ලක් මවට සෙනෙහසැති ඇති දරුවන් ගොඩ නගන්නේ මෙහෙමයි

රටට දායාදයක් වන සේ රටට හිතැති දරුවන් බිහි කරමු.

මේ දිනවල සරසවි සිසු විරෝධතාවක් නොමැති දවසක් නැති තරම්. කොළඹ පමණක් නොවේ රට පුරාම සිසු විරෝධතා සහ කැරලි කෝලහාල සුලභ දසුනක් වෙලා. මේ ගැන සෑම පුවත්පතකම විස්තර පළ වෙනවා. මේ විරෝධතාවන් වල හරි වැරැද්ද පිළිබඳව අප විවිධ මතිමතාන්තර දරන්නට පුළුවන්.

නමුත් දහසක් බලාපොරොත්තු ඇතිව දුක් මහන්සි වී හරි හම්බ කර සරසවියට පා නැගූ ඒ දරුවන්ගේ ආදර දෙමාපියන්ට මොන තරම් ආඩම්බරයක් හිතේ උපදින්නට ඇත්ද. එම දරුවන් පවා සරසවියට පා තබන්නට ඇතිතේ දහසකුත් හීන බලාපොරොත්තු ඇතිව.

යොවුන් සමනළ වයසේ මේ දරුවන්ගේ අභීත මානසිකත්වයෙන් ප්‍රයෝගන ගන්නා දේශපාලකයන්ගේ මුසා වාද වලින් උද්දීපනය වී, අධ්‍යාපන කටයුතු පසෙක ලා කිසිම වගකීමකින් තොරව මේ දරුවන් පාරට බසින්නේ තමන්ට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි කියා වත් අවබෝධයක් නැතිව. මේ දරුවන් පාරවල් ගානේ දකින වාරයක් පාසා මා සිත පිරී යන්නේ අනුකම්පාවක් මිශ්‍ර වූ අවුල් සහගත හැඟීමකින්.

පසුගියදා කොළඹදී දියත් කළ එවන් වර්ජනයකින් පසුව දක්නට ලැබූ කැලි කසළ හා තැන් තැන් වල විසි වූ බෝඩ් ලෑලි වල දසුන් දුටු විත මා සිත කෝපය මුසු වූ ලැජ්ජාවකින් සසල වී ගියා.

හෙට දින මගේ දරුවන්ද ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙලෙසින්ම සටන් කරනු ඇත. ඔවුන්ගේ වට පිටාව කැලි කසළ වලින් අපවිත්‍ර කරනු ඇත. රැකියාවට යන එන මවුපියවරුන්, පාසැල් යන දූ දරුවන් පැය ගණන් පාරවල් වල දහඩිය දමමින් කාලය කෑමට සලස්වනු ඇත. සමාජයට සුසිරිත් වලින් පිරි පිරිපුන් දරුවන් බිහි කරන්නට වෙර දරන මා හට මෙවන් සිදුවීමක් පන්නරයක් වේවිද?

අද කාලයේ බොහෝ දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිනවා. මෙය ඉතා සුදුසු වුවත් අධ්‍යාපන කටයුතු නිසා දරුවන්ට කියා දිය යුතු වටිනාකම් බොහොමයක් මග හැරෙනවා. තමන්ගේ මවුබිමට ආදරය කිරීම, ඉල්ලීමට වඩා පිදීමට පෙළඹීම, පරිසරය සුන්දරව තබා ගැනීම, අන්‍යොන්‍ය සහයෝගය  වැනි දෑ බොහෝ විට නොසලකා හැර තිබෙනවා.

හෙට දවසේ රටට ආදරය කරන, සුන්දර ආකල්ප ඇති දරුවන් බිහි කරන්න අප තවමත් ප්‍රමාද නැහැ. ඒ සඳහා පිළිපැදිය හැකි ක්‍රියාමාර්ග කිහිපයක් සලකා බලමු.

1. කුඩා කල සිටම දරුවන්ට ස්වාධීන වීමට උදවු කරන්න

අද බොහොමයක් මවුවරුන් දරුවන්ගේ පාසැල් දිවිය පුරාවටම ඔවුන්ගේ පසු පසින්ම සිටිනවා. ඔවුන්ගේ පාසලේ ප්‍රශ්ණ වලට උවමනාවට වඩා සම්බන්ධ වෙනවා. ගුරුවරින්ගේ කාර්යභාරයටත් පමණට වඩා මැදිහත් වෙනවා.

අප මේ දේවල් කරන්නේ දරුවාගේ සුභ සිද්ධිය සඳහා කියා සිතුවත්, මෙයින් අප නොදැනුවත්වම දරුවාගේ පරිණත භාවය ගොඩ නැගීමට අප විසින් භාධක පනවනවා.

දරුවන් නිතැන්තින්ම හුරු වන්නේ සැම විටම තමන් මුදවා ගැනීමට මා පියන් ඉන්නා  බව. එයින් තනියෙම ප්‍රශ්ණ විසඳ ගන්නට හුරු වෙනවා වෙනුවට හැම විටම පැමිණිලි කිරීමටත්, තමන් වෙනස් වනවා වෙනුවට අනුන් වෙනස් කිරීමටත් පෙළඹෙනවා.

