින්දට යවන. ඔවුන් මානසිකව කැළඹී ඇත්දැයි නිරීක්ෂණය කිරීමට, ඔවුන් නිදියන රටාවේ වෙනසක් තිබේදැයි අවධානයෙන් පසුවන්න. දරුවන්ට සුපුරුදු ලෙස දවස ගතකිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබාදෙන්න.

– ප්‍රාථමික සහ මධ්‍යස්ත පාසැල් දරුවන් සමඟ කතා බහ කිරීමේදී සැලකිය යුතු කරුණු (වයස අවුරුදු 7 සිට 12 දක්වා)

මෙම වයස් ඛාණ්ඩයේ දරුවන් ගැන දෙමාපියන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔවුන්ගේ පෙර සේ නිදියනවාද, සුව නින්දට බාධා වනවාද, වෙනත් වෙනස්කම් පිළිබිඹු කරනවාද යන්න ගැන අවධානයෙන් සිටිය යුතුයි. (මේ ගැන පහළින් විශේෂ සටහනක් කරමු). ත්‍රස්ත ප්‍රහාර ගැන ඔවුන් හා කතාබහ කිරීමට මත්තෙන්, ඔවුන්ගේ වයස සහ ස්වභාවය, ඔබගේ අත්දැකීම සහ අනුදැනුම මත, සිදුවූ දේ අතුරින් ඔවුනට කීමට අවශ්‍ය දත්ත මොනවාදැයි  තීරණය කරගන්න.

සිදුවීම් වල බිහිසුණු විස්තර නොපවසා සිදුවීම සාරාංශයක් ලෙස ඔවුන් හා පැවසීම වඩාත් සුදුසුය. දරුවන්ගේ අදහස් ඔබ සමඟ බෙදාගන්නට ඔවුනට අවස්තාව දෙන්න. ඔවුනට හොඳින් ඇහුම්කන් දෙන්න.

දරුවන් ඔබ ගැන ඇති විශ්වාසය පවත්වාගැනීම වැදගත් බැවින් මේ ගැන අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.

ත්‍රස්තයින් වීරයින් නොවන දුෂ්ඨයින් කොටසක් බව බව ඔවුනට පහදා දෙන්න. මෙවන් ක්‍රියා වලට අනුබලයක් නොවන ආකාරයෙන් නොයෙක් කොටස් සමඟ ඇතිවිය හැකි උද්වේගය ගැන කතාබහ කරන්න. දරුවාගේ හැඟීම් සහ අදහස් වලට සවන් දීම සහ ඔවුන් තේරුම් ගැනීමට කාලය වය කිරීම ඉතාම වැදගත් බව තේරුම් ගන්න.

– නව යොවුන් වියේ දරුවන් සමඟ කතා බහ කිරීමේදී සැලකිය යුතු කරුණු (වයස අවුරුදු 13න් ඉහල දරුවන්)

මෙම දරුවන් ප්‍රහාරයන් ගැන බොහෝ දේ දැන සිටිනවා විය හැක. කෙසේ වෙතත්, ඔවුන්ගේ තොරතුරු ලබාගන්නා ප්‍රභවයන් නිල නොවන සමාජ මාධ්‍යයන්  හා යහළු මිත්‍රයන් තුළින් පැතිරෙන නොයෙකුත් කට කතා ආදියෙන් පැමිණෙන අවිශ්වාසදායක තොරතුරු විය හැකිය. ඔවුන් දන්නා දේ පිළිබඳව ඔවුන්ගෙන් අසා දැනගන්න.ඔවුනට හොඳින් සවන් දෙන්න. දැන් නිරවද්‍ය තොරතුරු කාරුණිකව සහ බුද්ධිමත්ව විස්තර කර දෙන්න.

මෙම සිදුවීම් පිටුපස ගැඹුරු සමාජ-සංස්කෘතික අර්ථයක් ඇති බව වටහා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම ඉතාමත්ම වැදගත් බව සිහි තබාගන්න. දරුවන්ට මාධ්‍ය සහ ප්‍රවෘත්ති වලින් ඔබ්බට ගිය යතාර්ථය හඳුනාගැනීමට උපකාරකරන්න. රට ගැන අශුභවාදී අදහස් ඔවුන් තුළ හටගැනීමට ඉඩ නොතබන්න. නිදසුනක් ලෙස, “මේ රට කවදාවත් සුරක්ෂිත නොවේ” වැනි දෑ කීමෙන් වලකින්න.

