වැඩිහිටියන්ට ගරු කරන්න දරුවන් කුඩා කල සිට හුරු කල යුත්තේ ඇයි?

වැඩිහිටියන්ට ගරු කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න

අනුකරණය ගැන දැනුවත් වෙන්න

 දරුවන් පලමුව සමාජය ගැන ඉගෙන ගන්නේ පවුලෙනි. ඔවුන් තමන්ගේ පරිසරය තුල ජීවත් වෙන අම්මා, තාත්තා ,ආච්චි, සීයා සහ අනෙකුත් අයගේ භාෂාව ,චර්‍යාවන් අනුකරණය කරයි. ඒ පිලිබඳ මනා අවබෝධයකින් කටයුතු නොකලොත් ඒ මගින් දරුවන්ට ලොකු බලපෑමක් සිදු වේ. ඔබ නොදන්නවා වුනාට ඔබේ දරුවා ඔබව ඉතා සමීපයෙන් නිරීක්ෂණය කරන බවත්,ඔබව අනුකරණය කරන බවත් අමතක නොකරන්න. උදාහරණයක් ලෙස ඔබ ඔබේ වැඩිහිටියන්ට සලකන ආකාරය ඔබේ දරුවන් ඒ පිලිබඳ ලබන පලමු පාඩම බවත් මතක තියා ගන්න.

වැඩිහිටියන් කවුදැයි ඔවුන්ට හදුන්වා දෙන්න

වැඩිහිටියන් කවුදැයි දරුවන්ට හදුන්වා දිය යුත්තේ අපිමය. එසේ හදුන්වා දීමේදී මේ ඉන්නේ අම්මා ,තාත්තා ,ආච්චි අම්මා, සීයා,අයියා ,අක්කා ලෙස නිසි තත්වයෙන් හදුන්වා දෙන්න. ඔවුන් ඇමතීමට වෙනත් නම්,සුරතල් නම් හෝ ඔයා,එයා,මෙයා යන වචන භාවිතා නොකරන්න.

ඔබ වැඩිහිටියන්ට සලකන හා ගරු කරන ආකාරය පිලිබඳ දරුවන් විමසිල්ලෙන්

ඔබ වැඩිහිටියන්ට කතා කිරීමේදී භාෂාව මනාව හැසිරවීම ඉතා වැදගත්ය. ඔබ වැඩිහිටියන්ට බැන වදින්නේ නම් අනිවාර්යයෙන්ම අනාගතයේ දිනෙක ඔබට පසුතැවීමට සිදුවෙනු ඇත. මන්ද ඔබව නිරීක්ෂණය කරන ඔබේ දරුවා දිනෙක ඔබට එසේ අමතනු නිසැකය. වැඩිහිටියන්ට සැලකීමේදීද එසේය.ඔබේ වැරදි ආදර්ශ දිනෙක ඔබ පෙලනු නිසැක සේම ඉදිරි දරු පරපුරටම වැරදි ආදර්ශයක් පරම්පරාවෙන් දයාද වෙනු නියතය.

අම්මා ,තාත්තා ,ගුරුවරු හා වැඩිහිටියන්ට සලකන්න වෙනම දිනයක් අවශ්‍ය නොවන බව ඔබේ දරුවාට පහදා දෙන්න.

බටහිර සංස්කෘතිය විසින් පෙරදිග සමාජය ආක්‍රමණය කල අවස්ථාවක් ලෙස මව්වරුන්ට,පියවරුන්ට,ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අවුරුද්දේ එක දිනයක් වෙන් කිරීම මා දකිනවා. මේ වැඩිහිටියන් වෙනුවෙන් අවුරුද්දට එක දිනයක් වෙන් කිරීම වෙනුවට අවුරුද්ද පුරාම වැඩිහිටියන්ට සලකන අයුරු ඔබේ දරුවාට කියා දෙන්න.

අම්මාට, තාත්තාට, ආච්චි අම්මාට, සීයාට වතුර කෝප්පයක් ගිහින් දෙන්න ඔබේ දරුවාට උගන්වන්න. අම්මාගේ, තාත්තාගේ,ගුරුවරයාගේ දෙපා නැමදින්න ඔබේ දරුවාට කියා දෙන්න.

සියාට, ආච්චි අම්මාට පුංචි පුංචි අත් උදව් දීලා සතුටු වෙන්න ඔබේ දරුවාට උගන්වන්න.එවිට අවුරුද්දට එක දවසක් ආදරේ වචනයෙන් ප්‍රකාශ කරනවාට වඩා අවුරුද්ද පුරා වැඩිහිටියන්ට ක්‍රියාවෙන් සෙනෙහස නිසි ගෞරවය ලබා දෙන්න ඔවුන් පුරුදු වේවි. එවිට  ඔබේ ආදර්ශමත් දරුවා අනාගත ලෝකය දිදුලවාවි.