වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

වාර විභාගයට ඔන්න මෙන්න කියා තිබියදී දරුවා ඊට සූදානම් කිරීමේ කෙටි ක්‍රමයක් තමා මේ

පාසැල් වාර විභාගය අත ළඟම එනවා. බොහෝ දරුවන් අද අතිශයින්ම කාර්ය බහුලයි. පාසලේ අමතර වැඩ, අමතර ක්‍රියාකාරකම් ආදිය නිසා දරුවා ගෙදර එන්නෙත් බොහෝ රෑ බෝ වෙලා. දරුවන් දිනපතා පාඩම් කටයුතු වල යෙදීමෙන් විභාගය ඔන්න මෙන්න තිබියදී වැඩ ගොඩ ගැහෙන්නේ නැති බව අප හැමෝම දන්නා කරුණක්. නමුත් ඉතින් දරුවන්ගේත් දෙමාපියන්ගේත් කාර්ය බහුලත්වය නිසා මෙසේ කිරීම කරනවාට වඩා කියන්න ලේසියි.

ඉතින් අද මේ කියන්නට යන්නේ එවන් කාර්යබහුල දූ දරුවන්ට, දෙමාපියන්ට දවසෙන් දෙකෙන් විභාගයට සුදානම් වීමේ රහස් ක්‍රමයක් ගැන. විශේෂයෙන්ම දරුවා අමතර පන්ති නොයන කෙනෙක් නම් මේ ක්‍රමය තවත් සාර්ථක වන්නේ දරුවන්ගේ හිසට උවමනාවට වඩා පාඩම් වැඩ පිරවීම යෝග්‍ය නොවන නිසා.

මේ ක්‍රමය පුංචි පන්ති වල සිට ශිෂ්‍යත්ව පන්ති දක්වා හෝ එයින් ඉහළ වසර වලට වුනත් යොදා ගන්න පුළුවන්. මෙය පිළිසකර කල යුත්තේ දෙමාපියන් විසින්. 

එක දවසින් වාර විභාගයේ එක් විෂයකට සුදානම් වන්නේ කෙසේද?

  1. දරුවාට සාමාන්‍යයෙන් ටිකක් අමාරු විෂයක් මුලින්ම තෝරා ගන්න
  2. දරුවාට සතිපතා/මාස්පතා දෙන අභ්‍යාස කොළ ටික රැස් කරගන්න. මේවා සතිපතා එකතු කොට නිවසේ file කිරීම ඉතාමත්ම යෝග්‍යයි.
  3. දරුවාගේ අච්චු පොත හා ලියන පොත ලඟට ගන්න
  4. දරුවාගේ පෙර වාර විභාග ප්‍රශ්න පත්‍රය අතට ගන්න.
  5. මේ දේවල් පිළිසකර කරන තෙක් දරුවාට වෙනත් විෂයක් තෝරා ගෙන පුනරීක්ෂණය කරන ලෙස උපදෙස් දෙන්න.
  6. දැන් මෙම ඛාණ්ඩ තුනෙන් ප්‍රශ්න තිහක පමණ අනුමාන ප්‍රශ්න පත්‍රයක් පිළියෙළ කරන්න.
  7. ඉහත තෝරා ගත ප්‍රශ්න වලට පිළිතුරුද වෙනම කොලයක සටහන් කර ගන්න.
  8. මෙම පිළියෙළ කිරීමේදී එම තෝරාගත් විෂයේ මේ වන තුරු ඉගැන්වූ කාල පරාසයටම අයත් දත්ත අනුව ප්‍රශ්ණ පත්‍රය පිළියෙළ කරන්න.
  9. දැන් දරුවාට පොත් ටික නැවත ලබා දී පාඩම් කිරීමට පැයක් හෝ දෙකක් දෙන්න.
  10. දැන් ප්‍රශ්න පත්‍රය කිරීමට දරුවාට ලබා දෙන්න.

මෙම ප්‍රශ්ණ පත්‍රය කිරීමේදී දරුවා පිළිතුරු සපයන ගමන් විෂය පරාසය ඉක්මනින් පිරික්සීමට උත්සුක වනවා. පරණ වාර විභාග ප්‍රශ්න පත්‍රය නිරික්සීමෙන් ප්‍රශ්ණ ආසන පිළිවෙල හා රටාව ගැන අපටත් අවබෝධයක් එනවා.

මෙම ක්‍රමය මගේ දරුවා කුඩා කල සිටම අනුගමනය කරන නිසා දැන් ඇයට මා විසින් සකසන අනුමාන ප්‍රශ්න පත්‍රය නැතිවම බැහැ. එය ගෙදරදී කිරීමෙන් ඇයට ආත්ම විශ්වාසයක්ද ඇති වනවා.

ඉතින් ඔබත් මෙම ක්‍රමය අත්හදා බලන්න. දරුවාට ඉගෙනීමත් සතුටක් වනවා නොඅනුමානයි. විභාග කාලයේදී දරුවාට අවශ්‍ය නින්ද, විවේකය ආදී එලෙසින්මේ අත් විඳින්නට දීමෙන් දරුවාගේ සෞඛ්‍යට බොහෝ හිතකර වනවා.