ස්ථාවර රටක් හා සුරක්ෂිත සමාජයක් ගැන දරුවට බලාපොරොත්තු ඇතිකරන්න. රටෙහි ආරක්ෂක තත්වය අනුව, ඔවුන්ගේ සුපුරුදු චර්යාවන් වල නිරත වීමට හැකි ඉක්මනින් ඉඩ සලසන්න. මේ අතර දරුවාගේ දින චර්යාව හා හැසිරීම් ගැන සුපරික්ෂාකාරී වන්න. නව යොවුන් වියේ දී ඇතිවන මානසික පීඩනයන්ගේ ලක්ෂණයන් හඳුනාගැනීමට ඔබේ අවධානය ඉතා වැදගත් වන නිසාය.

ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය 2019 – ඔබේ දරුවාට ඇතිවිය හැකි මානසික කම්පනය ගැන සුපරික්ෂාකාරී වන්න

2. ත්‍රස්ත ප්‍රහාර වලින් ශ්‍රී ලාංකික දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපෑම් ඇතිවිය හැක්කේ කෙසේද?

බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම්, ස්වාභාවික ආපදාවන් ආදී අනපේක්ෂිත මානසික කම්පනයන් තුලින් දරුවන්ගේ මනසට මානසික අසමතුලිතතාවයක් ඇතිවිය හැකි බව අධ්‍යන වලින් පෙන්වා දෙනවා. මෙවන් අවස්ථා වලට මුහුණ දුන් පුද්ගලයින්, පශ්චාත් කම්පන මානසික ආතතිය සහ කාංසාව ආශ්රිත ආබාධ වලට මුහුණ දීමේ වැඩි ප්‍රවනතාවක් දක්වන බවට වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන්ම බෝම්බ ප්‍රහාරයන් ඇතුලු ප්‍රචණ්ඩ සිදුවීම් ආදිය දැකීමෙන් පසු මෙවන් පශ්චාත්-කම්පිත රෝග ලක්ෂණ වර්ධනය වීමේ විශාල අවධානමකට දරුවන් මුහුණ දෙනවා. වෙනත් රටවලට බෝම්බ ප්‍රහාර වලින් පසු සිදුකල අධ්‍යයන මගින් මේ බව සොයාගෙන තිබෙනවා.

මෙම සන්දර්භය තුළ, ලංකාවේ පාස්කු ප්‍රහාර වලට ප්‍රචණ්ඩත්වයට සෘජුව මුහුණ දුන් පුද්ගලයින් හා ඔවුන්ගේ කිට්ටුවන්තයින් පශ්චාත් මානසික කම්පනයට පත්වන්නට පුළුවන්.

ළමා මානසික සෞඛ්ය පිළිබඳ පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ දරුවන් එවැනි ප්‍රචණ්ඩත්වයට වක්‍රව නිරාවරණය වූ විට පවා මානසික කම්පනයට පත්විය හැකි බවයි. අධ්යයන වලින් තවදුරටත් පෙන්නුම් කෙරෙන්නේ, මෙම සිදුවීම් ආශ්‍රයෙන් කෝපය හා ආක්‍රමණශීලි සිතුවිලි වර්ධනය වීමේ වැඩි ප්‍රවනතාවක්ද ඇතිවිය හැකි බවයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස, පසුගිය දශක කිහිපය පුරා අප බොහෝ අවස්ථාවලදී ප්‍රචණ්ඩත්වය අත්විඳ තිබෙනවා. අද දින දෙමාපියන් වන අප බොහෝදෙනෙක්, අපගේ ළමා කාලයේ යුද්ධයේ කෲරත්වය සැබෑ ජීවිතයේ දී මෙන්ම මාධ්‍යය තුලින්ද මුහුණ දී තිබෙනවා.

කෙසේවෙතත්, වර්තමානයේ දරුවන් අපට සාපේක්ෂව ස්ථාවර හා සාමකාමී දශකයක් ගෙවූ බැවින් වලදී මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා වලට මුහුණ දී නැහැ. මේ නිසා නිවසේ රුපවාහිනී හා මාධ්‍යය තිර වල දිස්වන බෝම්බ පිපිරුම්වල රූප හා වීඩියෝ දර්ශන දැකීම ශ්‍රී ලාංකික දරුවන්ට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත.

