පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ඔබ දැනගත යුතු වටිනා උපදෙස් නවයක්

lead image

ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් වසර ගණනාවක පළපුරුද්ද ඇති දක්ෂ ගුරුතුමියක් විසින් එම විභාගයට සුදානම් වන දරුවන්ට වැදගත් වන වටිනා අදහස් කිහිපයක් අප හා බෙදා ගත්තා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට තව ඇත්තේ සති කිහිපයයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ලංකාවේ විභාග අතුරින් ඉතාමත්ම තරඟකාරී විභාගයක්. මේ විභාගයට ඔබේ දරුවාත් සුදානම් වනවා නම් හෝ ඉදිරියේදී සුදානම් වීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා උපකාරී වන වටිනා අදහස් කිහිපයක් ගෙන හැර පෑමට අප ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් වසර ගණනාවක පළපුරුද්ද ඇති දක්ෂ ගුරුතුමියක් සම්බන්ධ කරගත්තා. ඇය අයිරෝමි පෙරේරා.

අයිරෝමි පෙරේරා ගුරුතුමිය ගම්පහ ශ්‍රී කුරුස විදුහලේ පසුගිය වසර විසි හතරක් පුරා පහ ශ්‍රේණිය භාරව කටයුතු කරමින් එම දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පුරුදු පුහුණු කිරීමේ නිරටැහැ වනවා. වසරක් පාසා දරුවන්ට හා විදුහලට උසස් ප්‍රතිපල හිමිකර දෙමින් දෙමාපිය ගුරුවරුන්ගෙන් පමණක් නොව රජයේ ගුරු ප්‍රණාම පවා හිමිකරගෙන තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට සම්බන්ධයෙන් ඔබේ දරුවා සුදානම් කරනු වස් අයිරෝමි පෙරේරා ගුරුතුමියගේ මේ අදහස් ඔබට මහත් රුකුලක් වේවි.

1. මොකද්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ

ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන දරුවා තුල විෂය දැනුම, නිර්මාණාත්මක කුසලතා, නිර්මාණාත්මක චින්තනය, ප්‍රායෝගික හැකියා, සාදන මට්ටම මැන බලන පොදු පරීක්ෂණය ශිෂ්‍යත්ව විභාගය නම් වේ.

2. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් දරුවාට ඇති වන ප්‍රයෝජන මොනවාද?

සෑම විෂයක් ගැනම වයස් මට්ටමට අදාල පුළුල් දැනුමක් ලැබේ. නිර්මාණාත්මක චින්තනය දියුණු වේ. පරිකල්පන හැකියාව දියුණු වේ. තර්කානුකූල චින්තනය වර්ධනය වේ.

මෙම විභාගයෙන් දරුවා ඉහළ ලකුණු පරාසයක් ලබා ගැනීමට සමත් වුවහොත් කොළඹ හෝ වෙනත් නගරයේ උසස් පාසලකට ඇතුළත් වීමට දරුවාට වරම් ලැබීම මෙහි විශේෂත්වයයි. එම නිසා පළමු ශ්‍රේණියෙන් උසස් පාසලකට දරුවා ඇතුළත් කරගැනීමට අසමත් වුවහොත් දෙමාපියන්ට ඒ ගැන ඇතිවන ඊළඟ බලාපොරොත්තුව ශිෂ්‍යත්ව විභාගයයි.

3. මීළඟ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ කවදාද?

2017 අගෝස්තු මස 20 වන දා.

4. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාද?

හතර (4) සමත් විය යුතුය. 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම සිසුන් අනිවාර්යයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දිය යුතුය.

5. ශිෂ්‍යත්ව විභාගයට අයත් විෂයන් ගැන කෙටි හැඳින්වීමක් කල හැකිද?

ශිෂ්‍යත්ව විභාගයේ මුලික විෂයන් වන්නේ ගණිතය හා මවු භාෂාවයි(සිංහල හෝ දෙමළ) මීට අමතරව විද්‍යාව, ඉංග්‍රීසි හා පරිසරය අනු විෂයන් වනවා.

6. ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කොටස් කිහියකින් සමන්විතද?

ප්‍රශ්න පත්‍රය මුල් කොටස හා දෙවන කොටස යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වනවා.

7. දරුවකු ශිෂ්‍යත්ව විභාගයට සූදානම් විය යුත්තේ කෙසේද?

3,4,5 ශ්‍රේණිවල විෂය මාලාව නිසි පරිදි අධ්‍යයනය කළ යුතුය. 3,4,5 ශ්‍රේණිවලට අදාළ සිංහල පෙළ පොත හොඳින් පරිශීලනය කළ යුතුය. පරිසර තේමා 16 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙනගත යුතුය. ගණිත කර්ම නිවැරැදි අවබෝධයෙන් යුතුව ඉගෙනගත යුතුය. කියවීම ප්‍රගුණ කළ යුතුය. පාසලේ දිනපතා කරන වැඩ නිසි පරිදි කළ යුතුය. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට අනුමාන, පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිය යුතු අතර, පරිසරය පිළිබඳ අවබෝධය වඩි කරගත යුතුය.

දරුවා පළමු වසරේ සිට උගත් දෑ ගැන මනා අවබෝධයක් තිබිය යුතු අතර සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ වලටත් සාර්ථකව මුණුනා දීමට රුපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ආදියද පරිශීලනය කොට සමබර ගිවිතයක් ගත කල යුතුය.  

8. ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවකුට දිය හැකි උපදෙස් මොනවාද?

i. විභාගයේ දී ප්‍රශ්න පත්‍රය පළමුව හොඳින් කියවන්න.

ii. ප්‍රශ්න හොඳින් තේරුම් ගන්න.

iii ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් පිළිපදින්න.

iv. සෑම ප්‍රශ්නයකටම හැකි උපරිමයෙන් පිළිතුරු ලියන්න.

v. කාලය කළමනා කරගෙන පිළිතුරු ලියන්න.

vi. පහසු ප්‍රශ්න වලට මුලින් පිළිතුරු ලියන්න.

vii. අපහසු ප්‍රශ්න වලට ඉන්පසුව පිළිතුරු ලියන්න.

viii. සියලුම පිළිතුරු ලියා අවසන් වූ පසු, පිළිතුරු නැවතත් කියවා නිවැරැදි දැයි බලන්න.

9. ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවන්ගේ දෙමාපියන්ට දිය හැකි පණිවිඩය කුමක්ද?

දරුවන් අනවශ්‍ය ලෙස වෙහෙස කරවන්න එපා. පාසලෙන් උගන්වන දේවල් දරුවන් ට එදිනෙදා නැවත කරවන්න. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික දෙවල් (ගෘහ උපකරණ, අවට පරිසරය වැනි) වලට දරුවන් හුරු කරවන්න. දරුවන් සමග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න.

ඉහත සඳහන් වටිනා උපදෙස් වලින් අප දැනුවත් කල අයිරෝමි පෙරේරා ගුරුතුමිය වෙත  The Asianparent Sri Lanka වෙනුවෙන් නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යම් සහයක් අවශ්‍ය නම් 0718068496 අංකය ඔස්සේ ඇය හා සම්බන්ධ වන්නට පුළුවන්.