වෙරළු රස ගැන රසබර ප්‍රයෝජන 5 ක්

"වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් c, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා. මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ."

වෙරළු අතීතයේ ඉඳන්ම ලාංකික අපිට සමීප පලතුරක්. මේ පලතුර පුංචි වුනත් එයට කළහැකි දේ විශ්මිතයි. දරු උපතක් ගැන දැනගත් දිනයේ මවකට වෙරළු හා ඇති සබඳතාවය පටන් ගන්නවා.

වෙරළු වලට ආයුර්වේදමය වශයෙන් ඇති වටිනාකම්ද බොහෝයි. ජීවිතයේ පටන් ගැන්මේ සිට ජීවිත කාලයේ කුමන අවධියකදීවත් අපට වෙරළු අගුණ කෑමක් ලෙස සඳහන් වන්නේ නැහැ. නමුත් අද වන විට වෙරළු අපෙන් ඈත් වෙලා.
වෙරළු කොළයේ සිට අපිටත් අපේ දරුවන්ටත් ගත හැකි ප්‍රයෝජන බොහෝයි.

එවැනි වැදගත් කරුණු 5 ක් ගැන අපි කතා කරමු.

 

පෝෂණීය ගුණයෙන් පිරිලා

වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ  සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් c, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා.
මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ.

පළමු මාස කිහිපය තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් හා කටේ ඇතිවන කෙළ එකතුවීම, වමනය, ඔක්කාරය වගේ හුඟක් අපහසුතාවයන් වලට වෙරළු පිහිටට හිටියා. ඒ වගේම විද්‍යාත්මක වශයෙන් පළමු මාස තුන තුළ කලලයට විටමින් C ලැබීම ඉතා වැදගත් වෙනවා. එමගින් ශරීරයට ලැබෙන යකඩ ඉතා හොඳින් අවශෝෂණය කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟක් අම්මලා වෙරළු සුවඳින් පවා සැනසෙන බව අපි අහලා තියෙනවා.   

කෙටි කෑමක් වගේ නොදැනීම විටමින් C ටිකක් ඇඟට ගන්න

වෙරළු snack එකක් වගේ කියල කිව්වත් හරි. යන එන ගමන් හප හපා ඉන්න හරි අපූරුයි. ඒ නිසා අපට නොදැනීම රසයත් ගුණයත් එකතු කරගන්න පුළුවන්. ගෙදරක වත්තේ වෙරළු ගහක් නැතිනම් පොළේ එළවළු පලා විකුණන අම්මලා ළඟ නම් වෙරළු ටිකක් වරදින්නේ නැහැ.

වෙරළු මිටක් ගෙදර කෑම මේසයේ සතියකට සැරයක් තියලා තිබුනොත් ඔබ නොදැනුවත්වම විටමින් C ඇතුළු ඛණිජ ලවන රැසක් ශරීරයට ලබාගන්න පුළුවන්. ඉස්සර අපේ ආච්චිලා සීයලා වත්තට යන්නේ දවසට සරිලන පෝෂණය ගෙදර වත්ත පිටියෙන් නෙලාගෙන එන්නයි.

අතට වෙරළු ඇහිඳ         ගෙනේ
ඉනට පලා නෙලා          ගෙනේ
බරටම දර කඩා             ගෙනේ
එයි අම්මා විගස             කිනේ

වත්ත පහළට යන අම්මගේ අතට වෙරළු මිටක් වරදින්නේ නැහැ. එදා අපේ ජීවිත වලට විටමින් පෙති එකතු නොවුනේ ඒ නිසයි. අපි දන්නෙම නැතුව දරුවන්ට සර්ව සම්පූර්ණ පෝෂණයක්, සතුටක් ලැබෙන්න ඒ අපූරු පුරුදු ඉවහල් වුණා. අද අපේ ජීවිත ඒ තරම් සරල නැති බව විශ්වාසයි. ඒත් අපිට සංස්කෘතියෙන්ම ලැබුණු සමහර දේවල් සහ මුලින්ම අමතක කිරීම අපේ දරු පරපුර රෝගී කරන්න හේතු වෙලා තියෙන බව නම් සත්‍යක්. 

රුව වඩවන වෙරළු

එදා ඉඳන්ම වෙරළු කොළ හිස කෙස් වලට හොඳ සත්කාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. කොටාගත් වෙරළු කොළ යුෂ නෑමට පෙර හිස්කබලේ ආලේප කිරීමෙන් හිසට සිසිලසක් වගේම හිස්හොරි වලට හා උකුණන් වඳ කිරීමට හිසකෙස් වල වර්ධනයට ගුණදායක බව අතීතයෙන් පැවත එන ආයුර්වේද රහසක්.