මේ නිසා දරුවන්ගේ මානසික සුභ සිද්ධිය පවත්වාගැනීමේ ලා විශේෂ වගකීමක් දෙමාපියන්, ගුරුවරුන් සහ වෙනත් රැකවලුන් මත පැටවෙනවා.

3. දරුවකු තුළ මානසික කම්පනයක් ඇතැයි පිළිබිඹු වන සුලභ ලක්ෂණ මොනවාද?

  • සුව නින්දක් නොමැති කැළඹීම්, නින්ද අඩුකම හා නපුරු සිහින
  • අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති අපහසුතාව
  • නිරන්තරයෙන් පවතින සෘණාත්මක සහ ශෝකී ස්වභාවය.
  • මෙම සිදුවීම් නැවත ඇතිවේයැයි පවතින දැඩි බිය
  • තනිවී සිටින්නට ඇති උවමනාව
  • නිරන්තරයෙන් මෙන්ම අහඹු ලෙස සිතෙහි මැවෙන ප්‍රචණ්ඩකාරී, හා අක්රමනශීලි මතකයන් සහ රූප
  • සුපුරුදු ක්‍රියාකාරකම්වලදී ඇති උදාසීනත්වය
  • භාහිර ක්‍රියාවක් නිසා හට නොගත් නිතර ඇති හිසරදය සහ අනෙකුත් ශාරීරික වේදනාවන්
  • නිතර ඇති වන තැති ගැස්ම සහ අස්ථාවර බව

4. දරුවකු තුළ මානසික කම්පනයක් ඇතැයි පිළිබිඹු වන දුලබ ලක්ෂණ මොනවාද?

  • භාහිර හේතුවක් නොමැතිව හටගන්නා ශාරීරික රෝග ලක්ෂණ කිහිපයක් එකවර පිළිබිඹු කරනහුස්ම ගැනීමේ අපහසුතාව, නිරන්තර හිසරදය උදාර වේදනාව, ශාරීරික වේදනාව.
  • හීන වූ පෞරුෂන්ත්වය, අපේක්ෂා භංගත්වය, මානසික ඝට්ටනය, කේන්තිය සහ ආක්‍රමණශීලි බව.
ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය

දරුවා තුළ ඇතිවිය හැකි මානසික කම්පනය තුල දරුවාට ක්‍රමානුකුලව සාමාන්‍ය ලෙස දවස ගෙවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න.

5. ත්‍රස්ත ප්‍රහාර වල ප්‍රතිපලයක් ලෙස තම දරුවන් කුමන හෝ ආකාරයක මානසික කම්පනයක් ඇති ආකාරයේ ලක්ෂණ පෙන්වන්නේ නම් දෙමාපියන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

බොහෝ අවස්ථාවලදී, දරුවන්ට අවශ්‍ය මානසික සහනය සහ ආරක්ෂාව සැපයීමට දෙමව්පියන්, ගුරුවරුන් සහ දරුවන්ගේ භාරකාරයින් සැදී පැහැදී සිටිය යුතුයි. කෙසේවෙතත්, ඔබේ දරුවා ඉහත සඳහන් විස්තර කළ පරිදි මානසික කම්පනයට ලක්ව ඇති කියාපාන රෝග ලක්ෂණ වේ නම් වෛද්‍ය උපදෙස් කර යොමු විය යුතු වනවා.

එවැනි අවස්ථාවන්හිදී, ඔබට:

  • මනෝ චිකිත්සක උපදෙස් ලබාගැනීමට කඩිනම් කල යුතුයි.
  • ඔබගේ සමීපතම ශික්ෂණ රෝහල, පොදු රෝහල හෝ මුලික රෝහල වෙතට යොමු වී ළමා සහ යොවුන් මාර්ගෝපදේශන සායන හෝ මානසික සායන උපදෙස් ඉල්ලා සිටිය යුතුයි. මෙම ඒකකවලින් අවශ්‍ය ඔබට සහාය සහ මගපෙන්වීම ලබා ගත හැකි වනවා.

