වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

lead image

ඔබේ දූපුතුන්ට සහ ආදරණියයන්ට වැලන්ටයින් දිනය තුල පමණක් නොව, සැමදාමත් ඔබේ අවධානය හැම මොහොතකම මසුරුකමින් තොරව පුදන්න. ආදරයක නියම අරුත ඔවුන් එයින්ම වටහා ගනු ඇත.

වැලන්ටයින් දිනය

ක්‍රියාශීලී සහ නිර්මාණශීලි සාමාජිකයින්ගෙන්, වෛද්‍ය මඬුල්ලකගෙන් සහ ඇපකැප වූ ඇඩ්මින් මඬුල්ලකගෙන් සැදුම් ලත්, මව්වරුන්ගේ එදිනෙදා ගැටලුවලට විසඳුම් දෙන තෝතැන්නක් වන ශ්‍රී ලංකන් මම්ස් ෆේස්බුක් සමූහය විසින් වැලන්ටයින් දිනය නිමිත්තෙන් පවත්වන ලද ලිපි තරඟයේ ජයග්‍රාහී ලිපිය:

මොකද්ද මේ වැලන්ටයින් දිනය? අපි විතරක් නෙමෙයි අද පාසල් යන පොඩි දරුවෙක් වුනත් කියයි නේද?

ආදරවන්තයින්ගේ දිනය.....

මව්වරුන්ගේ දිනය, පරිසර දිනය, ලෝක ළමා දිනයක් මෙකී නොකී දින අතරට ආපු මේ ආදරවන්තයන්ගේ දිනය කොහොමද හැදුනේ, මොකක්ද මේ නම?

කතා කරමු අපි ඒ ගැන…………….

මේ කතාවේ මුලාරම්භය සිදු වෙන්නේ ක්‍රිස්තු පූර්ව 270ට ආසන්න කාලයකදියි. ඒ තමයි පැරණි රෝමයේ යුධමය වතාවරණයක් රට පුරාම පැතිරුන, දෙවන ක්ලෝඩියස් අධිරාජයාගේ යුගය. නූතනයේ පවා ලෝකයේ රටවල හමුදා සේවයේ යෙදෙන්නන් හට විවාහය සම්බන්ධ නිතී රිති පැනවීම සිදුවන්නක්. එලෙසින්ම ක්ලෝඩියස් අධිරාජයාගේ අණ පරිදි රටේ සියළු නිරෝගී තරුණයන් රාජ්‍ය සොල්දාදු සේවයට බැඳීමත්, එමෙන්ම ඔවුනට විවාහ වීම නීතියෙන් තහනම් කිරීමත් සිදු වුණාලු.

නමුත් තරුණ සිත් හදුනා ගත්ත එකල විසූ වැලන්ටයින් සාන්තුවරයා තරුණ තරුණියන් අතර විවාහ කටයුතු රජුට හොර රහසේ ම සිදු කරාලු.

මේ බව සැල වූ ක්ලෝඩියස් අධිරාජයා, වැලන්ටයින් සාන්තුවරයා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේලු. වෛද්‍ය ක්ශෙස්ත්‍රයේද නිපුණත්වයක් සතුව පැවති ඔහු බන්ධනාගාර ගතව සිටියදී, රෝගීන් සුවපත් කිරීමේ කාර්‍යයන්ගේද නිරත වූ බව සඳහන් වේ. එ සමයෙහි ඔහු විසින් බන්ධනාගාර නිලධාරිතුමාගේ අන්ධ දියණියටද පෙනීම ලබාදුන් අතර, මරණ දඬුවමට පෙර ඇයට ලියූ සමුගැනීමේ ලිපියෙහි අත්සන යොදා තිබුණේ "ඔබේ වැලන්ටයින්" යනුවෙන් බවයි සඳහන් වන්නේ.

පෙබරවාරි මස ආදරවන්තයින් සඳහාම විශේෂ වූ සැණකෙළි සමයක් බවට ආදිතමය යුගයේ පටන් රෝමයේ භාවිතා කල බව සඳහන් වේ. ඒ අනුව වැලන්ටයින් සාන්තුවරයාගේ වියෝවෙන් 200 වසරකට පමණ පසු ඔහු මෙලොව හැරගිය දිනය වන පෙබරවාරි 14 දින ආදරවන්තයේ දිනය ලෙස නම් කෙරුණි.

