විවාහය: ඔබ පමා වැඩියි

lead image

විවාහය කියන්නේ ආදරයෙන් සුරකින්න ඕනී සම්බන්ධතාවයක්. ඒත් ඒක නොසිතූ මොහොතක බිද දමා යන්න හිතුනොත්, හිත හීලෑ නැත්තම්, ඔබ තැනු කැදැල්ල අතැර දමා යනවාද?

ජීවිතය කියන්නේ රගමඩලක් , ජීවිතයේ අපිට හමුවෙන ඇත්තෝ මෙන්ම දාලා යන ඇත්තෝ අතර ලියවුන මේ කථාව ඔබට අපූරු පාඩමක් කියාදේවි. 

අනුෂ හා හිමාලි විවාහය වුනේ ආදරය කරලා. අනුෂ හිමලිගේ පළවෙනි ආදරය වුනාට අනුෂ පළමු ආදරයෙන් පැරදිලා ඉන්නකොට තමයි එයාට හිමාලිව මුණ ගැහුනේ. 

හිමාලි ඉතා සුන්දර වගේම අවිහිංසක කාන්තාවක්. ඔවුන්ගේ ආදර කතාවත් හරිම සුන්දර එකක් වුනා.

දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්ක විවාහ වුන ඔවුන් දෙදෙනා සුරතල් පුතුන් දෙපලකගේ ආදරණිය මව්පියන් වුනා.  ජීවිතය මල් යහනාවක්ද හිතෙන තරම් ජීවිතය සුන්දර වුනා.

ඒත් පුතුන් දෙදනාගේ වැඩත් එක්ක හිමාලි ටිකක් කාර්ය බහුල වුනා. අනුෂ ගැන හොයා බලන්න ටිකක් අතපසු වුනා. ඔය අතරේ අනුෂගේ පළවෙනි ආදරය වුන රිද්මා  අනුෂට ආයමත් මුණ ගැසුනා.

ඇය ජීවිතය වරද්දා ගෙන යුගදිවියද බිද ගෙන සිටියා. මුදලට වහා වැටී  ලොකු සල්ලිකාරයෙක් වෙනුවෙන් අනුෂ අතහැරි තමාට ජීවිතය වැරදුනෙත් ඒදා තමා හිගන්නෙක් ලෙස දුටු අනුෂගේ ජීවිතය මල් යහනක් වුනෙත් කෙසේදැයි රිද්මා කල්පනා කලා.

එල්ලෙන්න තවත් වැලක් නොවු තැන රිද්මා අනුෂව තමා සතු කරගන්න තීරණය කලා.

තම ඉතාම සුන්දර බිරිද නිවසේ පුතුන් දෙදෙනා වෙත කැප වෙද්දී අනුෂගේ හිත යලිත් රිද්මා වෙත ඇදි ගියේ රිද්මාගේ සියලුම උත්සහයන් සඵල කරමින්,

මුලින් හුදෙක් ප්‍රේමයක් වු නමුදු පසුව රිද්මාට අනුෂ අත්පත් කර ගැනීමේ දැඩි උවමනාවක් ඇති වු අතර අනුෂ ඉබේම ඇයගේ අදහසට නතු වුනා.

එක් දවසක්  නිවසට අනුෂ ආවේ හිමාලි  කිසි දවසක නොදුටු අමුත්තියක් එක්ක, අනුෂගේ මිතුරන් කවදාත් හිනාවෙන් පිළිගත්ත හිමාලි එදත් මේ අමුත්තියට ලෙන්ගතු වුනා. එහෙත් රිද්මා ගස්සා අහක බලා ගත්තා. හීමාලී විශ්මයෙන් අනුෂ දෙස බැලුවා. ඔහු බිම බලාගෙන හිටියා.

“අනුෂයි මමයි ආදරය කලා. ඔයා තමයි අපේ ආදරේ මැද්දට ආවේ අපිට විවාහ වෙන්න ඕනී. ඔයා ඩිවොස් වෙන්න."

රිදිමා ඒකවරම ගහෙන් ගෙඩි එන්නා වගේ කිව්වා. හිමාලිගේ ඇස් වල කදුලු පිරුනත් එයා ඒවා හංගගත්තා.

“අනුෂ මේ ඇත්තද? ඔයාට මාව එපාද? ඔයාට මගෙන් ඩිවෝස් වෙන්න ඕනිද?“

හිමාලි ඇහුවේ එච්චරමයි.

අනුෂ හිස වනා ඔව් යැයි කියන විට හිමාලිගේ ඇස් කදුලින් බොද වුනා. රිද්මාගේ මුවගට ජයග්‍රාහී හිනාවක් එක් වුනා.

“ඔයා යන්න අනුෂ කමක් නැහැ. පුතුලා දෙන්නා විතරක් මට තියලා යන්න.“

හිමාලි අන්තිමට කිව්වා.

“අපිට කොහොමත් ඔයාගේ ළමයි එපා“

හිත් පිත් නැති එකියක ලෙස එහෙම කිව්වේ රිද්මා, අනුෂ මුනිවත රැක්කා.

අනුෂ හිමාලි ආදරණිය යුග ජීවිතය එක් මුසල උදෑසනක උසාවි බිමක අවසන් ගමන් ගියා. අනුෂට මාසෙකට එක් දවසක් ඉරිදා පමණක් පුතුන් දකින්නට අවසර ලැබුනා.

