සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

lead image

මෙම ලිපියෙහි ඇති ඉතා වටිනා අදහස් සෑම දෙමාපිය කෙනෙකු කියවිය යුතුමය.

අද සමාජය දෙස විමසිල්ලෙන් බැලුවොත් එක බිම් අගලකට නැත්තම් මායිම් වැටකට තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය  මරා දමන අවස්ථා ඕන තරම් දැකිය හැකිය.

කුඩා කල සිට නිසි පරිදි සහෝදරයාත් සමග බෙදා ගැනීමේ පුරුද්ද වර්ධනය නොකල නිසාවෙන් හෝ කුඩා කල සිට සහෝදරයා වෙත නොපහන් හැගීම් වර්ධනය කල නිසාවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ ඇති වී ඇති මේ අනුවේදනීය තත්වයෙන් පැහැදිලි වේ. අනාගතයේ දිනෙක ඔබේ පුංචි පැටියාට එසේ නොවන්නට දැන්ම සිට අපි ඔවුන්ව පුහුණු කරමු.

 සහෝදරයන් අතර අපි ඇති කරන බේද මොනවාද ?

 කුඩා දරුවන් අතර මත බේද ඇති කරන්නේ වැඩි හිටියන් වේ. ඒ අතර දෙමාපියන් ද සිටීම කණගාටුවට කරුණකි. ඔබ වෙනත් දරුවන් ඔබේ දරුවා ඉදිරියේ වඩාගෙන දරුවාගේ අවධානය පිණිස සුරතල් කරයි නම් එය ඔබ කරන විශාල වැරැද්දකි.ඔබ දරුවාට ඊර්ෂ්‍යාව නැමති වැරදි පුරුද්ද පුරුදු කරනු ලබයි.

එමෙන්ම ඔබ දරුවන්ට යමක් දෙන විට මේක අක්කාට මේක මල්ලීට යනුවෙන් වෙන වෙනම ලබා දෙයි.එයද සුදුසු දෙයක් නොවේ.එමගින් දරුවන් බෙදා ගැනීමේ පුරුද්ද  වෙනුවට මමත්වය පුරුදු වේ.ලබා දෙන හැම දේම කුඩාකල සිට බෙදා ගන්නා පුරුද්ද කුඩා කල සිට ඔබේ දරුවාට ප්‍රගුණ කල යුතු වෙයි.

තවද  හැම විටම එක දරුවෙකු ඉදිරියේ අනික් දරුවා වර්ණනා කිරීම හෝ හෙලා දැකීම නොකල යුතුය .මක් නිසාද යත් ඒ මගින් පුංචි හිත් අතර පරතරයක් ඇතිවේ.එමගින් කුඩා දරුවන් අතර ඊර්ෂ්‍යාව වැඩිදියුණු වීමද ,එකිනෙකා කුඩා කල සිට හෙලා දැකීමට පුරුදු වේ.

සහෝදරත්වයෙන් ලංවෙන්න දරුවාට කියාදෙන්න

පවුලට අලුත් පැටියෙක් එකතු වු විට අපට නොදැනීම වැඩිමල් දරුවා මදකට මග හැරේ.එම හේතුව නිසාම ඔහු අලුත් බබාට ඊර්ෂ්‍යා කිරීමට පටන් ගනී. මුලින්ම කල යුත්තේ වැඩිමල් දරුවාට වැඩි අවධානයක් දෙන්න.

ඔහුට වඩා ලංවන්න.අලුත් බබා හුරතල් කරන්න ඔහුට ඉඩ දෙන්න . අලුත් බබා වෙනුවෙන් නැලවිලි ගීයක් ගයනා කරන්න ඔහුට ඉඩ දෙන්න .ඔවුන් ටිකක් වර්ධනය වත්ම එකිනෙකාට ආදරය කරන්න පටන් ගනිවි.

තේරුම් ගත හැකි වයසට දරුවා පැමිණි විට සහෝදරයෙක්ගේ වටිනාකම දරුවාට උගන්වන්න .ඔබට ඔබේ සහෝදරයා උදව් කල අවස්ථා ඔබේ දරුවාට පෙන්වා දෙන්න .එවිට සහෝදරත්වය හොදින් හදුනන දරුවා අනාගතයේ දිනෙක මුලු ලෝකයටම සහෝදරත්වයේ දෑත දිගු කරනු ඇත .

දරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නේ කෙසේද?

"Blood is thicker than water" යන ඉංග්‍රීසි කියමන මදකට ඔබට මතක් කරන්නට මම කැමැත්තෙමි . බලන්න ලේ සම්බන්ධතාවයන් අනෙක් හැම සම්බන්ධතාවයන්ට වඩා සුවිශේෂී බව ඉන් මනාව පැහැදිලි කර දෙයි.දරුවන් එකිනෙකා අතර සම්බන්ධතාවය ගෙන එන්නේ එක අම්මාට තාත්තාට උපත ලැබීමෙන් පමණක් නොවේ.

ඔවුන් එය ගෙන එන්නේ ලේ උරුමයෙනි. දෙමාපියන් වශයෙන් අප කල යුත්තේ ඒ සම්බන්ධතාවය වර්ධනයට අනුබල දීම පමණි. ඒ වෙනුවෙන් අපිට කල හැකි සරල ක්‍රියා කිහිපයක් බලමු.

  •  එක දරුවෙක් වර්ණනා කරද්දී අනෙක් දරුවාද එයට සම්බන්ධ කරගන්න." හොද පුතා ඔයත් අක්කා වගේ හොද දරුවෙක්
  •  යමක් දරුවන්ට දෙන විට අක්කාට මල්ලීට ලෙස නම් කර දෙනු වෙනුවට, මෙන්න පුතේ මල්ලීත් එක්ක බෙදා ගෙන කන්න.
  • එක එක දරුවන්ගේ වැඩ සදහා අනෙක් දරුවන් හවුල් කරගන්න.පුංචි පුංචි වැඩ ඔවුන්ට පවරන්න. එන්න පුතේ අපි මල්ලිව නාවමු.ඔයා මට උදව් කරන්න මේ බාත් ෂීට් එක අල්ලගෙන ඉන්න.
  • දරුවන්ට යමක් ලබා දීමේදී වැඩිමල්භාවය හෝ ස්ත්‍රි පුරුෂ භාවය සලකා විශේෂත්ව දැක්වීමෙන් වලකින්න.දෙදෙනාටම සමානව සැලකීමෙන් ඔවුන් සමානාත්මතාවය පුරුදු වේ.
  • හැකිනම් බෝවෙන රෝග නොමැති අවස්ථා වල දරුවන්ගේ කටයුතු එකට කරන්න .එක්කෙනෙකුට වත් විශේෂත්වයක් නොදක්වා එක පිගානේ කෑම බෙදා ගෙන එක වේලක්වත් ඔබට ඔවුන්ට කැවිය හැක.එය ඔවුන්ට විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානය .

මෙය ඉතා සුලු උදාහරණ කිහිපයක් පමණයි. ඔබේ දරුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරිම ඔබේ වගකීමක් බව හිතට ගන්න. ඒ සදහා හැම විටම දරුවන් දිරිමත් කරන්න .එවිට කිසිවෙකුට ඔවුන්ගේ සම්බන්ධතාවය කිසි දිනෙක බිද හෙලීමට නොහැකි වනු ඇත.

(Image: Roshni's blog)