2. තනිවම නැගී සිටීමට හුරු කරන්න.

අප රටේ පවුල් අතර තිබෙන බැඳීම් බටහිර රට වලට වඩා ප්‍රභලයි. මෙය සුන්දර දෙයක්. නමුත් මේ බැඳීම් නිසා බොහෝ දෙනෙක් අනුන්ගෙන් පමණට වඩා බලාපොරොත්තු වීමට හුරු වී සිටිනවා.

දෙමාපිය සොහොයුරු සහයෝගය, නෑදෑ හිතමිතුරන්ගේ සහයෝගය පමණක් නොවේ ධනවත් යැයි සිතෙන නෑදෑ හිත මිතුරන් ගෙන් මිල මුදල් බලාපොරොත්තු වන අවස්ථාද නැතුවා නොවේ. මෙසේ බලාපොරොත්තු වනවාට අමතරව එසේ නොකෙරෙන අවස්ථා වල හිත් අමනාපකම්ද ඇති වෙනවා.

අප නිවෙස් තුළම අපගේ අදායම් හා හැකියාවන් අනුව ජිවත් වීමට හුරු වීමෙන් අප අපගේ දරුවන්ටද ලබා දෙන්නේ තමන්ට හැකි ලෙස හොඳින් ජිවත් වීමට හොඳ පුර්වාදර්ශයක්.

3. ශ්‍රමදානය හා පරිත්‍යාගයට දරුවන් හුරු කිරීම

අප කුඩා කාලයේ පන්සලේ පල්ලියේ වැඩ වලට සහභාගී වුනේ බොහොම උද්යෝගයෙන්. ආගමික ස්ථාන පිරිසිඳු කිරීම්, ගමේ ශ්‍රමදාන, දන්සල් මංගල්ල ආදී උත්සව එනකල් අප මග බලාගෙන හිටියා. ගමේ මළ ගෙවල් මගුල් ගෙවල් වලට දෙමාපියන් සමඟ අප හරි හරියට මහන්සි වුනා මට මතකයි.

අද කාලයේත් මේ සුන්දර දේවල් අප රටේ කෙරුනද ඒවාට වැඩි වශයෙන් දායක වන්නේ වැඩිහිටි උදවිය. දරු මල්ලන් විභාග වලට පාඩම් කරන නිසා දෙමාපියන් මවැනි ප්‍රජා මෙහෙවර වලින් දරුවන් ඈත් කර තබන සෙයක් දක්නට ලැබෙනවා. නමුත් කුඩා කල සිටම දරුවන් සමග එක්ව අනුන්ට උදව් පදව් කිරීම, පොදු දේවල් වලට සහභාගී වීම තුළින් දරුවා සමාජයට බරක් නොවී වැඩදායි පුද්ගලයෙකු බවට පත් වෙනවා.

4. මගේ නොව අපේ යන හැඟීම දෙන්න

මේ සුන්දර රටේ අපි හැමෝටම පාහේ ලස්සන ගෙවත්තක් තිබෙනවා. මේවා විසිතුරු මල් පැළ වවා වර්ණවත් කර තිබෙනවා. දිනපතා ගෙවත්ත සුද්ද පවිත්‍ර කරනවා. මෙයින් එක් අදියරක් ඔබ්බට ගොස් සමහරුන් තමන්ගේ වැට මායිමෙන් එහා පොදු පාරවල් පවා සුද්ද පවිත්‍ර කරනවා.

මෙවැනි පරාර්ථකාමී දසුන් නෙත මෙන්ම සිතත් පිනවනවා. හැම දේම පාලකයන්ගේ පිට නොපටවා පොදු දේපළ අපගේම දේපළ මෙන් ආදරෙන් රැක බලගතහොත් අපේ දරුවන්ටද එම හැඟීම ඇති වනවා. අපේ මව් බිමට ආදරෙන් පිරිසිඳුව තබා ගැනීමට ඔවුන් නිරායාසයෙන්ම පෙළඹෙනවා.

දරුවන් වැඩිපුරම උකහා ගන්නේ මාපිය අප කියනා දේ නොව කරනා දෙයයි. ආදර්ශය තුළින් අපට දරුවට දිය හැකි පරිණත භාවය සහ අනර්ග ආකල්ප මිල කරන්නට බැහැ.

මේ දේවල් සිතට ගැනීමෙන් ඔබේ නිවසත් අනුන්ට සතුට හා බලාපොරොත්තුව බෙදන සිරි නිවසක් කරගන්නට හැකි වේයැයි විශ්වාස කරනවා. මේ දේවල් තුළින් රටේ විරෝධතා පවත්වන දරුවන් වෙනුවට රට වෙනුවන් යමක් දායාද කරන දරුවන් ගොඩනැගීමට අපට හැකි වනවා නියතයි.