6. දෙමාපියන්ට තම දරුවන්ටගේ සිත් තුළ සැනසීම සහ ආරක්‍ෂිත බව ස්ථාපිත කල හැක්කේ කෙසේද?

මෙවැනි අර්බුදයක් තුළ චිත්තවේගීය ඇගයීම අතිශය වැදගත් කරුණක් වනවා. මෙය සිදු කිරීම සඳහා දරුවාගේ ගැටළුසහගත ප්‍රශ්න වලට ඉවසීමෙන් සවන් දීමත් ඒවාට දරුවා දිරිමත් කරන අකාරයේ පිළිතුරු ලබාදීමත් අතිශයින්ම වැදගත් වන කාරණාවයි.

දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් වලට බල නොපාන පරිදි ස්ථාවර භෞතික පරිසරයක් ඔවුනට ලබාදීම අපගේ පරම යුතුකමක් වනවා.

හැකි ඉක්මනින් දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් වලට යෙදෙන්නට ඔවුන් උනන්දු කල යුතුයි. ඔබගේ පරිසරය සහ අසල්වාසීන් අනුව, දරුවන්ට සාමාන්‍ය පරිදි එදිනෙදා දවස ගත කරන්නට අවශ්‍ය පරිසර ගොඩනගා ඔවුන්ගේ විශ්වාසය ස්ථාවර කල යුතු වනවා.

7. දරුවා නැවත පාසැල් යාම සඳහා සූදානම් කළ යුත්තේ කෙසේද?

  • ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පාසල් පරිසරයේ යම් වෙනස්කමක් ඇති වන බවට දරුවන්ට පවසන්න.
  • මේ අනුව දරුවාගේ ආරක්ෂාව, දරුවාගේ ප්‍රවාහන ආරක්ෂාව ආදිය ශක්තිමත් වන බව ඔවුන්ට තේරුම් කරදෙන්න.
  • මෙම  තත්වය උඩ යම් කනස්සලු භාවයක් ඇතිවීම ස්වභාවික ඔවුනට පහදා දෙන්න.
  • අතීතයේ දී ශ්‍රී ලංකාව මෙයටත් වඩා දරුණු අභියෝග වලට මුහුණ දී ඒවා ජයගෙන ඇති බවත් නොගො දිනකින් සියල්ල යතා තත්වයට පත්ව සුරක්ෂිත වනු ඇති බවත් දරුවන්ට පවසන්න.
  • සියලු දරුවන්ට විවිධ ඝනයේ ශාරීරික හා මානසික වෙනස්කම් බව දරුවන්ට පහදා දිය යුතුයි. එකිනෙකාගේ උස, බර, සමේ පැහැය සහ මුහුණේ පෙනුම වෙනස් වන ලෙසම දරුවන්ට හා පවුල්වලට අවේනික වූ ආගමික විශ්වාසයන් හා සංස්කෘතික භාවිතයන් ඇති බව පහදා දිය යුතුයි. මෙම විවිධාකාර වෙනස්කම් වල එකතුව අප ශක්තිමත් ප්‍රජාවක් බවට පත් කරන බව කියා දිය යුතුයි. එය දක්ෂ කිකට් කණ්ඩායමක විවිධ දක්ෂයන්ගේ එකතුවක් වන සේ ඇතැමුන් දක්ෂ පිතිකරුවන් වන අතර ඇතැමුන් දක්ෂ පන්දු යවන්නන් වන අකාරය මෙයට ආදේශ කල හැක.  
  • දරුවන්ගේ ක්‍රියාවන්, ඔවුන් පවසන දේ ආදිය තවකෙකුගේ සිත රිද්දන්නට හැකි බැවින් තවෙකෙකු නොරිද්දන ආකාරයෙන් සිටින්නට දරුවාට උගන්වන්න. මක්නිසාද ශ්‍රී ලංකිකයන් සංවේදී ජන කොට්ඨාශයක් වන බැවිනි.
  • වෙනත් ආගමිකයන්ගේ විශාවසයන්ට ගරු කල යුතු බවත් ඔවුන්ගේ විශ්වාසයන් ගැන ස්ථිර නිගමන වලට නොපැමිණිය යුතු බවටත් දරුවාට පහදා දීම ඉතා වැදගත් වනවා.