හිමාලි ඉතා අමාරුවෙන් පුංචි රස්සාවක් හොයා ගත්තා. පුතුන් දෙදෙනා වෙනුවෙන් ඇය මුදල් හොයා ගත්තේ එහෙම, උසාවියෙන් දරුවන්ට නඩත්තු ගෙවන  ලෙස අනුෂට නියම වුනත් රිද්මාගේ බලපෑම මත අනුෂ කිසිදිනෙක එය ලබා දුන්නේ නැහැ.

හිමාලි ඒ ගැන කවදාවත් ඇහුවේ නැහැ. ඇය හැකි පමණ සිය පුතුන් දෙදෙනා පොෂණය කලා. ඇත්තටම එදා උසාවි භූමියෙන් නික්ම ගිය පසු කිසිදිනෙක හිමාලි අනුෂගේ ඇස් ඉදිරියට ආවේ නැහැ.

ඔහු දරුවන් බැලීමට එන හැම දිනෙකම ඇය දරුවන් සිය මව භාරයේ තබා කොහේදො ගියා.

අමා රසක් සේ සිය ප්‍රථම ප්‍රේමය හා ගිය අනුෂගේ ජීවිතය මද කලක් සුන්දර වුනා. ආදරයෙන් පිරි තිබුන බවක් අවම වශයෙන් පෙනෙන්නට තිබුනි. එහෙත් රිද්මාගේ අසාමාන්‍ය සිහින හඹා යාමට අනුෂගේ මුදල් මදි වන්නට වුනා.

ඔවුන්ගේ ආදරය පෑල දොරින් පලා යන්නට වැඩි කාලයක් ගත නොවුනි.  ආදරණිය ලෙස දිස් වු රිද්මා යකින්නක සේ බැද වදිමින් අනුෂට අවමන් කරන්නට වුනා. අනුෂට ජීවිතය තිත්ත වුනා.

හිමාලිගේ ආදරණිය මුහුණ යලි යලිත් ඔහුට මතක් වෙන්න වුනා. දරු දෙදෙනා සිහි වුනා.  රිද්මා තමාට තම දරුවන් දකින්නවත් ඉඩදෙන්නේ නැහැ නොවේදැයි ඔහු කල්පනා කලා.

ඔහුට තමන් ගැන කලකිරීමක් දැනෙන්න වුනා. තමා රිද්මාට මෙලෙස ලංවීමට හේතු වුයේ පෙර දවසක ඈ අහිමි වීමේදී ඇති වී හිතේ තැම්පත් වු වේදනාව බව ඔහුට හිතුනි.

එදා ඉරිදා දරුවන් බලන්න යමින් වුන් අනුෂ අහම්බෙන් මෙන් නිවසින් පිට වී පාර දිගේ යමින් වුන් හිමාලිව දැක්කා.

බොහො කාලෙකින් දුටු ඇයගේ රූ සිරි කැපි පෙනෙන්නට වුනා. ඇය කොහේද යන්නේ යැයි කුකුසක් ඔහුට ඇති වුනා. ඇය වෙනත් කෙනෙක්ට හිමි වී ඇතිදෝ බයක්, සැකයක් මෙන්ම පුංචි ඊර්ෂියාවක් ඔහුගේ හිතේ මොදු වුනා. දරුවන් බැලීමට යෑම මදකට කල දැමු ඔහු ත්‍රීවිල් එකක නැගී ඔහුව හඹා ගියා.

ඇත්තටම හිමාලි ගියේ පුංචි පන්සලකට, අනුෂට හිමාලිත් එක්ක කතා කරන්න හිතුනා. ඔහු ගේට්ටුව ගාව බලන් හිටියා. පැයක් ගෙවුනා.

පැය දෙකක් ගෙවුනා. තවත් බලා ඉන්නට බැරි තැන අනුෂ  පන්සල ඇතුලට ආවා. බො මළුවේ සංසුන්ව බවුන් වඩන හිමාලි අනුෂගේ හිත තිගැස්මකට ලක් කලා.

ඇත්තටම අනුෂ එතැන ගොඩක්  වෙලා බලන් හිටියා. අන්තිමට හිමාලි ඇස් ඇරියා.

“ ඇයි?“

හිමාලි ඇහුවා.

“මට ආයෙත් මගේ පවුල ඕනී. මට වැරදුනා හිමා. මට සමාව දෙනවාද?“

අනුෂ ඇහුවා.

“මම ඔයාට සමාව දුන්නේ ඔයා යනවා කියපු දවසෙමයි අනු, ඔයා ඇවිත් පවුල භාර ගන්න, අපේ පුතාලා දෙන්නා භාර ගන්න.“

හිමාලි කිව්වා.

“ඇයි එහෙම කියන්නේ? “

අනුෂ ඇහුවා.

“මට තනිවම ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය දුන්නේ මේ ආගම, දහම, මම ආසයි  මේ හැමදේම අතහැරලා මෙහෙණි කෙනෙක් වෙන්න“

හිමාලි කියද්දි අනුෂගේ ඇස් කදුලින් බොද වුනා.

“ඔයා මට භාර ගන්න කියන්නේ අසම්පුර්ණ පවුලක්ද හිමා“

අනුෂ ඇහුවේ දුකින්,

“ඔයා මට භාර දීලා ගියෙත් අසම්පුර්ණ පවුලක්නේ අනු“

එහෙම කියපු හිමාලි පන්සලේ පුංචි ගේට්ටුවෙන් පිට වෙලා ගියා.

.......නිමි.........