රෝග නසන්නත් වෙරළු කදිමයි

වෙරළු වල ප්‍රතිජීවක ගුණ ඇති අතර එය ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරනවා. ඖෂධ සඳහා වෙරළු කඳේ පොතු භාවිත කරන්නේ ඒ නිසයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් මෙන්ම ආහාර ඉතා හොඳින් දිරවීමට උදවු කරන කෑමක්. අනෙක් අතට ආතරයිටිස් හා ඇදුම වැනි රෝග වලටත් වෙරළු සුදුසු බව පැවසෙනවා.

වෙරළු වලින් කෑම වගේම බීමත් හදාගන්න පුළුවන්

වෙරළු වාරයට වෙරළු ගස් යට මල් අතුරලා වගේ ගෙඩි වැටෙනවා. ඒ කාලෙට
      වෙරළු කිරි
      වෙරළු අච්චාරු
      වෙරළු තම්බලා
      වෙරළු පැණි දාලත්
හදාගන්න පුළුවන්.

වෙරළු කිරි/ වෙරළු ස්මූදි

වෙරළු කිරි හරියට ස්මූදි එකක් වගේ.

සාදාගන්න ආකාරය - හොඳින් ඉඳුණු වෙරළු ගෙඩි 25 ක් පමණ අරගෙන බ්ලෙන්ඩරයක නැතිනම් හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ඉවත් කරගන්නවා. ඉන්පසු ඊට පොල්කිරි කැමති නම් සීනි අවශ්‍ය පමණක්, ලුණු ස්වල්පයකුත් එක්කර ගන්නවා. ඉන්පසු අවශ්‍ය පමණ වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කරගැනීමෙන් ඔබේ දරුවන්ට හොඳ රස පලතුරු බීමක් හදාගන්න පුළුවන්. පොල්කිරි වෙනුවට එළකිරි ටිකක් හා අයිස් ක්‍රීම් ටිකක් පොඩිකර ගත් වෙරළු වලට එක්කර ගැනීමෙන් දරුවන්ට ගුණයෙන් පිරි, හොඳ වෙරළු ස්මූදි එකක් හදලා දෙන්න පුළුවන්. වස විස නැති රසවත් අතුරුපසක් දරුවන්ට හදලා දෙන එක තරම් සතුටක් මවකට කොයින්ද?

වෙරළු අච්චාරු

හොඳින් පැහුණු වෙරළු වලට ලුණු, ගම්මිරිස්, මිරිස් ස්වල්පයක් එකතු කර වංගෙඩියකට දමා තලා ගත්තහම හොඳ අච්චාරුවක් හදාගන්න පුළුවන්. ඉඳහිට දරුවන්ට වෙනසකට ඔබට කඩේ ඇති කටගැස්ම පැකට් මිලදීගෙන දෙනවට වඩා මේ කෑම හරි අපූරු අත්දැකීමක් වේවි.

වෙරළු තම්බලා

පැසුණු වෙරළු කහ, ලුණු සමග තම්බා ගන්න පුළුවන්. හොඳින් පැසුණු වෙරළු තම්බා ගත් විට එය ඉරි තලා එහි තද ගතිය නැතිවී යනවා. ඒ නිසා දරුවන්ට ඇටය ඉවත්කර ගැනීම පහසු වෙනවා. එහි රසයත් ඉහළ බව එක වරක් කෑවොත් ඔබ නොවැරදීම කියාවි.

පැණි තැවරූ වෙරළු

ඉතා හොඳින් ඉදුණු වෙරළු හැන්දකින් යන්තම් පොඩි කරන්න. දැන් ඊට කිතුල් හෝ මීපැණි ටිකක් එකතු කර ගන්න. අතුරුපසක් ලෙස රස ගුණ ඉහළ බව ඔබට දැනේවි.

මේ කොයි ක්‍රමයටත් දරුවන් ලැබෙන අම්මලා නම් හරිම කැමතියි. ඉන් ශරීරයට විටමින් C ඇතුළු විටමින් රැසක් ලැබෙන අතර ඉතා හොඳ මානසික තෘප්තියකුත් ලැබෙනවා. සිලෝන් ඔලිව් ලෙසත් හඳුන්වන වෙරළු ගෙඩියක් අපේ දරුවන්ට රස විඳින්න නොලැබුනොත් එය කෙතරම් අඩුවක් දැයි දැන් ඔබට වැටහේවි.

අපෙන් අමතකව වියැකී යන මේ වටිනා ගුණයන් ඉතා පහසුවෙන් අපේ නිවසට ආයෙත් රැගෙන එන්න දෙමාපියන් ලෙස අපට පුළුවන්. මිල අඩු ගුණ වැඩි වෙරළු ගැන මතකය අවදි කරන්න  theAsianparent  Sri Lanka අපි සිතුවේ ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබට වටිනාකම් ගැන මතක් කර දෙන්නට නිතර වෙර දරන නිසයි.