8. ඉස්ලාම් භක්තික දරුවන්ට යම් හෙයකින් හෝ පීඩනයක් ඇතිවේනම් එම දෙමාපියන්, ගුරුවරුන් සහ භාරකාරයින් ඊට මුහුණ දිය යුත්තේ කෙසේද?

  • මුලින්ම පංතිභාර ගුරුවරයා දැනුවත් කල යුතු බව දරුවාට කියාදෙන්න. ඔබේ දරුවාට තම හැඟීම් නිවසේදීම ඔබ හා බෙදාගන්නට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න. රටේ ඇතිව ඇති කලහකාරී තත්ත්වය ඔවුන්ගේ වරදින් සිදුවූවක් නොවන බව ඔවුනට පහදා දෙන්න.

මෙය ඉතා සංකීර්ණ මනෝවිද්‍යාත්මක සහ සමාජ-සංස්කෘතික තත්ත්වයක් වන බැවින්, අවශ්‍ය වුවහොත් ළමා මානසික සෞඛ්යය සම්බන්ධ විශේෂඥය උපදෙස් ලබාගන්නට පසුබට වන්නට එපා.

9. ඇත්ත වශයෙන්ම කිවහොත්, ශ්‍රී ලාංකික දෙමාපියන් බහුතරයක් මෙම කාලයේ කන්සාවෙන් සහ තැතිගැන්මෙන් පසුවීම රහසක් නොවේ. මෙම තත්වයට සියලු දෙමාපියන් මුහුණ දිය යුත්තේ කෙසේද?

  • මෙය රටෙත් සමාජයේත් සුඛවිහරණය සඳහා දැවැන්ත පසුබෑමක් බව පිළිගන්න. මින් ඇතිවිය හැකි බලපෑම් ගැන සිතා බලා ඒවා මිතුරන් සහ පවුලේ කිට්ටුවන්තයින් සමඟ බෙදාගන්න.
  • අතීතයේ ඔබත්, ඔබේ සාමජයත් මේ හා සමාන තත්වයන් වලට මුහුණ දුන් බව සිහිතබාගන්න. ලාංකීය ඉතිහාසයේ මෙවන් අභියෝග ජයගත් ආකාරයත්, ඊට ඔබේ තාරුණ්‍යයේ ඔබ දුන් දායකත්වයත් අනුස්මරණය කරන්න.   
  • රුපවාහිනි සහ සාමාජ ජාල ඔස්සේ නරඹන සහ කියවන ප්‍රවෘත්ති වලින් මදක් මිදී ඔබේ ප්‍රියතම සංගීතයට ඇහුම්කන් දෙන්න. ඔබ පවුලේ අයගේ පැරණි වීඩියෝ දර්ශන නරඹන්න. ආගමික වතාවත් වල යෙදෙන්න.
  • භාවනාව (ආනපනාසතී – සතිපට්ඨාන ආශ්වාස ප්‍රශ්වාස අභ්‍යාසය) බොහෝ සහන ගෙන දෙන්නකි.
  • ඔබේ දරුවන් හා පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන්න. දාන් ඇදීම, කරම් ගැසීම, කාඩ් ගැසීම වැනි පුවරු ක්‍රීඩා වල යෙදෙන්න.
  • අවශ්‍ය ඕනෑම විටෙක මානසික සෞඛ්ය වෘත්තිකයකුගේ උපකාර ලබා ගැනීමට පසුබට වන්නට එපා.

ජිවිත අහිමි වූ අහිංසක ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙනුත්, ඔවුන්ගේ පවුල් වල සියල්ලන් වෙනුවෙනුත්, තුවාල වුවන් සහ නං ආකාරයෙන් පීඩාවට ලක් වූ සියල්ලන් වෙනුවෙනුත් AsianParent හි අපි අපගේ ශෝකය හා කණගාටුව හදවතින්ම ප්‍රකාශ කරනවා. මේ දුෂ්කර අවස්ථාවේ පැහැදිලි එක් දෙයකි: අප බලාපොරොත්තු සුන් කර නොගෙන එකා සේ යළි නැගීසිටීමට ඇතිකරගත යුතු අධිෂ්ඨානයයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

Written by

Niloufer Perera

app info
get app banner