විවිධ සංස්කෘතීන්ට අනුව ආදරයේ සංකේතය ලෙස රතු රෝසමල් , චොකලට් ආදි තෑගි හුවමාරුවෙන් ආදරවන්තයේ දිනයට වාණිජ්‍ය ස්වරූපයක් ලබාදීම 19 වන සියවසේ සිට ආරම්භ වූවක් බව තමයි පෙනී යන්නේ.

ආදරවන්තයින් කියන්නේ කවුද?

ආදරවන්තයින් කියන්නේ ප්‍රේමයෙන් බැඳුන සිත් ඇත්තන්ට.

නමුත් ප්‍රේමය කියන දෙයෙහි අරුත නොදන්න පුංචි පැටව් පවා අද ප්‍රේම කරන්න අරන්. අතීත කතාවෙන්ම අපට පෙනී යන දෙයක් තමයි ආදරවන්තයින්ට වෙන් වූ මේ දිනය හැදිලා තියෙන්නේ සුන්දර ලෙස හිතපු මිනිසුන් නිසා කියලා.

අපි විවිධ සංස්කෘතීන් අපේ රටට ආඳා ගනිද්දි ඒ දේවල් අපිට කොතරම් උචිතද කියලා සලකා බැලිය යුතු මෙන්ම, අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්.
අද වෙද්දී ආදරවන්තයින්ගේ දිනය එක් පැත්තකින් වානිජ්‍ය මූලික පරමාර්ථය කරගත් කාර්යයයක් පමණක්ම වෙලා . අනෙක් අතට දුක්ඛිතම කාරණය වන්නේ එම ව්‍යාපාරිකයින්ගේ මූලික ඉලක්කය වන්නේ හිරිමල් යෞවන/යෞවනියන් වීමයි.

අපට මෙහෙම දිනයක් ඕනද?

හැමදාම ආදරෙන් ඉන්නවා නම්, ආදරයට වැලන්ටයින් දිනය වැනි වෙනම දිනයක් මොකටද? අපි බොහෝ දෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්.ඔව්,ඇත්ත.ඒත් අපි එකිනෙකාගේ ජීවිත එක් එක් කාලවලදී වෙනස් වෙනවා. කොච්චර නොපිළිගත්තත් අපි හැමෝම රේස් එකක් දුවනවා.පොඩ්ඩක් නැවතිලා හති අරින්නත් වෙලාවක් ඕන නේද?

ඒ වගේම අපේ ඒකාකාරි ජීවිතයට අපි නොයෙක් සැමරුම් දිනයක් ඔබ්බ ගන්නවා.හිතන්න අපි අපේ උපන්දිනම සැමරුම් දිනයක් විදියට යොදාගන්නේ ඇයි? දුර ඉන්න, කාලෙකින් හමුනොවුන ආදරණීයන්ට පවා එදාට නුඹව මතක් වෙනවා නේද?

අම්මාගේ ලඟින් ඉද්දි මව්වරුන්ගේ දිනයක අවශ්‍යතාවක් අපට නෑ.අම්මා හැමදාම අපේ.ඒත් අම්මා ලඟ නැතුව දුරු රටකට එහෙම ගියොත් ඒ දිනයේත් වටිනාකමක් අපට දැනෙනවා.

ඒ වගේ තමයි ආදරවන්තයන්ගෙත් දිනය කෙනාගෙන් කෙනාට අනුව ඇතැම් පුද්ගලයින්ට වැදගත්කමක් ඇතිවිය හැකි දිනයක්.

ඔබ වටා සිටින ඔබේ දියණියට, පුතනුවන්ට, ඔබේ ආදරණීයයන්ට ඔබෙන් ලැබිය යුතු ආදරය, අවධානය හැම මොහොතකම මසුරුකමින් තොරව පුදන්න. ආදරයක නියම අරුත ඔවුන් එයින්ම වටහා ගනු ඇත.

වාණිජකරණයට ලක්නොවී ඕනෑම දිනයක් නිසි අවබෝධයකින්, අර්ථාන්විතව සමරන්න හැකි නම් හැම දිනයක්ම ලස්සන දිනයක් වේවි.

~ ඔෂදිනි රුවන්තිකා ~

මෙම ලිපිය සමුහය වෙත ඉදිරිපත් කල  ඔෂදිනි රුවන්තිකා වෙත අපගේ හෘදයාංගම ස්තුතිය!

තරඟය සඳහා ඉදිරිපත් කල තවත් සුවිශේෂී ලිපි එකතුවක් මෙතැනින්.